හතර වටෙන් ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ජාවාරම ගැන ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ජාවාරම ගැන ඔබ දන්නවාද?

2020 Feb 21

ලෝකය පුරා හැම වසරකම දරුවන් විශාල සංඛ්‍යාවක් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙනවා. දරුවන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවනවා. ළමුන් ජාවාරම් කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදවීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කර තිබුණත් අපේ රට කෞමාර කාමාතුරයන්ගේ (බාලවයස්කාර දරුවන් ලිංගික අපයොජනයට ලක් කරන්නන් හෙවත් pedophiles) ‘පාරාදීසයක්’ ලෙස මිනිස් ජාවාරම්කරුවන් අතර ප්‍රසිද්ධියක් උසුලනවා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ (CRC) ළමයින් මුදලට විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමයින් පිළිබඳ අසභ්‍ය අශීලාචාර ප්‍රකාශන සඳහා වන විකල්ප සම්මුතියේ (Optional Protocol) දෙවන වගන්තියට අනුව ළමා ගණිකා වෘත්තිය යනු ලිංගික සන්තර්පණයන් සඳහා මුදල් හෝ වෙනත් ආකාරයක

ගෙවීමක් වෙනුවෙන් ළමයෙකු යොදවා ගැනීම යි. මෙම අර්ථ දැක්වීමට අනුව මුදල් සම්බන්ධ හෝ මුදල් සම්බන්ධ නොවන ප්‍රතිලාභ ලබා ගැනීම (තෑගී, ආහාර, ඇඳුම්…) සඳහා ළමයෙකු ලිංගික සේවනයේ යෙදවීම ළමා ගණිකා වෘත්තිය ලෙස හඳුන්වනවා.

ළමා කාමුක දර්ශන පිළිබඳ වීඩියෝ පිටපත් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා සංසරණය වන බව අධ්‍යනයකින් ගණන් බලා තිබෙන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් රූගත කර ඇත්තේ පිලිපීනය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල බව අනාවරණය වෙලා තියෙනවා.

1992 වර්ෂයේ දී, ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ නිවසක දී සිදු කළ වැටලීමකින්, කාමාතුරයන් පිරිසක් කුඩා දරුවන්ගේ ලිංගික අවයව විස්තර කරන ලිපි තොගයක් අත්අඩංගුවට ගැනුණා. එහිදී ළමුන් යොදවා රූගත කළ පැය 300ක කාමුක වීඩියෝ දර්ශන ද සොයා ගත්තා. බොහොමයක් රූගත කර තිබුනේ ලංකාවේදීයි. “Boy Love in Negombo and Hikkaduwa – the Child Sex Paradise” විදියට තමයි ඒවා නම් කරලා තිබ්බේ.

ශ්‍රී ලංකාවේ බාලවයස්කාර දරුවන් ගණිකා වෘත්තීයට යොදවා ගැනීම වැඩිපුරම සිදුවන්නේ කෞමාර කාමය මූලික අරමුණ කරගෙන දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයන් නිසයි. මෙවැනි කාමාතුරයන් බොහෝ අවස්ථාවල තෝරාගන්නේ මේ සම්බන්ධයෙන් හරිහමන් නීති පනවා නැති රටවල්. එසේ සංචාරය කරන රටවල් වලින් අතරමැදියෙකු සොයාගෙන ඒ හරහා ඔවුන් තම අස්වාභාවික ලිංගික ආශාවන් ඉටුකර ගන්නවා. කොහොම වුණත් දේශීය සංචාරකයන් නිසා කුඩා දරුවන් ගණිකා වෘත්තියේ ගොදුරු බවට පත්වන අවස්ථා බහුල වෙලා තියෙනවා. සමහර ඇස්තමේන්තු වලට අනුව ශ්‍රී ලංකාවේ ළමා ලිංගික ශ්‍රමිකයන් 40,000 ක් සිටින අතර ඔවුන්ගෙන් 5,000 – 30,000 ක් පමණ සංඛ්‍යාවක් කෞමාර කාමය සොයා පැමිණෙන විදේශීය සංචාරකයන් මගින් අපයෝජනයට ලක්වී තිබෙනවා.

දුප්පත්කම, නිසි අධ්‍යාපනයක් නොලැබීම, දෙමව්පියන් විසින් නොසලකා හරිනු ලැබීම, විසිරුණු පවුලක ජීවත් වීම සහ නිවසේදී කායික, මානසික, ලිංගික අපයෝජනයන්ට ලක්වීම යන කරුණු බාලවයස්කාර දරුවන් ගණිකා වෘත්තිය වෙත ඇද දමන හේතු සාධකවී තිබෙනවා. මෙම වෙළඳාමේ ලාභදායී ස්වභාවය නිසා බොහෝ දරුවන්, දෙමව්පියන්ගේ අනුමැතිය හෝ බලපෑම ඇතිව, ගණිකා වෘත්තියේ යෙදෙනවා. ශ්‍රී ලංකාව තුළ පිරිමි සහ ගැහැණු දරුවන් යන දෙකොටසම ගණිකා වෘත්තියේ ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. කොහොම වුණත්, සංචාරකයන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවනු ලබන බාලවයස්කාර දරුවන්ගෙන් බහුතරයක් සංවිධානාත්මක කල්ලි වලින් මේ සඳහා යොමු කරන ලද පිරිමි දරුවන් වෙනවා. ‘Beach boys’ යනුවෙන් හැඳින්වෙන මේ දරුවන් කාමාතුරයන්ගේ පහසු ගොදුරක් බවට පත්වෙන්නේ ඔවුන් ස්වභාවයෙන්ම මිත්‍රශීලී නිසා මෙන්ම, දරිද්‍රතාවයෙන් පිඩාවට පත්වී මුදල් අවශ්‍යතාවයන් වලින් පෙළෙන නිසයි.

