2020 Sep 17
මානසික ආතතිය අපි හැම වෙලාවේම දකින්නේ ගොඩක් නරක දෙයක් විදිහට. වැඩ ගොඩ ගැහිලා වැඩ වල deadlines, පවුල් ප්‍රශ්න, කාර්යබහුල ජීවිතය වගේ දේවල් නිසා ඇත්තටම අපිට ඇතිවෙන්නේ ලොකු මානසික ආතතියක්.
මානසික ආතතිය ඇතිවෙන්නේ කෙනෙක්ට අභියෝගයක් ඇතිවුණාම සහ ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ කරන සම්පත් අතර අසමතුලිතතාවයක් දැනුනහම කියලා ඇමරිකානු විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැත්ලීන් ගුන්තර්ට් පවසනවා. ඍණාත්මක ආතතිය (වෙන්වීම්) සහ ධනාත්මක ආතතිය (නව රැකියාවක් ආරම්භ කිරීම) කියලා ආතතීන් වර්ග දෙකක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තියෙනවා.
ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයෙන් කියන විදිහට නම්, නිදන්ගත ආතතිය කියන්නේ “දීර්ඝ කාලීන අභ්‍යන්තර හෝ බාහිර ආතති සිදුවීමකට භෞතික විද්‍යාත්මක හෝ මානසික ප්‍රතිචාරයක්”.සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, සමේ ගැටළු, මොළයේ ප්‍රමාණය කුඩා වීම සහ නිදන්ගත රෝග ඇතිවීම මේ ආතතිය ඇතිවීම අතර සම්බන්ධතාවයක් තියෙනවා.
ඉතින් කොහොම වුණත් විශේෂඥයින් කියන විදිහට නම් ආතතිය නිසා ඇත්තටම යම් ධනාත්මක බලපෑමකුත් ඇති කරන්න පුළුවන්.‘යූස්ට්‍රස්’ කියලා හඳුන්වන දෛනිකව, කළමනාකරණය කරන්න පුළුවන් ආතතියේ මධ්‍යස්ථ මට්ටම වයසට යාම හා ලෙඩ රෝග සමඟ සම්බන්ධ වන ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා වෙන්න උදවු වෙනවා.
ඉතින් ආතතිය ගැන ඔයා කවදාවත් නොහිතපු දේවල් ටිකක් තමයි අද අපි කතාකරන්න යන්නේ
*ආතතිය අපේ උනන්දුව වැඩි කරනවා
අධික මානසික ආතතිය අපේ උනන්දුව අඩු කළත්, සුළු මානසික ආතතිය අපේ වැඩක් දිගටම කරගෙන යන්න ඕනේ වෙන උනන්දුව වැඩි කරනවා. ගුන්තර්ට් පවසන විදිහට නම් “මධ්‍යම මට්ටමේ ආතතියට අපගේ අභිප්‍රේරණය වැඩි කරන්න පුළුවන්,” .
උදාහරණයක් විදිහට, නියමිත දවසකට වැඩක් අවසන් කරන්න තිබෙන නිසා ඇතිවෙන මානසික ආතතිය, ඒ වැඩේ ගැන අපට ඇති උනන්දුව වැඩි කරනවා වගේම ඒ වැඩේ නියමිත කාල සීමාවකදී අවසන් කරන්න තිබෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරවනවා. “අනේ මට මේ මේ දේවල් කරන්න තියෙනවා” කියලා එත් ඒ දේවල් කරන්න උනන්දුවක් නැතුව ඉඳපු අත්දැකීම් අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ දේවල් කරලා අවසන් කරන්න තියෙන අන්තිම දවස ලංවෙද්දි මානසික ආතතිය නිසා හදිසියේ ඇතිවෙන උනන්දුව ඔයාටත් අනිවාර්යෙන්ම දැනිලා ඇති.
*මානසික ආතතියට ඔරොත්තු දීමේ හැකියාව සහ දියුණුව වැඩි කරන්න පුළුවන්
මානසික ආතතිය ගැටළු විසදාගන්න මිනිසුන්ට බල කරනවා. ඒ වගේම අනාගතයේදී අත්දැකීම් වලට මුහුණ දෙන්න ඕනේ වෙන විශ්වාසය හා කුසලතා ගොඩනඟා ගන්න උදවු කරනවා කියලා වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව හා චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් විටාලියානෝ පවසනවා. නොදෙනුවත්වම අපිට තියෙන ඔරොත්තු දීමේ හැකියාව හා අපි ගැනම අපිට තියෙන විශ්වාසය මානසික ආතතිය නිසා වැඩිවෙනවා.ඔරොත්තු දීමේ හැකියාව සහ විශ්වාසය වැඩි වීමත් එක්ක මිනිසුන්ට අඩු තර්ජනයක් දැනෙනවා වගේම ඒ වගේ තත්ව පාලනය කරගන්න තියෙන හැකියාවත් වැඩිවෙනවා කියලා ඔහු කියනවා.
නිව් යෝර්ක් නගරයේ බලපත්‍රලාභී සායනික සමාජ සේවකයෙකු වෙන ඇලිසන් බර්වාල්ඩ් කියන විදිහට නම් ඔයාගේ භයට හෝ අභියෝග වලට මුහුණ දෙන්න ආතතිය භාවිතා කළොත් ඒවා වළක්වා ගන්නවා වෙනුවට අත්දැකීම් වලින් කටයුතු කරන්න ඔයාට පුළුවන් වෙනවා.ඔයා කළින්ම ඒකට මුහුණ දීලා අත්විදලා තියෙන නිසාම ආපහු බයට පත් වුණායින් පස්සේ , අනාගතයේදී ඒක හසුරවන්න ඔයාට සුදානම් බවක් දැනෙයි.
