හතර වටෙන් සේවා ස්ථානයේදී ලිංගික හිංසනයට ලක්වෙනවාද?

සේවා ස්ථානයේදී ලිංගික හිංසනයට ලක්වෙනවාද?

2019 Jul 18

අනතුර වටහාගන්න, දැනුවත් වන්න, වලක්වන්න

ලිංගික හිංසනය වර්තමානයේ වැඩි වශයෙන් සාකච්ඡා වන මාතෘකා වලින් එකක්. එසේ වුවත් සේවා ස්ථානයේ ලිංගික හිංසනය (sexual harassment at workpalace) නිතර සාකච්ඡාවට ලක් නොවන මාතෘකාවක්. සාකච්ඡා නොවීම කෙසේවෙතත්, සේවා ස්ථානයේ ලිංගික හිංසනය දිනපතා බොහෝ පිරිසක් නිහඩව විදවන, නිහඬ වසංගතයක්.

ස්ත්‍රී – පුර්ශ සමානාත්මතාව බිඳුවකට නොසලකමින්, වර්තමානයේ සේවා ස්ථානයන් තුල සිදුවන අයුතු යෝජනා කිරීම්, ඉඟි – බිගි පෑම්, අසභ්‍ය ඡායාරූපයන් හෝ email හුවමාරු කර ගැනීම්, අනවශ්‍ය ස්පර්ශ කිරීම් හෝ වෙනත් ශාරීරික, මානසික පීඩාවට පත් කිරීම් මේ සේවා ස්ථානයේ ලිංගික හිංසනය ඉතා සරලව විස්තර කිරීමක්.

ස්ත්‍රීවාදය (feminism) පිලිබඳ විශාරද, කැත්‍රින් මැකිනොන්ට අනුව, සේවා ස්ථානයේ ලිංගික හිංසනය යනු, අසමාන බලය බෙදීමේ රාමුවක් තුල සිදුවීමට ඉඩක් පවතින, යම් පුද්ගලයකුගේ ලිංගික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා, වෙනත් පුද්ගලයකු මත සිදුකරන, අනවශ්‍ය බලපෑම් කිරීමක්.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, ඉඟි – බිගි පෑම් වැනි සුළු සිදුවීමක සිට ශාරීරික අපයෝජනයක් වැනි බරපතළ සිදුවීමක් දක්වා විවිධ පරිමාණයන් තුල සිදුවිය හැකිය.

සේවා ස්ථානයේ සිදුවන,

අනවශ්‍ය ස්පර්ශ කිරීමක්, කෙනිත්තීමක්, තට්ටු කිරීමක් හෝ වැලඳ ගැනීමක් වැනි ශාරීරික හිංසනයන්

අයුතු යෝජනාවන් කිරීම්, අයුතු හෝ අසභ්‍ය විහිළු කිරීම්

අසභ්‍ය ඡායාරූපයන් හෝ e-mail හුවමාරු කර ගැනීම්

අනවශ්‍ය ලෙස, දිගින් දිගටම ඔබ දෙස බලා සිටීම ආදී මොනයම් හෝ අයුතු හැසිරීමක්, සේවා ස්ථානයේ ලිංගික හිංසනයක් ලෙස සලකන්න පුලුවන්.

මෑතකදී ශ්‍රීලංකාව තුල සිදුකළ සමීක්ෂණකින් සොයාගෙන තිබෙන ආකාරයට කාන්තාවන් බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන මාධ්‍යයන් තුල සිදුවන ලිංගික හිංසනයන්, දූෂණය කිරීම් වැනි ශාරීරික අපයෝජනයන් පිලිබඳ හොඳින් දැනුවත් වුවත් සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන් පිලිබඳ නොදැනුවත්. දැනුවත් වුවත් ඒ පිලිබඳ සාකච්ඡා කිරීමට මැලිවීම හෝ සඟවා තබා ගැනීමට පෙළඹීමක් පෙන්නුම් කරන්නෙ ඒ පිළිබඳ දැඩි අවධානය යොමු නොවීම හෝ විවෘතව සාකච්ඡා කිරීමට පවතින ලැජ්ජාව හේතුවෙන් වියහැක.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, කාන්තාවන් පමනක් මුහුණපාන ගැටලුවක් නොවේ. මනෝ විද්‍යාව පිලිබඳ අධ්‍යාපනවේදී ශාලින්දී පණ්ඩිතකෝරාලගේ ට අනුව, තරුණ පිරිමි පාර්ශවයද කාන්තාවන් ආකාරයෙන්ම මේ සේවා ස්ථානයේ ලිංගික හිංසනයට ලක්වන බවයි. එහෙත් ඒ පිලිබදව කාන්තාවන් තරම් වත් පිරිමි පාර්ශවය සාකච්ඡා නොකරන්නේ, ඉදිරිපත් වුවහොත් එය පුර්ෂත්වයට නොගැලපෙන සිදුවීමක් හෝ තමන් ස්ත්‍රී ආකර්ශනය ලබාගැනීමට සිදුකරන ඉදිරිපත් වීමක් ලෙස සැලකීමට ඉඩක් පවතින්නේ යැයි සිතා වියහැකිය.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, විවිධ ස්වරූපයෙන් සිදුවිය හැකියි.

