හතර වටෙන් කොරෝනා වෛරසය ගැන මිත්‍යා මත වලට ඔබත් රැවටුනාද..?

කොරෝනා වෛරසය ගැන මිත්‍යා මත වලට ඔබත් රැවටුනාද..?

2020 Mar 28

ලෝකයම එක තැනක නැවතුනා වගේ හැඟීමක් ඔබටත් දැනෙනවා ඇති. බොහෝ රටවල තත්ත්වය ඒක තමයි. සාමාන්‍ය දෛනික කටයුතු අඩපණ වෙලා. දෛනික ජීවන රටාව වෙනස් වෙලා. බොහෝ පිරිසක් නිවසට කොටුවෙලා ඉන්න මොහොතක්. අපේ රටේ තත්ත්වයත් ඒකම තමයි. රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන්නේ මේ වසංගත තත්ත්වයන් වැළකීමට ඔබ කළ යුතු දේ ගැන. ඔබ ඊට මුහුණදිය යුතු ආකාරය ගැන. නමුත් මේ තොරතුරු සියල්ල අතරෙත් තවමත් කොරෝනා වෛරසය නැත්නම් COVID-19 ගැන මිත්‍යා මත හුවමාරු වනවා දකින්න තිබෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාමත් මේ මිත්‍යා මත ව්‍යාප්ත වීම දකින්න පුළුවන්. මේ තත්ත්වයට විසඳුමක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ මිත්‍යා මත ගැන පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කොට තිබුණා. gasma.lk කියවන ඔබ වෙනුවෙන් ඒ තොරතුරු බෙදාහදා ගන්න අපි තීරණය කළා.

 

 

  • උණුසුම් සහ හිරුඑළිය වැඩි හෝ වාතයේ ආර්ද්‍රතාව වැඩි ප්‍රදේශ වල කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම අඩු බවට මත පලවී තිබුණා. නමුත් ඒ මත කිසිවක් සත්‍ය ඒවා නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. විශේෂයෙන් මේ දිනවල අධික හිරු එළිය සහ රස්නය සහිත අපේ රටත් ඉන්දියාවත් මේ වෛරසයට ගොදුරු වීමෙන්ම ඒ මතයේ සත්‍යයක් නොමැති බව පැහැදිලි වනවා. ඒ වගේම සිතල දේශගුණය නිසා වෛරසය වැඩි ව්‍යාප්තියක් දක්වන බවට පැවතුන මතයත් සාවද්‍යයි. මේ සියල්ලට බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

 

 

 

  • උණුසුම් ජලයෙන් ස්නානය කිරීම මගින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමේ හැකියාවක් ඇති බවටත් මතයක් පැතිර ගියා. නමුත් ඒ මතයේත් සත්‍යයක් නොමැති බව මේ වනවිට තහවුරු කොටගෙන තිබෙනවා. මෙවැනි මිත්‍යා මත හේතුවෙන් ඔබ අනවශ්‍ය අවදානමකට මුහුණදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයෙන් කියවෙනවා. විශේෂයෙන් අධික උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ඔබේ සම පිලිස්සී යා හැකියි.

 

 

  • මදුරුවන් හෝ කෘමි සතුන් මගින් කොරෝනා වෛරසය ශරීරගත විය හැකිද..? මේ තවත් මිත්‍යා විශ්වාසයක්. මෙතෙක් තහවුරු කරගත් නිරීක්ෂණ අනුව කොරෝනා වෛරසය කිසිදු කෘමියකු මගින් බෝවීමක් සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. එය ව්‍යාප්ත වීම සිදුවන්නේ ආසාදිත පුද්ගලයකුගේ ශ්වසන මාර්ගය හා ගැටීම, කැස්සේදී විසිවන කෙල බිඳිති වැනි ක්‍රම මගින් පමණයි. ඒ නිසා මදුරුවන් දෂ්ට කළ පමණින් ඔබ කොරෝනා වෛරසය පිලිබඳ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

 

 

  • ඔබ අත්සෝදා වියලීමට පාවිච්චි කරන Hand dryer මගින් කොරෝනා වෛරසය විනාශ වනවාද..? මේ තවත් මිත්‍යා අදහසක්. එවැනි උපකරණයක් මගින් මේ වෛරසය විනාශ කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ වගේම ඇල්කොහොල් ශරීරයේ තවරා ගැනීම මගින් වෛරසය ආසාදනයෙන් වැළකිය හැකි බවටත් තවත් වැරදි මතයක් පවතිනවා. මේ සියල්ල මිත්‍යා විශ්වාසයන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ දැක්වෙනවා.

