හතර වටෙන් 40 හැවිරිදි තර්ජිනීගේ ජීවිතයට තර්ජනයක් නොවූ ඇයගේ අසාමාන්‍ය උස

40 හැවිරිදි තර්ජිනීගේ ජීවිතයට තර්ජනයක් නොවූ ඇයගේ අසාමාන්‍ය උස

2019 Jul 19

පරිණාමවාදය නොපිළිගන්නා අය, මිනිසා කියන්නේ දෙවියන්ගේ අපූරු මැවීමක් කියලා කියනවනේ. ඒ අනුව අපි හැමකෙනෙක්ටම හිමිවුණු පෙනුමක්, හැඩයක්, උසක්, මහතක් ලැබිලා තියනවා. සමහර වෙලාවට අපි කියනවා අපි මහත වැඩි එක්කො කෙට්ටු වැඩියි, මගේ නහය ඇදයි, මම උස වැඩියි, මම කොට වැඩියි අරකයි මේකයි කියලා. හැබැයි සමහර විට අපිට ඒවගේ දේවල් ලැබිලා තියෙන්නෙ අපේ වාසනාවට වෙන්න පුළුවන්.

හැබැයි මේක තේරුම් ගන්නේ කිහිපදෙනයි. එහෙමත් නැත්නම් උපතින් ලැබිලා තියන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නේ කිහිපදෙනයි. තර්ජිනී සිවලිංගම් කියන්නේ ඒ වගේ තමන්ට උපතින් ලැබුණු අසාමාන්‍ය උස තමන්ගේ ආයුධය කරගෙන ජීවිතය ජයගත් ධෛර්යවන්ත කාන්තාවක්. මේ දිනවල ඇය ගැන යළි කතාබහක් ඇතිවෙලා තියනවා. ඒ ඇගේ දස්කම් නැවත නැවත පෙන්වන නිසායි.

අඩි 6 අඟල් 10ක් වුණු ඇයගේ උස යම් අවස්ථාවල ඇයව සමච්චලයට ලක්කර පහතට ඇද දමන අතර තවත් අවස්ථාවක ඇයව ඉහළටම ඔසවා තබන්න උදව්වෙනවා. අඩි 5 අඟල් 5ක් විතර වෙන සාමාන්‍ය කෙනෙකුගේ උසට වඩා ගොඩක් වැඩි උසක් හිමිවුණු කෙනෙක් මුහුණ පාන ගැටළු ගොඩක් තියනවා. ඒ උසට සරිලන ඇඳුම් පැළඳුම්, නිදාගන්න ඇඳවල්, ඉඳගන්න පුටුමේස, සහකරුවෙක් සොයාගැනීමේ අපහසුකම් ඒ අතරින් කිහිපයක්. කාන්තාවක් විදියට ඇයට ලැබුණු මේ අසාමාන්‍ය උස නිසාම ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්වුණු ඇය ලෝකප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා. ඒ ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව යන විරුදාවලිය ඇයට අත්පත් වීමත් සමඟ.

මෑතකදී පැවැත්වුණු ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ ගෝල 45න් 44ක්ම ලබාගෙන කැපී පෙනෙන තරඟකාරියක් ලෙස ඇය තවත් වරක් ඇයව තහවුරු කරනවා. අදවන විට රටක් ආදරය කරන, නිහතමානී, අති දක්ෂ හා ලොකප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් වන ඇයට ඉතා පැහැදිලි සුන්දර වර්තමානයක් හා අනාගතයක් තිබුණට ඇය මේතාක් ආ ගමන් මඟ දෙස හැරී බැලුවොත් එය රෝසමල් ඇතිරූ මාවතක ආව ගමනක් නොවන බව ඉතා පැහැදිලියි.