හුවමාරුව (Quid Pro Quo / This for That)

උසස්වීමක් හෝ වෙනයම් වාසිදායක අවස්ථාවක් පිලිගැන්වීමක් හෝ ලබාදීමට පොරොන්දුවෙන් සිදුකරන ලිංගික හිංසනය, මේ ගනයට අයත්. මෙවැනි ඇරයුමක් හෝ නියෝගයක් පිලිනොගැනීම සේවා ස්ථානයේ විවිධ තාඩන පීඩන වලට ලක්වීමට හේතුවන අවස්ථාවකන් බහුලව දැකිය හැකිය. වින්දිතයන් මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට අකැමැති වුවත්, අවට සිටින අනෙක් සේවකයන්ට නිරීක්ෂණය කර වටහා ගැනීමට හැකියාවක් පවතිනවා. එවන් අවස්ථාවකදී අවධානය යොමුකල යුත්තේ යම් සේවකයකු වෙත සේව්‍යයා හෝ යම් ඉහල නිලධාරියෙකු, අධික ලෙස උනන්දුවක් දැක්වීමක්, මෙවන් සිදුවීමක් පිලිබඳ සේවා ස්ථානයේ පැතිර යන ඕපාදූපයකට හෝ කටකතාවකට පසුව සිදුවන, පැහැදිලි හෝ සාධාරණ හේතුවකින් තොරව සේවයෙන් පහත හෙලීමක් වැනි අවස්ථාවක් විය හැකියි.

මෙවැනි සිදුවීම් සිදුවීම වලක්වා ගැනීම සඳහා විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම, මානව සම්පත් කලමනාකරු වෙත නිර්නාමිකව පැමිණිලි
කිරීමට ඉඩ සැලසීම හෝ ඉහළ නිලධාරින් වෙත ඍජුවම පැමිණිලි කිරීමට ඉඩ සැලසීම සිදුකල් හැකියි.

සිරගතකර තබාගන්නා වැඩබිම් පරිසරය (Hostile Working Environment)

සිරගතකර තබාගන්නා වැඩබිම් පරිසරය යනු, සේවකයාගෙ අකමැත්තෙන, දිගින් දිගටම සිදුකරන අනවශ්‍ය ඉල්ලීම් කිරීම්, විහිළු කරන මුවාවෙන් සිදු කරන අනවශ්‍ය ස්පර්ශ කිරීම් ආදීයයි. මෙය හුවමාරුව ආකාරයේදී වැනි වාසි ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරන හිංසනයන් නොවේ.

බොහෝවිට සේවා ස්ථානයේ ලිංගික හිංසනයට කාන්තාවන් ලක්වන්නේ තවත් කාන්තාවක් හෝ කාන්තාවන් පිරිසක් ආසන්නයේ සිටියදී වීම අවධානය යොමුකල යුතු කරුණක්. බොහෝ අවස්ථාවන් වලදී කාන්තාවන් මෙම සිදුවීම් හමුවේ උගුලට හසුවූ මානසිකත්වයකින් රැකියාව කිරීමට සිදුවීම, දීර්ඝකලීනව ගත් කල ශාරීරික හා මානසික සෞඛ්‍යයය හීන වීමට හේතුවිය හැක. ප්‍රධාන වශයෙන් ගත්කල මානසික පීඩනය, කාංසාව හෝ භීතිකාව වැනි මානසික රෝගී තත්වයන්ට ගොදුරුවීමට වැඩි ඉඩක් පවතියි.

මානසික සෞඛ්‍යයය ගිලිහී යාම, ශාරීරික යහපැවැත්ම හීන වීමටත් බලපෑම් කල හැක. එනම් ආහාරඅරුචිය ඇතිවීම, ශරීරයේ බර විශාල වශයෙන් වැඩිවීම හෝ අඩුවීම, නින්දට බාධා ඇතිවීම වැනි හේතු කාරනා අධික රුධිර පීඩනය වැනි දිගුකාලීනව රෝගීවීම් වලටද හේතු වියහැක.

