හතර වටෙන් Covid -19 වෛරසය සම්බන්ධයෙන් හඳුනාගත් අලුත්ම රෝග ලක්ෂණය..

Covid -19 වෛරසය සම්බන්ධයෙන් හඳුනාගත් අලුත්ම රෝග ලක්ෂණය..

2020 Apr 5

ලොව පුරා COVID -19 වෛරසය පැතිර යාමේ ප්‍රධානතම ක්‍රමවේදය ලෙස හඳුනාගන තියෙන්නේ මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන හරහා විසබීජ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම මගින් බව ඔබ දැනටමත් හොඳින්ම දන්න කාරණාවක්.

ඒ වගේම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙම වෛරසය බෝවෙන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වශයෙන් ආසාදිතයගෙන් පිටවෙන සෙම, කෙල, කිවිසුම් යැවීමේදී පිටවන සොටු යන මාර්ග වලින් වන අතර කෙනෙකු කිවිසුම් යවන විට, කහින විට, මෙන්ම මෙම ශ්‍රාවයන් ස්පර්ශ කර වෙනත් ස්ථාන ඇල්ලීම වැනි ක්‍රියා මගින් මේ වෛරසය පුද්ගලයෙකුගෙන් තවකෙකුට පැතිරීමේ හැකියාව පවතිනවා.

 

මේ වෙනකොට රෝගය තමන්ට වැළඳී තිබෙනවාද යන්න දැනගන්න , ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව මහජනතාව දැනවුත් වෙලා තිබෙනවා. ඔබට උණ, හිසරදය, ඇඟපතෙහි ඇතිවෙන කැක්කුම් ,උගුරේ අමාරුව , කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා තිබෙනවා නම් පරීක්ෂණ සඳහා යොමුවෙන්න කියලා බලධාරීන් මේ වෙනකොට මහජනතාව දැනුවත් කර තිබෙනවා.

 

මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙස්ටන් මහ රෝහලේ ස්නායු රෝග ඒ්කකයේ අංශ ප්‍රධානියා ලෙසද සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස වි‌ජේරත්න මහතා පවසන්නේ Covid -19 මූලික රෝග ලක්ෂණ අතරට “ගඳ සුවඳ” නොදැනීම ද ඇතුලත් වන බවට මේ වන විට කර ඇති පරීක්ෂණ වලින් හඳුනාගන තිබෙන බවයි. රෝගය හටගන්න මූලික අවස්ථාවේදී  ගඳ සුවඳ දැනීමේ හැකියාව නැතිව යාම ඇතිවෙන බවත්, මෙම රෝග ලක්ෂණය 30% පිරිසකට පමණ තිබෙන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගන තිබෙන බවත් මෙමගින් රෝගය කල් තියා හඳුනාගැනීමට හැකියාව පවතින බවත් තවදුරටත් එතුමා විසින් පවසා තිබෙනවා. විශේෂයෙන්ම කැස්ස , මද වශයෙන් පවතින උණ ගතිය එහෙමත් නැත්තම් සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව වගේ රෝග තත්ත්වයක් එක්කම තදින් ගඳ සුවඳ නොදැනීමේ හැකියාව තිබෙනවා නම් කොරෝනා වෛරසය පිළිබඳව බරපතල ලෙස සැක කරන එක යහපත් බව එතුමා පවසනවා..

 

ඔබටත් මෙම රෝග ලක්ෂණ පවතිනවනම් ඉක්මනින් 1990 අමතා අදම පරීක්ෂා කරගන්න..

 

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම හානිදායක ලෙස බලපානු ලබන්නේ අපගේ වැඩිහිටි ජනතාවට. වයසින් අඩු පුද්ගලයින් සඳහා සංකූලතා ඇති වීමේ අවදානම අඩු වුවද, වයස ක්‍රමයෙන් වැඩිවත්ම සංකූලතා ඇතිවීමේ අවදානම සහ රෝගය මාරාන්තික වීමේ අවදානම ක්‍රමානුකූලව වැඩි වෙනවා.

 

මීට අමතරව හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින්, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සහ දීර්ඝකාලීන ස්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් සංකූලතාවලට ලක් වීමේ අවදානම සාපේක්ෂව වැඩි බවක් පෙන්නුම් කරනවා.

 

ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින ලෙසට දැනුවත් කරන්න.

 

ඔබගෙන් රෝගය වැඩිහිටියන්ට බෝවීම වැලක්වීමට, ඔබත් නිරෝගීව සිටිය යුතුය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබත් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්න.

මේ අවස්තාවේ කරුණාකර නිවසේම රැඳිසිටින්න වගබලාගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here