L.T.T.E යුද සමයේ හිසට නිවහනක් නැතුව තැන් තැන් වලට මාරුවෙමින් හැංගි හැංගි ගතකළ ජීවිතයක් ඇයගේ තරුණ වියේදි ඇයට හිමිව තිබුණා. යුද සමයේ යාපනයේ ඇතිවී තිබුණු තත්වය අපට හිතින් මවාගන්න පුළුවන්. අහිංසක පවුල් කීයකට උන්හිටිතැන් අහිමි වුණාද? ඒ පවුල් වලින් එක් පවුලක තර්ජිනීද සාමාජිකාවක් වෙලා හිටියා. ඔවුන්ටද ඔවුන්ගේ නිවස අහිමි වෙනවා. මරභියෙන් තැන් තැන් වල සැඟවී පලා යෑමට ඇයට සිදුවුණා. ඒ අමිහිරි අත්දැකීමෙන් පසු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරන්න ගිය ඇයට ප්‍රථම වරට නෙට්බෝල් පිටියක් දක්නට ලැබෙනවා. ඇගේ උස ඇය උපයෝගී කරගන්නේ මේ අවස්ථාවෙදි. නෙට්බෝල් ගැන කිසිදු දැනුමක් නැති ඇය නෙට්බෝල් ක්‍රීඩාව ඉගෙනගන්නවා. දෛවය විසින් අප ලවා යම් දෙයක් කරවන්න තියනවානම් ඒ දේවල් වලට අපව ඉබේම ගෙනියනවා. ඇය කොලඹ එනවා. ඇය පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්නෙ කොලඹ ඉඳන්. ජීවිතයේ සමහර දේවල් ලඟා කරගන්න අපිට ගොඩාක් දේවල් කැප කරන්න වෙනවා. ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා. ගොඩාක් දේවල් අත්හදා බලන්න වෙනවා. තර්ජිනී ඒ කැපකිරීම් කරනවා. යාපනයේ අවුරුදු විසි ගණනක් ජීවත් වුණු ඇය භාවිතා කළේ දමිළ භාෂාව. නමුත් කොළඹ ඉන්න නිසා ඇයට සිංහල ඉගෙන ගන්න වෙනවා. සිංහල වචනයක්වත් නොදන්න ඇය සිංහල භාෂාව ඉගෙන ගන්නවා.

මුලදි ඇයට වැරදීම් ගොඩක් සිදුවෙනවා. නමුත් ඇය ඒ වැරදීම් වලින් ඉගෙනගන්නවා. 2011 ලෝක කුසලානයේදී ඇය ගෝල 296න් 290ක්ම ලබාගන්නේ අන්න ඒ වැරදීම් වලින් ඉගෙන ගත්ත නිසයි. එම වසරේ ඇය දක්ෂතම විදින්නිය ලෙස සම්මාන ලබනවා. අපේ දක්ෂතාවයන් එළියට පේන තරමට අපිට ලැබෙන්න තියෙන අවස්ථාද වැඩියි. ඇගේ දක්ෂතා හේතුවෙන් ඇයට ලංකාවෙන් පිට තරඟ වදින්න අවස්ථාවක් ලැබෙනවා. ඇයට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නෙට්බෝල් ලීග් තරඟයේ තම දස්කම් දක්වන්න අවස්ථාවක් ලැබෙනවා. වසර තුනක කාලයක් ඇය එහි නිරත වී නැවත ශ්‍රී ලංකාවට එනවා. කැපකිරීම් මතින් ගොඩක් දේවල් අත්පත් කරගන්න පුළුවන් කියන දේ ඇය අපට හොඳින් කියා දෙනවා.

ඕනැම කණ්ඩායමක් ශක්තිමත් වෙන්නේ දක්ෂ සාමාජිකයන් හිටියම. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමටත් තර්ජිනී කියන්නේ වටිනාම සම්පතක්. ඒය මෑතකදි ඇය මැනවින් ඔප්පු කළා. පසුගියදා පැවති ආසියානු ශූරතාවයේ 88 – 50 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ගෝල 76ක් ලබා ගැනීමට තර්ජිනී සමත් වී තිබුණ නිසයි. දැන් ඇයට වයස අවුරුදු 40 වෙලත් තවමත් ඇගේ අභිප්‍රාය වෙන්න නැවත වරක් ලෝකයේ හොඳම දැල් පන්දු විදින්නිය වෙන්නයි. ඇගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉටුවෙන්න සහ ඇය සහභාගී වෙන ඉදිරි තරඟ වලදිත් ජයග්‍රහණය අත්වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

උපතින් ඇයට උරුම වූ උස ඇය හරිහැටි උපයෝගී කරගත් නිසා අදවන විට තර්ජිනී ජීවිතය සාර්ථක කරගෙන තියනවා. ඇගේ චරිතය අපිට ගොඩක් දේවල් කියාදෙනවා. ඇත්තටම අපි හැමෝම උපතින් යම්කිසි දක්ෂතාවයක් අරගෙන එනවා. සමහර අය දක්ෂතා කිහිපයක් අරගෙන එනවා. අපිට ඒ දක්ෂතා හඳුනාගන්න පුළුවන්නම් ඒ දෙයින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. උස නිසා පැසැලෙදි යහළුවන් අතරෙදි සමාජය ඉදිරියෙදි උසුළු විසුළුවට ලක් වුණ චරිතයක් අද ඒ උස නිසාම ජනාදරයට පත්වෙලා තියනවා. මේක තර්ජිනීට විතරක් අදාල දෙයක් නෙමේ. හැමෝටම අදාල දෙයක්. අපි ලඟ තියන දේවල් ගැන අපි නිතරම බලන්නේ අඩු සැලකිල්ලකින්. නමුත් ඒදේවල් අපි ලඟ තියන ශක්තිමත්ම දේවල් වෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here