ලිංගික හිංසනය, බරපතල කාරනාවක් ලෙස නොසලකමින් පවත්වාගෙන යන සේවා ස්ථානයන් හේතුවෙන් කාන්තාවන් සේවය හැරයාම හෝ කාන්තාව අනාගතයේදී හෝ රැකියාවක් කිරීම අධ්‍යර්‍යමත් කිරීමත් මෙම සේවා ස්ථානයේ ලිංගික හිංසනයේ ප්‍රතිඵලයන් ලෙස ඇතිවිය හැක. මෙම ලිංගික හිංසනයන් නොසලකා හැරීම, කාන්තාව ස්වාධීන ලෙස ස්ථාවර වීම වලකාලීම හා ඇය ලිංගික භාණ්ඩයක් ලෙස සැලකීමට අනුබල දීමක් වශයෙන් හඳුන්වා දීමට පුළුවන්. මහා පරිමාණයෙන් ගත්කල සේවා ස්ථානයේ ලිංගික හිංසනය ගෝලීය ආර්ථිකයටද බලපෑම් කලහැකි ගැටලුවක්.

වලක්වන්න

ආයතනයන් ප්‍රදානීන් වෙත බලය පාලනයකින් යුක්තව මුදාහැරීමට හා හැසිරවීමට වගබලා ගත යුත්තේ, බොහෝමයක් සේවා ස්ථානයේ ලිංගික හිංසනයන් සිදුවන්නෙ අසීමිත බලය අවබාවිතා කිරීම් හේතුවෙන් වන නිසාය. විනිවිද බාවයකින් යුක්තව සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයට එරෙහිව නීති සකස් කිරීම, නිර්නාමිකව පැමිණිලි කිරීමට ඉඩ සැලසීම වර්තමානයේ මෙම ගැටලුව සඳහා පිලියම් ලෙස බොහෝ ආයතනයන් විසින් අනුගමනය කරයි.

එලෙසම සේවකයන්ගේ වගකීම වන්නේ සේවා ස්ථානයේ සිදුවන අනවශ්‍ය හැසිරීම් ඉවසා සිටීම නොසිට වහාම පැමිණිලි කිරීමට පෙළඹීමයි.

උදව් ලබාගන්න

මනෝ වෛද්‍ය උපදේශනයට යොමුවන්න.

බොහෝ තරුණ කාන්තවන් සේවා ස්ථානයේ ලිංගික හිංසනය හේතුවෙන් ඇතිවූ බලපෑම සමනය කරගෙන, සහනයක් උදාකර ගැනීම සදහා මනෝ වෛද්‍ය උපදේශනයට යොමුවී ඇත. බොහෝමයක් සිදුවීම් වලදී සේවකයා, වින්දිතයා ලෙස නිහඬව සිටින්නෙ වින්දකයා විසින් සිදුකරගන්න යටත් වීමක් හේතුවෙනි. උදාහරණයක් ලෙස අලුතින් සේවයට එක්වූ සේවකයෙකු වෙත විශේෂ සැලකීමක් හෝ අවස්ථාවන් ලබාදීමක් අනවශ්‍ය අරමුණක් රහිතව සිදුවන බවක් පෙන්වූවත් පසුකලකදී එයම ලිංගික හිංසනයක් දක්වා යොමුවුවහොත් සේවකයා හට එයට එරෙහි වීමට නොහැකියාවක් ඇතිවන්නෙ එය තමාට ලබාදුන් අවස්ථාවන් සඳහා ස්තුතිවන්ත නොවීමක් ලෙස පෙනීමට ඉඩකඩ ඇති නිසාය.

විවෘතව සංවාද සහ විනිවිදබාවය සඳහා පොලඹවන්න, වැරදි කෝනයකින් ප්‍රශ්නය දෙස නොබලන සේවා ස්ථානයේ මිතුරෙකු වන්න

තමන්ගේම අත්දැකීමෙන් ශාලින්දි පැවසුවේ “ලිංගික හිංසනයට ලක්වූ තැනැත්තාට දොස් පැවරීම මෙවන් බොහෝ අවස්ථාවන් වලදී සිදුවන්නක් බවයි. කවුරුන් හෝ පූර්ව නිගමනයන්ට පැමිණෙන්නේ නැතිව අසා සිටින්නට සූදානම් නම්, මෙයට වඩා බොහෝ පිරිසක් මේ කරුණු සම්බන්ධව කතා කිරීමට පෙළඹේවි”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here