හතර වටෙන් ඔන්ලයින් පන්තියකට සහභාගී වීමේදී කළයුතු සහ නොකළයුතු දේ…

ඔන්ලයින් පන්තියකට සහභාගී වීමේදී කළයුතු සහ නොකළයුතු දේ…

2020 Apr 11

ඔයත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ එහෙමත් නැත්තම් ගෙදර ඉදන් online පාඨමාලාවක් හදාරන කෙනෙක් නම් මේ දවස් වල මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි online පන්තියට සහභාගී වීම. විශේෂයෙන්ම උදේ 8 තියෙන පංතියට. කොහොම වුණත් කොරෝනා වෛරස් රෝගය නිසා අපේ ජීවිත රටාව දැනට වෙනස්වෙලා තියෙනවා. ඔයාගේ උපාධිය හෝ පාඨමාලාව වගේ අධ්‍යාපන කටයුතු හොඳින් වැඩිදියුණු කරගන්න මේ දවස් වල ඔයාට හම්බවෙලා තියෙන වෙලාව ගොඩක් පාවිච්චි කරොත් ඔයාට ලොකු වාසියක් ලබාගන්න පුළුවන්. අපි බලමු අද online පන්තියට සහභාගී වීමේදී ඔයා කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද කියලා.

 

 

ඔයාගේ පංතිය සදහා කලින්ම සුදානම් වෙන්න

 

මේක online පංතියක් නිසා , ඔයාට විනාඩි 15 ක් ප්‍රමාද වෙලා දේශනයට යන්න බැහැ වගේම පළවෙනි මිනිත්තු 15 දී කථිකාචාර්යවරයා කතා කරපු හැමදේම අපහු කියන්න කියලා ඔයාගේ යාලුවගෙන් අහන්නත් බැහැ. උදේම නැගිටින්න පුරුදු වෙන්න.ඔයාගේ විශ්වාසවන්තම alarm එක වෙන අම්මාට කියන්න ඔයාව උදේම ඇහැරවන්න කියලා. එතකොට ඔයා ඕනවට වැඩිය නිදාගන්නේ නැහැ. ඔයාගේ ලැප්ටොප් එක හෝ ipad එක හරි අවශ්‍ය වෙන හැමදේම කලින්ම charge කරලා තියන්න අමතක කරන්න එපා. අවම වශයෙන් මිනිත්තු 5 කට කලින් හරි system එකට පිවිසිලා දවසේ සාකච්ඡාව පටන්ගන්න සූදානම් වෙලා ඉන්න. දේශනයට පරක්කු වෙලා සම්බන්ධ වෙලා ඔයාගේ කථිකාචාර්යවරයාට සහ ඒ වෙලවේ කලින් ඉදන්ම පාඩම අහගෙන ඉන්න යාළුවන්ට බාධාවක් නොවෙන්න හැම තිස්සෙම උත්සහ කරන්න.

 

 

ඔයාගේ කථිකාචාර්යවරයාට සහාය වෙන්න

 

පංතියේ බොහෝ සිසුන් සිටින කොට බාහිර අවධානය අවම කර ගන්න ඔයාගේ මයික්‍රෝෆෝනය ක්‍රියා විරහිත කරන්න හෝ තාක්ෂණික දුෂ්කරතා අවම කරගන්න ඔයාගේ වීඩියෝව ක්‍රියා විරහිත කරන්න ඔයාගේ කථිකාචාර්යවරයා ඔයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම වැඩිය තාක්ෂණික දැනුමක් නැති ඔයාගේ සමහර කථිකාචාර්යවරුන් ඔයාගේ පන්ති පවත්වන්න online ක්‍රමය භාවිතා කරන්න ගොඩක් වෙහෙස වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාලට උදවු කරන්න. ඔයාගේ මිස් හෝ සර් විසින් දෙන ලද උපදෙස් පිළිපදින්න, එයාලා එක්ක ඉවසිලිවන්තව කටයුතු කරන්න.මොකද එයාලා ඔයාගේ පාඨමාලාව සම්පුර්ණ කරන්න ගන්නේ ලොකු මහන්සියක්.

