හතර වටෙන් Salary එක හරියට Balance කරගන්න හිතන ඔයාට, 50:30:20 මූල්‍ය රීතිය

Salary එක හරියට Balance කරගන්න හිතන ඔයාට, 50:30:20 මූල්‍ය රීතිය

2026 Aug 7

 

ෆෝන් එකට “Salary Credited” කියලා SMS එක ආපු ගමන් අපේ හිත්වලට දැනෙන සතුට සතියක් දෙකක් යද්දී “කෝ මගේ සල්ලි?” කියන ප්‍රශ්නාර්ථයට හැරෙන එක අද කාලේ ලංකාවේ ජීවත් වෙන අපිට හරිම සාමාන්‍ය දෙයක්. බඩු මිල ඉහළ යාම, Utility Bills (ලයිට්, වතුර, ඩේටා බිල්) වැඩිවීම, ඒ වගේම දිනෙන් දින ඉහළ යන Transport cost එකත් එක්ක හැම මාසෙම අන්තිම සති දෙක ගෙවෙන්නේ සෑහෙන Financial pressure එකකින්. හැබැයි සල්ලි ඉතුරු කරන්න නම් හැම ආශාවක්ම කපා හැරලා, කිසිම Fun එකක් නැතුව ලෝබකමින් ජීවත් වෙන්න ඕනේ කියලා ඔයා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්. වර්තමාන කාර්යබහුල Lifestyle එකට වගේම ලංකාවේ ආර්ථිකයට හොඳටම ගැලපෙන, තමන්ගේ සතුටත් රැකගෙන අනාගතයත් ශක්තිමත් කරගන්න පුළුවන් ගොඩක් වටින මූල්‍ය පුරුද්දක් තමයි ලෝකය පුරාම Trend එකක් වෙලා තියෙන 50/30/20 Budget Rule එක. මේ රීතියෙන් කරන්නේ අපේ මාසික Net Salary එක, ඒ කියන්නේ බදු සහ වෙනත් කැපීම්වලින් පස්සේ අතට ලැබෙන ශුද්ධ ආදායම ප්‍රධාන කොටස් තුනකට බෙදලා, අපේ මුදල් පරිහරණය හරිම සරලව සහ සමබරව පවත්වාගෙන යන එකයි.

පළමු පියවර

මේ මූල්‍ය පුරුද්දේ පළමු පියවර වෙන්නේ ඔබේ පඩියෙන් හරියටම 50%ක් “Needs” එහෙමත් නැත්නම් ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕනේ කරන අත්‍යවශ්‍යම දේවල් වෙනුවෙන් වෙන් කිරීමයි. තමන්ගේ නිවසේ Rent එක හෝ නිවාස ණය වාරික (Home Loans), මාසික ස්ථාවර බිල්පත්, කුස්සියේ බඩු බාහිරාදිය සහ Groceries වියදම්, වගේම ඔෆිස් යන්න එන්න යන Transport cost එක අයිති වෙන්නේ මේ කොටසටයි. හැබැයි වර්තමාන ලංකාවේ පවතින බඩු මිලත් එක්ක මේ 50% සීමාවේම ඉන්න එක කොළඹ වගේ පැතිවල ජීවත් වෙන අයට තරමක් අභියෝගයක් වෙන්න පුළුවන්. දිනපතා පිටතින් කෑම මිලදී ගැනීම, නිතරම online shopping plattforms භාවිත කිරීම වැනි පුරුදු නිසා මේ ප්‍රතිශතය නොදැනුවත්වම 70%ක් දක්වා ඉහළ යන්න පුළුවන් නිසා, හැකිතාක් නිවසේදීම ආහාර පිළියෙළ කරගැනීම වැනි සරල Lifestyle වෙනස්කම් මඟින් මේ කොටස පාලනය කරගන්න අපිට පුළුවන්. යම් හේතුවකින් අධික බිල්පත් නිසා මෙය 55%ක් වුවහොත්, ඒ වැඩි වන කොටස පියවා ගත යුත්තේ ඔබේ විනෝදාංශ වෙනුවෙන් වෙන් කරන මුදලින් මිසක් කිසිම වෙලාවක ඔබේ ඉතිරිකිරීම්වලින් නම් නෙවෙයි.