 

 

  • Thermal scanners නැතිනම් උෂ්ණත්වයට සංවේදී වන ස්කෑනර් යන්ත්‍ර මගින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගත හැකියයි තවත් මිත්‍යා මතයක් පවතිනවා. එවැනි උපකරණ මගින් කෙනෙකුගේ ශරීර උෂ්ණත්වයේ යම් වෙනසක් හඳුනාගත හැකි බව සැබෑවක්. නමුත් ඔබ මේ වනවිටත් අසා ඇති පරිදි වෛරසය ආසාදනය වී දින 7-14 අතර කාලයක් තුළ තමයි රෝග ලක්ෂණයන් වන උණ සහ කැස්ස හඳුනා ගැනෙන්නේ. එතෙක් එවැනි උෂ්ණත්වය මැනීමක් මගින් ආසාදිතයින් හඳුනාගැනීමට හැකියාවක් නැහැ. මෙයත් මිත්‍යා විශ්වාසයක්.

 

 

  • නිව්මෝනියාව සඳහා නිර්දේශිත එන්නත් මගින් කොරෝනා වෛරසය ආසාදනය වලක්වා ගත හැකියැයි කිසිදු සොයාගැනීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කොට නැහැ. එවැනි මත සියල්ල මිත්‍යාවන් බව එම සංවිධානය පවසනවා. එසේම ශ්වසන ආබාධ සඳහා නාසයට යොදන ස්ප්‍රේ මගින්ද මේ වෛරසයට බලපෑමක් කළ හැකි බවට සාක්ෂියක් නැහැ. ඒ නිසා නිකරුණේ එවන් අවදානම් සහිත ක්‍රියාවන්ට යොමු නොවන ලෙසත් එම සංවිධානය ප්‍රකාශ කරනවා.

 

 

  • සුදු ළූණු තම්බා බිම මගින් කොරෝනා ආසාදනයෙන් වැළකිය හැකි බවට මිත්‍යා මතයක්ද බොහෝ රටවල පවතිනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ එවැනි කිසිදු තොරතුරක් ඔවුන් තහවුරු කොට නොමැති බවයි. සුදු ළූණු ඖෂධීය ගුණයෙන් ඉහළ නමුත් කොරෝනා වෛරසය ආසාදනය වීම වැලැක්වීමේ හැකියාවක් ඊට නොමැති බව මේ වනවිට පැවසිය හැකි තොරතුර බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

  • එසේම වැඩිහිටියන්ට මෙය ආසාදනය වන නමුත් ළමා සහ තරුණ පිරිසට අසාදනය නොවන බවද මිත්‍යාවක්. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හේතුවෙන් ආසාදනය වීම සහ අවදානම ඉහළ විය හැකි නමුත් වෛරසය ආසාදනයට එවැනි වයස් මට්ටමේ සම්බන්ධයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ සඳහන් වනවා.

 

 

  • ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මගින් කොරෝනා වෛරසයෙන් මිදීමට හැකියාවක් ඇති බවට පවතින තොරතුරුත් අසත්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ. බැක්ටීරියා මගින් ආසාදනය වන රෝගී තත්වයන්ට ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) මගින් පාලනය කළ හැකි නමුත් වෛරස සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් බලපෑමක් කළ නොහැකි බව එම සංවිධානය නිවේදනය කර සිටිනවා.

වඩාත් වැදගත්ම දේ ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සලසා ගැනීමයි. ඒ නිසා හැකි තරම් නිවාස සීමාවෙන් පිටතට නොයා සිටින්න. අමුත්තන් හමුවීමෙන් වළකින්න. ඒ වගේම යම් හේතුවක් මත ඔබට පිටතට යාමට සිදුවේනම්, හැකි සෑම විටම මීටරයක දුරක් අනිකා සහ ඔබ අතර පවත්වා ගන්න. නිතර සබන් යොදා අත් සෝදන්න. හැකි තාක් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. මේ ගෝලීය වසංගත තත්වයෙන් අපේ රට බේරා ගැනීමට පුරවැසියෙකු ලෙස රජයට සහයවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here