 

 

connections අවුල් වෙලාවට ඉවසිලිවන්ත වෙන්න

 

අපි ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක වුණත්, බොහෝ තාක්ෂණික දියුණුවක් තිබුණත් තවමත් අපිට ප්‍රමාද වීම්, පද්ධති බිඳවැටීම් සහ බොහෝ විට ජාල සම්බන්ධතා ගැටළු අත්විඳින්න සිද්ද වෙනවා.හොඳ අන්තර්ජාල සම්බන්දතා නැති නිසා අපිව කළකිරීමකට පත් වෙන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් අසීමිතව data ලබානොදෙන නිසා. නමුත් හැම බාධාවක්ම අමතක කරලා පුළුවන් තරම් ඉවසිලිවන්ත වෙලා ඔයාගේ online class එකට ලොග් වෙන්න උත්සහ කරන්න.

 

 

ඔයාගේ පංතියට හොඳ පරිසරයක් තෝරා ගන්න

 

ඔයාගේ අවධානය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් හොඳ පරිසරයක් අත්‍යවශ්‍යම දෙයක්. මේ සදහා ඔයාගේ ඇඳ තෝරාගන්න නම් එපා. මොකද එතකොට ඔයාගේ පංතිය අතරතුරෙත් ඔයාට වැඩි වෙලාවක් නිදිමතේ තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම ගෙදර තියෙන නිදහස්ම නිශ්ශබ්දම කාමරය මේ සදහා තෝරා ගන්න. එතකොට ඔයාගේ පංතියට බාධා වෙන ශබ්ද ඇසෙන එකක් නැහැ. ඒ වගේම ඔයාගේ අම්මට,තාත්තාට, විශේෂයෙන්ම නංගිට මල්ලිට කියලා තියන්න ඔයාගේ මේ කාලය අතරතුර ඔයා පංතිය සදහා සහභාගී වෙනවා කියලා. එතකොට ඔයාටවත්,ඔයාගේ පන්තියේ යාලුවොන්ටවත් ඔයාගේ ගුරුවරයටවත් පන්තිය අතරතුර කිසිම බාධාවක් වෙන එකක් නැහැ.

 

 

ඔයාගේ නියමිත කාර්යයන් සම්පූර්ණ කරන්න.

 

ඔයාට නිශ්චිත දිනයක් හා වේලාවක සම්පූර්ණ කරන්න සතිපතා කාර්යයන් හෝ පැවරුම් ලබාදීලා තියෙනවා නම් ඒවා සම්පුර්ණ කරලා කලින් ඉදිරිපත් කරන්න වග බලා ගන්න. ඔයාගේ වැඩ කටයුතු අවසන් කරන්න කලබල වෙන්න එපා වගේම අවසාන මොහොතේදී එය ඉදිරිපත් කරලා පස්සේ තාක්ෂණික ගැටළු වලට දොස් පවරන්නත් එපා. (අපි දන්නවා අපිට කොයිතරම් කපටි වෙන්න පුලුවන්ද කියලා!).

 

 

පංතිය තියෙන වෙලාව අතරතුර වෙනත් උපාංග අවමව භාවිතා කරන්න

 

ඔව් අපි දන්නවා ඔයාගේ යාලුවෝ සෙට් එක එකතු වෙලා tiktok videos හදනකොට එහෙමත් නැත්නම් නිරෝධායන memes හදනකොට ඔයාගේ phone එක පැත්තකින් තියලා පන්තියේ පාඩම අහගෙන ඉන්න එක කොයි තරම් නම් අමාරුද කියලා. හැබැයි මතක තියාගන්න magic එකක් වගේ එයාලා හදන videos,memes පැය දෙකෙන් තුනෙන් එකපාරටම අතුරුදහන් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පැය කිහිපයේදී ඔයාගේ අවධානය යොමු කරන්න උපරිම උත්සහ කරන්න. ඒ වගේම දිගු කාලීනව ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ මොකද්ද කියලා හිතලා බලන්න.

 

 

කතා කරන්න!

 

අවසාන වශයෙන් ඔයාගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කතා කරන්න බය වෙන්න එපා. පංති කාලයේදී ඔයාගේ කථිකාචාර්යවරයා සමඟ පාඩම පිළිබඳ ඔයාගේ සැකයන්, ප්‍රශ්න කතාකරන්න. ඒ වගේම පංතිය පැවැත්වෙන අතරතුර ඔයාගේ කථිකාචාර්යවරයා සමඟ කටයුතු කරන්න උපරිම උත්සාහ කරන්න. එතකොට ඔයාගේ කථිකාචාර්යවරයාට දැනගන්න පුළුවන් ඔයා පාඩම ගැන අවධානෙන් ඉන්නේ කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here