දෙවන පියවර

ඊළඟ වැදගත්ම සහ හැමෝම ආස කරන කොටස තමයි තමන්ගේ මානසික නිදහස සහ සතුට වෙනුවෙන් පඩියෙන් 30%ක් නිදහසේ වියදම් කරන්න ඉඩ දෙන “Wants” කියන ප්‍රවර්ගය. Money management කියන්නේ හැමදේම කපා හැරලා රොබෝලා වගේ වැඩ කරන එක විතරක්ම නෙවෙයි කියලා මේ රීතියෙන් අපිට ලස්සනට වටහලා දෙනවා. සති අන්තයේ යාළුවෝ එක්ක අලුත් කැෆේ එකකට ගිහින් කෝපි බොන්න හෝ Online platforms හරහා කෑම ඕඩර් කරන්න, Netflix සහ Spotify වැනි Subscriptions ලබාගන්න, එදිනෙදා මහන්සිය නිවාගන්න Down South හෝ ඇල්ල පැත්තේ Weekend Trip එකක් ප්ලෑන් කරන්න, වගේම ඔයා ආස කරන Fashion items, ඇඳුම් පැළඳුම් සහ හිතට වදින පුංචි පුංචි ගැජට් වර්ග මිලදී ගන්න මේ මුදල් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ කොටස අපේ Lifestyle එකට අත්‍යවශ්‍ය වෙන්නේ “Social Pressure” එක නිසා සිදුවන අනවශ්‍ය ණය වීම් පාලනය කරන්නයි. මේ 30% සීමාව මඟින් ඔයාට වරදකාරී හැඟීමකින් තොරව තමන්ගේ සතුට වෙනුවෙන් වියදම් කරන්න නිදහස ලැබෙනවා වගේම, සීමාව පැනලා මුළු මාසෙම Budget එක අවුල් වෙන එකත් සාර්ථකව වළක්වනවා.

තුන්වන පියවර

මේ හැමදේම අස්සේ ඔබේ පඩියෙන් ඉතිරි වන අවසන් 20% තමයි ඔබේ මුළු අනාගත ආර්ථික නිදහසම තීරණය කරන “Savings” කියන කොටස. ලංකාවේ පවතින උද්ධමනය නිසා ඔයාගෙ මුදල් සාමාන්‍ය බැංකු ගිණුමක නිකන්ම තියලා තියන එකෙන් වෙන්නේ කාලයත් එක්ක මුදල්වල සැබෑ වටිනාකම දියවෙලා යන එකයි. ඒ නිසා මුලින්ම ඔයාගේ ඉලක්කය විය යුත්තේ ඕනෑම හදිසි තත්ත්වයකදී, ඒ කියන්නේ රැකියාවක් අහිමි වීමක් හෝ අසනීප වීමක් වැනි අවස්ථාවකදී මාස 3ක හෝ 6ක වියදම් පියවිය හැකි “Emergency Fund” එකක් හදාගෙන, එය ඉහළ පොලියක් ලැබෙන High-Yield Savings Account එකක තැන්පත් කිරීමයි. ඉන්පසු ඉතිරි වන මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාගත හැකි සුරක්ෂිත භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills), දිගුකාලීන ලාභාංශ බලාපොරොත්තුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ, Unit Trusts හෝ ලංකාවේ හැමදාමත් වටිනාකම සුරැකෙන රන් වගේ විවිධාංගීකරණය වූ ආයෝජන මාර්ග (Investments) වෙත යොමු කිරීම අද කාලේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්.

මේ අලුත් Lifestyle වෙනස ඔබේ ජීවිතයට සාර්ථකව එකතු කරගන්න තියෙන හොඳම රහස තමයි “Pay Yourself First” කියන Concept එක ප්‍රායෝගිකව පාවිච්චි කරන එක. පඩිය ආපු ගමන්ම කරන්න ඕනේ Needs සහ Wants වලට වියදම් කරන එක නෙවෙයි, වැටුප ගිණුමට බැර වුණ සැනින්ම 20%ක කොටස Standing Order එකක් මඟින් ඔයාගේ ආයෝජන හෝ ස්ථාවර තැන්පතු ගිණුමට මාරු වෙන්න සැලැස්වීමයි. ඉන්පසුව ඉතිරි වන 80%ක මුදල පමණක් අත්‍යවශ්‍ය දේවල් සහ ඔබේ විනෝදාංශ වෙනුවෙන් සැලසුම් කිරීමෙන් ඔයාට කිසිම පීඩනයක් නැතුව මාසය සමබර කරගන්න පුළුවන්. අද කාලේ ලංකාවේ ලස්සනට සහ නිදහසේ ජීවත් වෙනවා කියන්නේ ලොකු ආදායමක් උපයන එකම නෙවෙයි; ලැබෙන සල්ලි බුද්ධිමත්ව කළමනාකරණය කරමින් වර්තමානය උපරිමයෙන් විඳින ගමන් තමන්ගේ අනාගතයත් ලස්සනට සුරක්ෂිත කරගන්නා එකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here