2026 Jan 14
අද වන විට, අප බොහෝ දෙනාගේ ජීවිත ඉතාමත් සංකීර්ණ වී ඇත. වෙළඳ ප්‍රජාව දැන්වීම් ඔස්සේ අධි පරිභෝජනවාදී ජීවන රටාවක් සඳහා අපට බල කරමින් සිටී.මේ සමාජ පීඩනය නිසා අපට නිතරම දැනෙන්නේ “තව දේවල්” අවශ්‍ය බවයි—අලුත්ම තාක්ෂණික මෙවලම්, විශාල නිවාස, විලාසිතාමය ඇඳුම් පැළඳුම්. නමුත් මේ දේවල් අපට සැබෑ සතුටක් ගෙන දෙන්නේද? සැබෑ සතුට සැඟවී භෞතික දේවල් තුළ නොව සරල ජීවන රටාවක් තුළ බව බොහෝ දෙනා දැන් අත්දැකීමෙන් තේරුම් ගනිමින් සිටිති.
සරල ජීවන රටාවක මූලිකම පදනම වන්නේ භෞතික දේපළ අවම කිරීමයි. ඔබගේ නිවස ගැන සිතන්න.
ඔබට ඇත්තටම අවශ්‍ය ගෘහ භාණ්ඩ හා මෙවලම් පමණක් නිවසේ තිබීමෙන් ලැබෙන නිදහස අතිමහත්ය. අනවශ්‍ය දේ ගොඩගැසී නොමැති විට, ඔබගේ නිවස හොඳ ඉඩපහසුවව ඇති දීප්තිමත් සහ පිළිවෙලක් ඇති තැනක් බවට පත්වේ.
බඩු බාහිරාදිය අඩු වන විට, නිවස පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වැයවන කාලය සහ ශ්‍රමය අවම වේ. සති අන්තයේ අනවශ්‍ය දේවල් පිරිසිදු කිරීමට ගත කරන කාලය වෙනුවට, ඔබට ඔබේ පවුලේ අය සමඟ හෝ විනෝදාංශ සමඟ කාලය ගත කිරීමට පුළුවන.
අවුල් සහගත පරිසරයක් අපගේ මනසට පීඩනයක් ගෙන දේ. සරල හා පිළිවෙලක් ඇති නිවසක් තුළ ජීවත්වීමෙන් මානසික සහනයක් සහ සාමකාමී බවක් ලැබේ.සරලකම යනු භෞතික දේපළවලට පමණක් සීමා වූවක් නොවේ. එය ඔබගේ සිතුවිලි සහ දෛනික පුරුදු කෙරෙහිද බලපායි.
සරල පුරුදු සහ සිතුම් පැතුම් ඔබගේ ශක්තිය හා අවධානය වඩාත් වැදගත් දේවල් වෙත යොමු කරයි. අනවශ්‍ය තරඟකාරීත්වය සහ සමාජයේ අනෙකාට “පෙන්වීම” යන මානසිකත්වයෙන් මිදීමෙන් ආතතිය අඩු වේ.
සරල ඇඳුම් පැළඳුම් තෝරාගැනීමෙන් (උදා: අවම වර්ණ හා සරල මෝස්තර), ඔබට නිතරම අලුත් ඇඳුම් මිලදී ගැනීමේ අවශ්‍යතාවය අඩු වේ. මෙයින් මුදල් ඉතිරි වනවා පමණක් නොව, ඇඳුම් තෝරාගැනීමට ගතවන කාලයද අවම වේ. ඔබගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය කාර්යක්ෂම සහ සුවපහසු එකක් බවට පත්වේ. අඩු භාණ්ඩ මිලදී ගැනීම සහ කල් පවතින දේවල් තෝරාගැනීමෙන්, අප ස්වභාවිකවම පරිසරයට හිතකාමී ජීවන රටාවකට යොමු වේ.
සරල ජීවන රටාවක ඇති ප්‍රධානතම වාසියක් නම් ආර්ථික ස්ථාවරත්වයයි. අනවශ්‍ය වේලාවල් වල අනවශ්‍ය දේ මිලදී ගැනීමෙන් වැලකීම සහ සරල ආහාර පුරුදු පවත්වාගෙන යාම නිසා ඔබගේ මාසික වියදම් විශාල ලෙස අඩු වේ.
ආදායමට වඩා වියදම අඩු වීම නිසා ඔබට ණය වලින් නිදහස් වී මුදල් ඉතිරි කිරීමේ හැකියාව ලැබේ.
මුදල් ගැන නිතරම කරදර වීමට සිදු නොවීමෙන්, ඔබට රැකියාව කිරීමේදී හෝ ජීවිතයේ වෙනත් තීරණ ගැනීමේදී වැඩි නිදහසක් ලැබේ. ඔබගේ සතුටට වඩා මුදලට ප්‍රමුඛතාවය දීමට සිදු නොවේ.
සරල ජීවන රටාව යනු “සැප සම්පත්” ප්‍රතික්ෂේප කරමින් අවමයෙන් ජීවත් වීම නොවේ .අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ අතර නිවැරදි වෙනස තේරුම් ගැනීමයි. අනවශ්‍ය භෞතික දේවල් සහ සංකීර්ණ සිතුවිලි බැහැර කරන විට, අපගේ ජීවිතය පුදුමාකාර ලෙස පහසු, සන්සුන් සහ සතුටුදායක එකක් බවට පත්වේ. සැබෑ සතුට සැඟවී ඇත්තේ අලුත්ම දේ තුළ නොව, ඔබ දැනටමත් ඔබ සතුව ඇති දේ අගය කිරීම සහ ක්ෂණික අවශ්‍යතා වලින් තොරව ජීවත්වීම තුළය. සරල වීම යනු සතුටින් ජීවත් වීමේ මග හෙළි කර ගැනීමයි.
කේ. සී. සාරංග








