2020 Apr 6
පහුගිය දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල සංසරණය වුණු පුවතකින් කියවුනේ චීනයෙන් තවත් අලුත් මාරාන්තික වෛරසයක් හමුවී ඇති බව. චීනයේ යුනාන් ප්‍රදේශයේ බස් රථයක ගමන් ගනිමින් සිටි මගියකු හදිසියේ බස් රථය ඇතුලෙම මැරී වැටුණු බවත් පසුව සොයාගත් පරිදි කොරෝනා වෛරසයට වඩා මාරාන්තික වෙනත් අලුත් වෛරසයක් ඔහුගේ ශ්වසන පද්ධතිය විනාශකොට තිබූ බවත් මේ සමාජ මාධ්‍ය වල සංසරණය වුනු තොරතුරු වලින් කියවුනා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන අපි විශේෂඥ වෘත්තියවේදීන් ඉදිරිපත් කර ඇති තොරතුරු විමසා බැලීමක් කළා.
දැනට සොයාගෙන තිබෙන විදිහට චීනයේ මේ කියන පුද්ගලයා මියයෑමට හේතුවුණු ආසාදිත වෛරසය වන්නේ හන්ටා වෛරසය (Hantavirus) බව පැවසෙනවා. Hantavirus කියන්නේ විශේෂිත එක වෛරසයක් නොවෙයි. ඒක වෛරස් කාණ්ඩයක්. මේ කාණ්ඩයටම භාවිතා කරන පොදු නම Hantavirus වනවා වගේම මේ වනවිට (According to 2018b virus taxonomy release by international committee on taxonomy of viruses – ICTV) මේ කාණ්ඩයට අයත් වෛරස විශේෂ 47ක් හඳුනාගෙන තිබෙනවා. (47 species in family hantaviridae). සමීක්ෂණ දත්ත වලට අනුව පැරණි ලෝකයේ හන්ටා වෛරස සහ නව ලෝකයේ හන්ටා වෛරස විදිහට කොටස් දෙකකට මෙය හඳුනාගෙන තිබෙනවා. යුරේශියානු කලාපය ඒ කියන්නේ යුරෝපය සහ ආසියාව ඇතුළත් කලාපය පැරණි ලෝකය විදිහටත් උතුරු සහ දකුණු ඇමරිකානු කලාපය නව ලෝකය ලෙසත් මේ වර්ගීකරණයේදී හඳුනා ගැනෙනවා.
පහුගිය සියවස සළකා බැලුවොත්, ප්‍රධාන වශයෙන් දැවැන්ත හන්ටා වෛරස වසංගත තත්ත්වයන් දෙකක් වාර්තා වනවා. එකක්, 1950 -1953 අතර කොරියානු යුධ සමයේදී හඳුනා ගැනුනා. මේ නිසා ඒ් ජාතීන්ගෙ 3000 පමණ බට පිරිසක් රෝගි තත්වයට පත්වෙලා තියෙනවා. මේක නම් කරලා තිබුනේ Korean hemorrhagic fever ලෙසයි. (කොරියානු රක්තපාත උණ) විද්‍යාත්මකව මේක හඳුන්වන්නේ hemorrhagic fever with renal syndrome (HFRS) ලෙසයි . හේතුව තමයි රක්තපාත තත්වයත් සමඟ වකුගඩුවල සංකූලතා ඇතිවෙන වීම.
දෙවැන්න වාර්තා වෙන්නේ 1993 දි ඇමරිකාවේ Four corners ප්‍රදේශයෙන්. මේක hantavirus pulmonary syndrome (HPS) කියල තමයි හැඳින්වුනේ. මේ වෛරස විශේෂයේ පහරදීම නිසා ශ්වසන පද්ධතියේ සංකූලතා හටගන්නවා. HFRS හේතුවෙන් 12% කුත්, HPS හේතුවෙන් 60% කුත් වුනු මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. හන්ටා වෛරස වල පොදු ලක්ෂණය තමයි මේවා මිනිසාට බෝවීම සිදුවන්නෙ සතුන් මගින් වීම. විශේෂයෙන්ම කෘන්තකයන්ගෙන් (Rodents). එනම් මීයන්ලේ සහ ලේනුන් අයත් කුලය. ආසාදිත කෘන්තකයකුගේ මළපහ මුත්‍රා හෝ මළපහ මිශ්‍රිත වායු අංශු/බිඳිති ආශ්වාස කිරීමෙන් හෝ ආසාදිත කෘන්තකයකුගේ ඛේටය මගින් වෛරසය මිනිසාට ආසාදනය වන බව හඳුනාගෙන තිබෙනවා. මිනිසා මේ වෛරසයේ අවසන් ධාරකයා වන නිසා මිනිසාගෙන් මිනිසාට වෛරසය සම්ප්‍රේෂණය නොවන බව පැවසෙනවා. ආජන්ටිනාවේ හා චිලී රටෙන් හමුවුණු මේ කාණ්ඩයට අයත් ඇන්ඩිස් (Andes) වෛරසය පමණයි මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වුණු බවට සාධක තිබෙන්නේ. මීට අමතරව වැලි මීයා (Mole), වවුලන් (Bats) යොදාගෙන කළ පර්යේෂණ වලදී ඒ සතුන් තුළිනුත් මේ වෛරසය හඳුනාගෙන තිබෙනවා. මෑතකදී සමහර මත්ස්‍ය විශේෂ තුළිනුත් වෛරසය සොයාගෙන ඇති නමුත් ඉන් මිනිසාට ආසාදනය විය හැකි බවට මෙතෙක් තහවුරු කරගන නැහැ.
ලංකාවේ හන්ටා වෛරසයේ තත්ත්වය..