*ආතතියෙන් සම්බන්ධතා ශක්තිමත් කරගන්න පුළුවන්
ආතතියේ තියෙන පුදුම සහගත වාසියක් තමයි,මුළු සෞඛ්‍යය පද්ධතියටම ප්‍රධාන වෙන අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනඟා ගන්න ආතතිය උදවු වීම. . “සමාජ සම්බන්ධතාවය කියන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු නැතිකරගෙන,ආරක්ෂා වෙන්න ඕනේ වෙන සාධකයක් ,” කියලයි ගුන්තර්ට් කියන්නේ. මිනිසුන්ට වෙනත් පුද්ගලයෙකුගේ ආදරය හා අවබෝධය දැනෙන කොට එයාලට තනිකම සහ හුදෙකලා බව දැනෙන්නේ ගොඩක් අඩුවෙන්.
උපකාරක කණ්ඩායම්, විටාලියානෝ කියන විදිහට මිනිස්සුන්ට එයාලගේ ආතතිය ගැන අනිත් අයත් එක්ක කතා කරන්න හොඳම තැන තමයි උපකාරක කණ්ඩායම්., උපකාරක කණ්ඩායම් වලින් අනුකම්පාව සහ ධනාත්මක හෝමෝන නිපදවනවා කියලා විටාලියානෝ කියනවා. එකිනෙකාට විවෘත වීමෙන්, එකිනෙකාගේ අරගල ගැන දැනගෙන තමාගේ ප්‍රශ්න සංසන්දනය කරන්න පුළුවන් නිසාම එයාලගේ තිබුන ඍණාත්මක හැඟීම් වෙනුවට ධනාත්මක හැගීම් ඇති කරගන්න පුළුවන් කියලා විටාලියානෝ කියනවා.
මිතුරන් හා පවුලේ අය එක්ක ප්‍රශ්න කතා කරලා අපට ඒ අය එක්ක සබඳතා ගොඩනඟා ගන්න පුළුවන්. “සමහර දුෂ්කර කාලවලදී අපි එකිනෙකාට සහයෝගය නොදැක්වූයේ නම් අපේ ගොඩක් මිත්‍රත්වයන් හෝ පවුල් සබඳතා එක හා සමාන නොවේ” කියලා ගුන්තර්ට් කියනවා.
*මානසික ආතතිය කියන්නේ සාර්ථක දිවි පැවැත්මක කොටසක්
කිසිම මානසික ආතතියක් නැති ජිවිතයක් කියන්නේ ඇත්තටම හොඳ ජීවිතයක්ද ? අපිටනම් හිතෙන්නේ කිසිම stress එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් කියලා.හැබැයි එහෙම ජීවත් වෙන එක ඇත්තටම හොඳ දෙයක් නම් නෙමෙයි. ආතතිය ඇතිවෙන තරමට අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් බලමු. උපාධි පාසලක ශිෂ්‍යයෙක් වෙන්න. අයදුම් කිරීමේ ක්‍රියාවලිය ගොඩක් තරඟකාරී. පාඨමාලාව අභියෝගාත්මක වෙන්න පුළුවන් වගේම උපාධිය ලැබුනායින් පස්සේ අධ්‍යයන පසුබිමක ඉදන් ව්‍යාපාරයකට මාරු වෙන එක ඉගෙනුම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමේදී තමන් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමන් කළා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා ගුන්තර්ට් කියනවා. එයා
කියන විදිහට නම්. “අපි ආඩම්බර වන දේවල් සහ අපේ ජීවිතයේ වඩාත්ම අර්ථය ගෙනෙන දේවල් අමාරුයි.ඉතින් කවදාහරි හිතලා ආඩම්බර වෙන්න නම් අපි අමාරු දේවල් සාර්ථකව කරලා තියෙන්න ඕනේ. ඒ අමාරු දේවල් කරද්දී මානසික ආතතියක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. “අපි ආතතිය අතුගා දැමුවහොත්, අපගේ ජීවිතයේ බොහෝ අර්ථයන් අප විසින් අතුගා දමනවා වෙන්න පුළුවන්.”
මානසික ආතතිය නිසා දවසකට ලෝකයේ කීදෙනෙක් නම් සියදිවි නසගන්නවද? එහෙම සියදිවි නසාගන්න අය කීදෙනෙක් ගැන නම් අපි අහලා තියේද? ජිවිතයේ අනිත් හැම දෙයකින්ම සාර්ථක වෙලා තියෙන මිනිස්සු කොච්චර නම් පොඩි දෙයක් නිසා සියදිවි නසාගෙන ඇතිද? මානසික ආතතිය හොඳටම වැඩි වෙලා එහෙම සියදිවි හානි කරගන්න තත්වයට එන්න කලින් ආතතියේ මුල් අවධියේදීම ආතතිය අපේ ජිවිතයට ඕනේ දෙයක් කියලා ඒ දිහා මේ විදිහට ධනාත්මක විදිහට බැලුවනම්, අපේ ජිවිත සාර්ථක කරගන්න අපිට පුළුවන්කමක් ඇතිවේවි
එස්.එස්. තත්සරණී