2026 Jan 8
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කෝපි අවන්හල් (Coffee Shops/Cafés) සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් කොළඹ නගරය සහ ඒ අවට නාගරික ප්‍රදේශවල විවිධ සංකල්පයන්ගෙන් අලංකාර වූ කෝපි අවන්හල් ආරම්භ කර තිබෙනු දක්නට හැකියි. පුද්ගල හමුවීම් සහ විවිධ රැස්වීම් සඳහා විශේෂයෙන් තරුණ පරපුර අතර මේ “කොෆි ෂොප්” අවකාශ ජනප්‍රිය වී තිබෙනවා. නොමිලේ Wi-Fi සහ සුවපහසු වාතාවරණය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ තරුණ වෘත්තිකයන් සහ සිසුන් බොහෝ විට කෝපි අවන්හල් ඔවුන්ගේ තාවකාලික කාර්යාල හෝ පාඩම් කරන ස්ථාන ලෙස භාවිතා කිරීම දැන් සුලබ තත්ත්වයක්. අපේ රටට මෙය නව ප්‍රවණතාවක් වුවත්, ලෝකයේ කෝපි අවන්හල් සංස්කෘතියට තියෙන්නෙ ඉතා දීර්ඝ හා සිත්ගන්නා ඉතිහාසයක්.
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ කෝපි අවන්හල්වල මූලාරම්භය යුරෝපය ලෙසයි. නමුත් එහි මුලාරම්භය සනිටුහන් වෙන්නේ මැද පෙරදිග සහ තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍යය තුළ. ලෝකයේ ප්‍රථම කෝපි අවන්හල් බිහිවූයේ 16 වැනි සියවසේදී කයිරෝ (ඊජිප්තුව) සහ කොන්ස්තන්තිනෝපල් (වර්තමාන ඉස්තාන්බුල්, තුර්කිය) නගරවල.
ඒ කාලයේ මේ ස්ථාන කෝපි පානය කරන අවන්හල් වලට වඩා වැඩි වැදගත්කමක් ඉසිලුවා. සාහිත්‍යය, දේශපාලනය, ආගම සහ දාර්ශනික අදහස් සාකච්ඡා කෙරෙන වැදගත් සමාජ හා බුද්ධිමය මධ්‍යස්ථාන ලෙස ඒවා ක්‍රියා කළා. ඔටෝමාන් අධිරාජ්‍යයේ සිට වෙළඳ මාර්ග ඔස්සේ ලෝකයේ අනිත් ප්‍රදේශවලට ගමන් කරන කෝපි යුරෝපයට පැමිණෙන්නේ 17 වන සියවසේදී පමණ. යුරෝපයේ ප්‍රථම වරට කෝපි අවන්හල් ආරම්භ වූණේ, 1645 දී ඉතාලියේ වෙනීසිය සහ 1652 දී ලන්ඩනය තුළ. වසරේ වැඩි කාලයක් පුරා පවතින යුරෝපයේ ශීතල දේශගුණය උණුසුම් පානයක් සඳහා කදිම පරිසරයක් සැපයූ අතර, එය කෝපි අවන්හල් ව්‍යාප්තියට තවත් හේතුවක් විය.මේ කෝපි අවන්හල්වල වැඩිපුරම ගැවසුනේ විද්වතුන්, ශාස්ත්‍රඥයන් සහ කලාකරුවන් වැනි පිරිස්. මෙම අවන්හල් නිරන්තරයෙන් දැනුම ගැවසෙන, වැදගත් සංවාද පවතින බුද්ධි මධ්‍යස්ථාන ලෙස භාවිත වූ නිසා යුරෝපයේ දී මේවා “Penny Universities” ලෙස ප්‍රසිද්ධ වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය වැසියන්ට පවා සමාජයේ ප්‍රබල පුද්ගලයන් සමඟ රැස් වී නව අදහස් ගැන සාකච්ඡා කිරීමට, පුවත්පත් කියවීමට සහ දැනුම හුවමාරු කර ගැනීමට මේ කෝපි අවන්හල් වලදී අවස්ථාව ලැබුණා.
මේ වන විට කෝපි සංස්කෘතිය නව මුහුණුවරක් ගනිමින් ගෝලීය ප්‍රවණතාවක් බවට පත්ව තිබෙන්නේ කෝපි අවන්හල් ජාල සහිත සන්නාම ව්‍යාප්ත කරමින්.
මැද පෙරදිග සහ පැරණි යුරෝපයේ කෝපි අවන්හල් පැය ගණනක් විවේකීව ගත කරන ස්ථාන වුවද, නූතන කෝපි අවන්හල් කෝපි ඉක්මනින් රැගෙන යාමේ (Grab-and-go) සංස්කෘතියක් හඳුන්වා දී තිබෙන්නේ වත්මන් කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන ලෙසින්. ලංකාවේත් කෝපි අවන්හල්, තරුණ තරුණියන්ට හමුවීමට, නිදහසේ කාලය ගත කිරීමට,අන්තර්ජාලයේ රැඳී සිටිමින් වැඩ කිරීමට ඇති ස්ථාන ලෙස භාවිත වන අතර ශ්‍රී ලංකාවේ කෝපි අවන්හල් ව්‍යාප්තිය ගෝලීය වර්තමාන ප්‍රවණතාවේම කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන් .
කේ. සී. සාරංග








