හතර වටෙන් ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…

ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…

2020 Oct 15

සරලවම දියවැඩියාව යනු කුමක්ද කියලා අපි කතා කලොත් ඒ රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමට තමයි අපි මේ දියවැඩියාව කියන්නේ. මේ වැඩිවන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කර ගැනීමට සිරුරට නොහැකිවීම තමයි අපිට ඇතිවෙන ප්‍රධාන ගැටළුව. බොහෝදෙනෙක් සිතන්නේ එය ඖෂධවලින් පමණක් සුව කරන්න පුළුවන් කරන්න කියලා. ඉතිං කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව එක එක්කෙනා කියන දේවල් අහලා විවිධ ඖෂධ වර්ග ගන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවා. තමන්ට මේ වෙනුවෙන් මේ රෝගය සුව කරගන්න කුමක්ද කරන්න පුළුවන් කියාලා සොයන්නේ නැහැ. සමහර රෝගීන් අවුරුදු ගණන් දියවැඩියාවට ඖෂධ ගත්තත් රෝගය ගැන කිසිදු හැඟීමක් දැනීමක් නැහැ. ඒ නිසා අප මෙහිදී අවධානය යොමු කරන්න අවශ්‍යයි පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳී තිබේ නම් එය පාලනය කර ගැනීමට ඔහු හෝ ඇය මොකක්ද කරන්න අවශ්‍ය කියන එක සම්බන්ධයෙන්.

දියවැඩියාව ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ආහාර. මීට අමතර හේතු තිබුණත් ආහාර සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අනිවාර්යයි. දැනටම දියවැඩියා රෝගයෙන් පෙ​ළෙන කෙනෙකුට ගුණාත්මකභාවය වැඩි එනම් පෝෂණ සංඝටක වැඩියෙන් අඩංගු කෙඳි සහිත ආහාර ගැනීම සුදුසු වෙනවා. ඒ වගේම වැඩි කැලරි හා මේදය අඩු ආහාර ඒ කියන්නේ අළුත් එළවළු හා පලතුරු වර්ග ආහාරයට ගැනීම සිදු කරන්න අවශ්‍යයි. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, දඹල, රාබු, පිපිඤ්ඤාා, නියංවැටකොළු, කැකිරි, චව් චව්, වැටකොළු, පතෝල, බීට්රූට්, කෙහෙල් මුහ, තලන බටු, බණ්ඩක්කා, වැනි අළුත් එළවළු හා කෙසෙල්, අඹ, ගස්ලබු, පේර, වෙරළු, අනෝදා, කටු අනෝදා, දෙළුම්, ඇඹරැල්ලා, උගුරැස්ස, නාරං, කාමරංකා වැනි පලතුරු වර්ග එක දිගටම නොවුවත් ආහාරයට ගන්න හැකියාව තිබෙනවා නම් වඩා හොඳයි.

මේ ආහාර හොඳයි කියල කියනව වගේම මෙන්න මේ දේත් කියන්නම අවශ්‍යයි. දියවැඩියා තත්ත්වය තමන්ට ඇතිවෙනවට අකමැතිනම් නිරන්තර ව්‍යායාම, සෞඛ්‍යමත් ආහාර, ප්‍රමාණවත් පරිදි ජලය පරිභෝජනය වගේ හොඳ පුරුදු වලට හුරුවෙන්නම වෙනවා.

ඔයාට ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන් කොපමණ ආහාර ප්‍රමාණයක් පරිභෝජනයට ගන්න ඕනද කියන එක සම්බන්ධව. මෙහෙමයි ශරීර බර හා තමන් වැය කරන ශක්ති ප්‍රමාණය මත ආහාර ලබා ගත යුතුයි. ශරීර බර වැඩි ශක්තිය අඩුවෙන් වැය කරන කෙනෙක් සහ ශරීර බර වැඩි ශක්තිය වැඩියෙන් වැය කරන කෙනෙකුත් ගන්නා ආහාර ප්‍රමාණය වෙනස්. ඒ වගේම දියවැඩියා රෝගියෙක් ආහාර ලබා ගන්නා වෙලාව ඉතා වැදගත් වෙනවා. වේලක් මඟ හැරියොත් ඊළඟ වේල වැඩිපුර ගන්න වෙනවා. මේ නිසා ප්‍රධාන වේල් තුන නියමිත පරිදි සමබරව ලබා ගත යුතු අතර අමතර ආහාරවේල් 2 ක් ලබා ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසුයි. තමාගේ පිඟානෙන් 1/2 ක් ම එළවළු හා පලා වර්ග තිබිය යුතු අතර ඒ පිඟානේ 1/4 ක් පිෂ්ඨමය ආහාර වන අතර ඉතිරි 1/4 ක ප්‍රෝටීන ආහාර විය යුතුයි. ඒ කියන්නේ ධාන්‍ය වර්ග සහ මාළු.

දියවැඩියා රෝගීන්ට ප්‍රධාන ආහාර වේල් සඳහා නිවුඩු සහල්, තැම්බූ සහල්වලින් පිසූ බත් ගොඩක් හොඳයි. දේශිය සහල් උදා. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, කහමාලය, ඇතුළු සහල් වර්ග ආහාරයට ගන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. මුං ඇට, කඩල, කවුපි, නිවුඩු සහල් පිටි හා ආටා පිටි වලින් සකස් කළ ආහාර පිරිසිදු කොළ පාට එළවළු හා පලා වර්ග තෝරා ගැනීම ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී පොත්ත ඉවත් නොකළ ධාන්‍ය වර්ග තෝරාගන්න මතක තියාගන්න . හැබැයි ඉතිං මේ කෑම වර්ග කොච්චර හොඳ වුණත් පමණට වඩා ගන්න නම් එපා. දවසකට බත් පීරිසි කෝප්ප 3 ක් ප්‍රමාණවත් වන අතර එය උදේ එක බත් පීරිසි කෝප්පයක් දහවලට බත් පීරිසි කෝප්ප 1 1/2 ක් වන අතර රාත්‍රියට බත් පීරිසි කෝප්ප 1/2 වන ලෙස දිනක බත් පීරිසි කෝප්ප 3 සකසා ගන්න මතක තියාගන්න. කෙඳි සහිත ආහාර ගැනීමේදී රුධිරයට ග්ලූකෝස් එකතු වීම යම් අකාරයකින් ප්‍රමාද කරනවා. එයින් සිරුරේ ඇති රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම අඩු කරනවා.

ඔයාට දියවැඩියාව තිබෙනවා නම් ආහාර ගැන වගබලා ගන්නවා වගේම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here