2026 Jun 24
ඩිජිටල් අලෙවිකරණය සහ සන්නාම කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂකයින් නියෝජනය කරන NIBM Marketers Hub විසින් සංවිධානය කළ 2026 ජාත්‍යන්තර අලෙවිකරණ සහ ලෝක පරිසර දින සැමරුම පසුගියදා අතිසාර්ථක අන්දමින් පැවැත්වුණා. අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නිර්මාණශීලීත්වය මෙන්ම තිරසාර නායකත්වය ඉස්මතු කළ මෙම වැඩසටහන් මාලාවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්‍යාර්ථීන් සහ අනාගත අලෙවිකරුවන් රැසක් සහභාගී වූ අතර, එය දැනුම බෙදාගැනීමට, වෘත්තීය සබඳතා ගොඩනංවා ගැනීමට සහ සිසුන්ගේ වෘත්තීය සංවර්ධනය උදෙසා කදිම වේදිකාවක් නිර්මාණය කළා.
ජාත්‍යන්තර අලෙවිකරණ දිනයට සමගාමීව කර්මාන්තයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවූ සුවිශේෂී දැනුම් බෙදාගැනීමේ සැසි මාලාවක් ද මෙහිදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා Nestlé සමාගමේ Maggi සන්නාම කළමනාකරු දහම් හීනටිගල මහතා විසින් “සාර්ථක සන්නාම ගොඩනැගීම සහ පවත්වාගෙන යාම” පිළිබඳව ඉතා හරවත් වැඩමුළුවක් මෙහෙයවූ අතර, Ogilvy ශ්‍රී ලංකා හි නිර්මාණ අධ්‍යක්ෂ ජානක තිලකරත්න මහතා ‘The Creative Den’ නම් කතිකාවත හරහා ‘කතන්දර කීමේ කලාව සහ නව්‍ය ප්‍රචාරණ උපායමාර්ග’ පිළිබඳව සිසුන්ට මනා දැනුම්වත් බවක් ලබා දුන්නා. ඊට අමතරව කුමාර් ගල්හේනගේ මහතාගේ ‘Thriving in Crisis’ වැඩසටහන මඟින් “අභියෝගාත්මක පරිසරයන් තුළ ආයතන සාර්ථකව පෙරට යන්නේ කෙසේද” යන්න පිළිබඳවත්, Marketers Wellness Studio හි නිර්මාතෘ නිමෙත්‍රි ගුණසේකර මෙනවිය විසින් ‘Mindful Marketing and Personal Wellness’ පිළිබඳවත් ඉතා කාලෝචිත කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් කළා.
මෙම සැමරුමට සමගාමීව ලෝක පරිසර දිනය වෙනුවෙන් තිරසාරභාවය සහ වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැගූ ‘GREEN PRINT 2026’ විද්වත් සාකච්ඡාව ද සංවිධානය කර තිබුණා. NIBM හි අධ්‍යක්ෂ කෝලිත රණවක මහතා, NIBM හි ප්‍රධානී ආචාර්ය භාරත දේවනාරායන මහතා සහ Modern Pack Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු විජේරත්න මහතා මීට සම්පත් දායකයින් ලෙස එක්වෙමින් ‘හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අලෙවිකරුවන්ගේ සහ ව්‍යාපාරවල ඇති තීරණාත්මක කාර්යභාරය’ දැඩිව අවධාරණය කළා. ඩිජිටල් අලෙවිකරණය සහ සන්නාම කළමනාකරණය උපාධි වැඩසටහන භාර කථිකාචාර්යවරුන් වන චූලනී සේනාරත්න මෙනවියගේ සහ අමිල දිල්ෂාන් මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ මෙම මුලපිරීම සාර්ථකව සම්බන්ධීකරණය කෙරුණා.
ශක්තිමත් අලෙවිකරණ දැනුමකින් හා සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් වගකීම් සහගත අනාගත අලෙවිකරණ වෘත්තිකයන් බිහිකිරීම උදෙසා NIBM Marketers Hub තැබූ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි.