1988 වසරේදී එවකට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි මහාචාර්ය තිස්ස විතාරණයන් ලංකාවෙන් මේ වෛරසය ආසාදනය වූවන් සොයාගෙන තිබෙනවා. දිවයින පුරා රෝහල් වලින් ලැබුනු සාම්පල 248ක් පරික්ෂා කිරීමෙන් පසු එයින් සාම්පල 14ක හන්ටා වෛරසය ආසාදනය වී තිබූ බව සොයා ගැනුනා. ඉන්පසු මහාචාර්ය තිස්ස විතාරණයන් කොළඹ වරාය ආශ්‍රිතව මීයන් (Rattus norvegicus) යොදාගෙන මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළා. මීයන් 96ක නියැදියක් පරීක්ෂාවෙන් පසු මීයන් 13 දෙනෙකු තුළ හන්ටා වෛරසය හඳුනා ගැනුනා. ප්‍රතිශතයක් ලෙස 14%ක් බව සඳහන් වනවා. කොළඹ වරාය ආශ්‍රිත මීයන් තුළින් හඳුනාගත් හන්ටා වෛරසය “Seoul virus” කාණ්ඩයට සමාන බව පැවසෙනවා.
2011 වසරේදී ආචාර්ය චන්දික ගමගේ ඇතුළු පිරිසක් විසින් එවකට පේරාදෙණිය රෝහලට ඇතුළු වුනු මී උණ යැයි සැක කෙරෙන රෝගීන් 105ක් පරීක්ෂාවන් සිදුකිරීමේදී එයින් 08 දෙනෙකු තුළ Hantavirus antibodies තිබුණු බව හඳුනාගෙන තිබෙනවා. ඉන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ගිරාඳුරුකෝට්ටේ සහ මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් (Chronic kidney decease of unknown etiology) අතුරින් 50%ක් පමණ පුද්ගලයින් තුළ හන්ටාවෛරස ප්‍රතිදේහ තිබී සොයාගැනුනා. එසේම වකුගඩු රෝගීන් නොවන සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න පුද්ගල නියැදියෙන් 17%ක පමණ පිරිසකගේ සිරුරේ හන්ටාවෛරස ප්‍රතිදේහ හඳුනාගෙන තිබෙන බවත් තහවුරු වුණා. නුවර ප්‍රදේශයේ වකුගඩු රෝගීන් නියැදියෙන් 18% ක් සහ සෞඛ්‍යසම්පන්න සාමාන්‍ය පුද්ගල නියැදියෙන් 7%ක් පමණ හන්ටා වෛරස ප්‍රතිදේහ සහිතව හමුවූ බවත් සමීක්ෂණ දත්ත මගින් පැවසෙනවා. ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මීයන් ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණයක් මගින් මීයන් 116ක නියැදියකින් 20%ක් හන්ටා වෛරස ආසාදිත සතුන් බව සොයාගෙන තිබෙන අතරම ඔවුන් තුළින් හමුව ඇත්තේ තායිලන්තයෙන් සොයාගත් Thailand hantavirus නම් විශේෂයට සමානකම් සහිත වෛරසයක් බවත් පැවසෙනවා.
Haemorrhagic fever with renal syndrome (HFRS), නැතිනම් රක්තපාත උණ සහ වෘක්කිය සහ ලක්ෂණය ප්‍රධාන වශයෙන් ආසියානු සහ යුරෝපීය කලාපයේදී හඳුනා ගැනෙන තත්ත්වය වන අතරම, වාර්ෂිකව ලෝකය පුරා 60,000 – 100,000 අතර ප්‍රමාණයකට මේ HFRS ආසාදන තත්වය ඇතිවූ බවට තොරතුරු පවතිනවා. කෙසේ නමුත්, මේ හන්ටා වෛරසය හඳුනා නොගත් නව වෛරසයක් නොවන බව විශේෂඥන් අවධාරණය කර සිටිනවා. ඒ වගේම මේ වෛරසයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිවකු අසාධ්‍ය තත්වයට පත්වී නැති බවත් ඔවුන් තහවුරු කර සිටිනවා.
References
- Vitarana T, Colombage G, Bandaranayake V, Lee HW (1988) Hantavirus disease in Sri Lanka [letter]. Lancet 2:1263
- Gamage CD, Yasuda SP, Nishio S, Kularatne SA, Weerakoon K, Rajapakse J, Nwafor-Okoli C, Lee RB, Obayashi Y, Yoshimatsu K, Arikawa J, Tamashiro H. Serological evidence of Thailand virus-related hantavirus infection among suspected leptospirosis patients in Kandy, Sri Lanka. Jpn J Infect Dis. 2011;64(1):72-5. PubMed PMID: 21266762.
- Sarathkumara YD, Gamage CD, Lokupathirage S, Muthusinghe DS, Nanayakkara N, Gunarathne L, Shimizu K, Tsuda Y, Arikawa J, Yoshimatsu K.(2019), Exposure to Hantavirus is a Risk Factor Associated with Kidney Diseases in Sri Lanka: A Cross Sectional Study.,Viruses. 2019 Jul 31;11(8). pii: E700. doi: 10.3390/v11080700
- Lokupathirage SMW, Muthusinghe DS, Shimizu K, Nishigami K, Noda K, Tsuda Y, Sarathkumara YD, Gunawardana S, Arikawa J, Gamage CD, Yoshimatsu K. (2019),Serological Evidence of Thailand Orthohantavirus or Antigenically Related Virus Infection Among Rodents in a Chronic Kidney Disease of Unknown Etiology Endemic Area, Girandurukotte, Sri Lanka.Vector Borne Zoonotic Dis. 2019 Jul 24. doi: 10.1089/vbz.2018.2429.