2019 Sep 27
හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්. නැවතත් මෙම නවක වදය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වුණේ මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන රුහුණු විශ්ව විද්‍යාලයේ බවට පැවසෙන ඉතාමත් අමානුෂික වීඩියෝවක් නිසයි. එම සිදුවීම පිළිබඳව අප සොයා බැලීමේදී අනාවරණය වුණේ එය පසුගිය මාර්තු මාසයේ සිදුවූ සත්‍යය සිදුවීමක් බවටයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරින් නීතිය තම අතට ගෙන ක්‍රියාත්මක කරන, හීනමානයෙන් පෙළෙන කල්ලියක් එකතුවී අහිංසක ළමයින්ට කරන අමානුෂික වද හිංසා වලින් එම සිසුන්ගේ ජීවිතයම අඳුරු වුණ අවස්ථා බොහෝමයි. මෙය වර්තමානය වනවිට විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් ලෙස වර්ධනය වී තිබේ.
නවක සිසුන්ව පිළිඅරගෙන ඔවුන්ව විශ්වවිද්‍යාල සංස්කෘතියට අනුගත කිරීමේ අරමුණින් ආරම්භ වුණු නවක වදය, මුල් වකවානුවල සිසුන්ටද ඉතා සුන්දර අත්දැකීමක් වි තිබුණි. සමාජයේ තිබෙන පන්ති භේදය නැති කර සියළු දෙනාවම එකම මට්ටමකට ගෙන එන්නට දියත් කෙරුණු නවක වදය, සති දෙකක් වැනි සුළු කාලසීමාවකට සීමා වී තිබුණි. නමුත් වර්තමානයේ මේ දේවල් ඉතා අමිහිරි අමානුෂික ආකාරයකින් සිදුවන බව සක්සුදක්සේ පැහැදිලියි.
සිසුන් පමණක් නොවේ ඔවුන්ගේ දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, ඔවුන්ගේ ඥාතීන්ද මෙයින් පීඩාවට පත්වෙනවා. තම දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා යැයි සතුට සමරනවා වෙනුවට මහා බරක් හිසමත තියාගත්තා වගේ හැඟීමක් ඔවුන්ට දැනෙනවා ඇති. රෑ එළිවෙනකම් පාඩම් කරනවා වෙනුවට, දඬුවම් ලැබීමකට මොවුන් හසුවෙනවා ඇති. දහවල් කාලයේ දේශනවලට සහභාගී වෙනවා වෙනුවට රාත්‍රියේ තමන්ට සිදුවූයේ කුමක්දැයි සිත සිතා ඉන්නට ඔවුන්ට සිදුවෙනවා ඇති.
ඉගෙනගැනීමට නිදහස් මනසක් තිබීම අනිවාර්ය බව අපි හැමෝම දන්නවා. ඒත් මෙවැනි කාරණා හේතුවෙන් සිසුන්ට සිදුවන මානසික පීඩනය කොතෙක්ද කිව හැක්කේ නවක වදයට මුහුණ දුන් කෙනෙකුටම පමණි. එය අපට හිතාගන්නවත් බැරි තැනක පවතී. මෙවැනි නවක වද වලට අසුවන සිසුන් බොහෝ දෙනෙක් නීතිය ඉදිරියේ මුණිවත රකින්නේ ඔවුන්ගේ ඉගෙනීමට තවත් බාධා ඒ යැයි සිතාගෙනයි. එම නිසා බොහෝ වැරදිකාරයන් සෑම අවුරුද්දකම මෙම ක්‍රියාව තම සිතැඟි පරිදි සිදු කරගෙන යයි.
ඔවුන් මෙයින් බලාපොරොත්තුවන්නේ මානසික තෘප්තියක්ද? නැත්නම් කායික තෘප්තියක්ද? මේ ගැන ඔවුන්වත් නොදන්නවා ඇති. නවක වදය ලෙස දෙන ක්‍රියාකාරකම් ගැන මෙතන සඳහනක් නොකරන්නේ එය ලොකු කුඩා කවුරුත් දන්න ඉතා අප්‍රසන්න ක්‍රියාකරකම් රැසක් නිසයි. එවැනි අමානුෂික, අප්‍රසන්න ක්‍රියාකාරකම් කරන පහත් මානසික මට්ටමකින් සිටින ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ක්‍රියාකලාපය හමුවේ මුළු විශ්වවිද්‍යාල සංස්කෘතියටම සිදුවන්නේ මහත් කැළලකි. සමාජයක් දියුණු වීමේදී ඉදිරියට ගමන් කළයුතු අපි ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න යළිත් සිතා බැලිය යුතුයි. රට තුළ වගේම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට වැඩකටයුතු සිදුවිය යුතුයි.