සංචාරකයන්ගේ ලිංගික ආශෘවන් සඳහා ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීම අප රටේ සදාචාරාත්මක අඛණ්ඩතාව බිඳ වැටීමට හේතුවක් වෙලා තියෙනවා. මෙහි ගොදුරු බවට පත්වන අහිංසක දරුවන්ගේ කඳුළු කතාව ලෝකයාට දැනගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මේ දරුවන්ට විඳින්නට සිදුවන අමිහිරි අත්දැකීම් නිසා ඇතිවන චිත්තවේගී, මානසික සහ ශාරීරික බලපෑම ඔවුන් තනිවම විඳ දරා ගත යුතුයි. ලිංගාශ්‍රිත රෝග වලටද ඔවුන් ගොදුරු වන අතර සමාජය තුල කොන්කිරීමකට ද ලක්වෙනවා. නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථා නොමැති ප්‍රදේශ වල ජීවත් වන මිනිසුන්ට, ලිංගික සූරාකෑමට ලක්වන දරුවන්ට විඳින්නට වන දිගු කාලීන මානසික පීඩාව සහ සෞඛ්‍යමය අවදානම පිළිබඳව හරිහැටි දැනුමක් නැහැ.

කනගාටුදායක කරුණ නම් බොහෝ දරුවන් ගණිකා වෘත්තියට ඇද දමන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් හෝ ඔවුන් හොඳින් දැන හඳුනන, විශ්වාස කරන කෙනෙකු විසින් වීමයි. ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවන ළමා ගණිකා වෘත්තීය සහ ලිංගික සූරාකෑම පිළිබඳ ව පූර්ණ ලේඛනගත කිරීමක් සිදුකිරීම දුෂ්කර කාර්යයක් වන්නේ එහි අතිශය රහසිගත භාවය නිසයි. දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම නැති කර ගන්නේ කොහොමද යන්න සහ දැනටමත් ලිංගික සූරාකෑමට ලක්වුණු ළමුන්ට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව දරුවන් තුළ ඇති අවබෝධය පිළිබඳව මැන බැලීම සඳහා අවුරුදු 13-17 අතර වයසේ පසුවන පාසල් ළමුන් 145 දෙනෙකු යොදගෙන නියමු අධ්‍යනයක් සිදු කර තිබෙනවා .ළමුන් ලිංගික සූරාකෑමට ලක්වීමට වැඩි අවධානමක් ඇති වෙරළබඩ පාසල් 4ක ළමුන් මේ සඳහා තෝරා ගෙන තිබුණා. මේ පාසල් දරුවන් අතරින් 10%ක් කියා සිටියේ ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති බවයි. ඊට අමතරව 8%ක ළමුන් සංඛ්‍යාවක් සමවයසේ පසුවන වෙනත් ළමුන් සමග ද, තවත් 5%ක් වැඩිහිටියන් සමග ද, 6%ක් මුදල් සඳහා වැඩිහිටියන් සමග ද ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති බව අනාවරණය වුණා. (8% ළමයින් පිරිසක් මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා)

මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?

ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරිපූර්ණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාති ක ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA), ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ කාන්තා හා ළමා කාර්යාංශය මෙයට ඇතුළත්. මේ සෑම ආයතනයක්ම පිහිටුවා ඇත්තේ ළමුන්ට හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සහ ස්ත්‍රීභාවය නිසා කාන්තාවන්ට විඳින්නට වන පීඩාවන් මඟහරවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වෙනත් අරමුණු මතයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන හා ළමුන් නොසලකා හැරීම කළමනාකරණය සඳහා වූ ජාතික මාර්ගෝපදේශයක් ද ස්ථාපිත කර තිබෙනවා. මෙය විවිධ අපයෝජනයන්ට ගොදුරු වූ සහ නීති පද්ධතියට ඇතුළු වන දරුවන් රැකබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයකි. මෙම ආයතන වෙනත් ඕනෑම රාජ්‍යය සංවිධානයක් තරම් ම කාර්යක්ෂම විය යුතුයි. මෙම මාතෘකාව පිළිබඳ ගවේෂණය කරන අතරතුර දී කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා වන විශේෂ දුරකතන අංකය ඇමතු නමුත් එය පොලිස් ස්ථානයකට අයත් දුරකථන අංකයක් මිස කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳ ව දැනුම් දීමට වෙන් කර ඇති විශේෂ අංකයක් නොවන බව හඳුනාගන්න ලැබී තිබෙනවා.

අපේ දරුවන්ට ආරක්ෂාව තහවුරු කළ යුතුයි. එහෙත් මේ සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සකස් කර නැති නීති සහ ප්‍රතිපත්ති රාමු මගින් ඔවුන් අපයෝජනයන්ට ලක් නොවන බවට පූර්ණ සහතිකයක් ලබා දෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here