හතර වටෙන් ලංකාවේදී නොමිලේ දෙන්න හැදුවම විහිලුවක් වුණු Sanitary pads

ලංකාවේදී නොමිලේ දෙන්න හැදුවම විහිලුවක් වුණු Sanitary pads

2020 Jan 24

සනීපාරක්ෂක තුවා (Sanitary pads) කියන්නෙ ලංකාවේ පහුගිය කාල වකවානුවේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක්. දේශපාලන වේදිකාවේ මේ මාතෘකාව කතාබහට ලක්වීමත් එක්කම, මේ ගැන පොදුවේ සමාජයේම කතාබහක් ඇති වුනා. විවිධ පාර්ශව මේ ගැන නොයෙක් අදහස් පලකළා. සමහරු සමච්චල් සහගත විදිහට මේ ගැන කතා කරද්දී තවත් සමහරු මේ ගැන එළිපිට කතා කරන්න පවා ලැජ්ජා බවත් කියල තිබුණා. කොහොම නමුත් නැවත වරක් සනීපාරක්ෂක තුවා ගැන කතාබහක් ඇති වෙන්නේ එංගලන්තය රජයේ නිලධාරින් ගෙන තිබෙන තීන්දුවක් නිසයි.

පාසල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන්න එංගලන්ත රජය තීරණය කරලා. ඒ අනුව ශිෂ්‍යාවන්ට අවශ්‍ය අනිකුත් සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් නොමිලේ ලබාදීමට ඔවුන් කටයුතු කරන බව විදෙස් පුවත් වාර්තා කරලා තියෙනවා.

“අඩු ආදායම්ලාභී පවුල් වල ශිෂ්‍යාවන් ආර්තව දිනවලදී පාසල් නොපැමිණීම ගැටළුවක්. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය අදාළ වීමට හැකියි. මේ තත්වය වළක්වන්නයි රජය මෙවැනි තීරණයකට එළඹුණේ. ආර්තව දුගීබව නිසා කිසිවකුගේ දෛනික ජීවිතය අදාළ නොවිය යුතුයි කියන ස්ථාවරයයි රජය දරන්නේ” යනුවෙන් එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

“සෑම කෙනෙකුම ආර්ථික තත්වයෙන් සමාන නැහැ. ආර්ථික දුෂ්කරතා නිසා සමහර ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙනවා. සනීපාරක්ෂක තුවායක් මිළදී ගන්න බැරිවීම නිසා පාසලට හෝ විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙනවා කියන්නෙම කණගාටුදායක තත්වයක්. මේ අලුත් යෝජනාක්‍රමය නිසා ඔවුන්ට සහනයක් සැලසෙනු ඇති. සනීපාරක්ෂක තුවායක් මිලදීගත නොහැකි නිසා පත්වන අපහසුතාවත් ඇතිවන අපකීර්තිමත් අත්දැකීමත් වැලැක්වීමට මේ නව යෝජනාව උපකාරී වේවි. ඒ වගේම ආර්තව සෞඛ්‍ය ගැන දැරියන් දැනුවත් කිරීමට විශේෂ ක්‍රමවේදයකුත් සකස් කිරීමට නියමිතයි” යනුවෙන් එරට ළමා සහ පවුම් කටයුතු අමාත්‍යවරිය මිෂෙල් ඩොනල්ඩ් ප්‍රකාශ කොට තිබුණා.

Free Periods සංවිධානයේ කාන්තා ක්‍රියාකාරිනියක වන අමිකා ජෝන්ස් මෙම සනීපාරක්ෂක තුවා සැපයීම ඇතුළු ආර්තව සෞඛ්‍යයට සම්බන්ධ බොහෝ ක්‍රියාමාර්ග වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඇය මෙම අවශ්‍යතාව මතු කරමින් රජය දැනුවත් කිරීම අරඹන්නේ 2007 වර්ෂයේ. කෙසේ නමුත් වසර 12ක් ඉක්ම ගියපසු හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය ගත තීරණය ගැන ඇය සිය සතුට ප්‍රකාශකොට තිබුනා. “සෑම දැරියකටම මෙම පහසුකම් ලැබෙන ලෙස ව්‍යාපෘතිය සිදුවිය යුතුයි, ශිෂ්‍යාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා ගැන මීට වඩා විවෘතව කතාබහක් ඇතිවිය යුතුයි” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

 

පාසල් 20,000කට අධික සංඛ්‍යාවක් අතුරින් ශිෂ්‍යාවන් මිලියන 1.7ක් පමණ මෙම නව වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ හිමියන් ලෙස තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට ඉදිරි වසර සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා සැපයීම වෙනුවෙන් එරට රජය වෙනකොට ඇති මුදල ඩොලර් මිලියන 20ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here