හතර වටෙන් Covid වසංගත මධ්‍යයේ දෙමව්පියන්ගේ කාර්යභාරය..

Covid වසංගත මධ්‍යයේ දෙමව්පියන්ගේ කාර්යභාරය..

2020 Apr 18

නිරෝධායන කාලය නිසා පවුලේ හැමෝම ඉන්නෙ ගෙදර…ඉතිං,දෙමව්පියන් විදියට “අද මම උයන්නෙ මොනවද?”… “මගේ වැඩ ටිකයි දරුවන්ගේ දේවලුයි සමබරව කරගන්නෙ කොහොමද?”…වගේ ප්‍රශ්න ගැන හිතමින් කරදර වෙනවා ඇති..ගිය සති දෙකක කාලයක් තිස්සේ දෙමව්පියන් , තරුණයන්ට, දරුවන්ට ,ඒ කියන්නෙ අපි හැමෝටම නොහිතපු විදියේ ජීවිත රටාවේ වෙනස් වීමකට මුහුණ දෙන්න වුණා. හැබැයි අපි හැමෝටම වැඩියෙන් රැකියාවක් කරපු නොකරපු හැම දෙමව්පියෙක්ටම මේ දින වල විවේකයක් නොමැති පූර්ණකාලීන රැකියාවක් ලැබී තිබෙන බව නම් රහසක් නෙවෙයි….

මේ දවස් වල දෙමව්පියන් විදියට දරුවන් එක්ක කටයුතු කල යුතු ආකාරය ගැන ජිවිතය පිළිබඳව උපදේශිකාවක් වන යශෝධරා පතාංජලී සහ ඒෂියන්පෙරන්ට්හී අධ්‍යක්ෂිකා නාලීකා උන්ටැන්නේ යන මහත්මියන් ඔවුන්ගේ අදහස් අප සමග බෙදාගැනීමෙන් ගැස්ම අපට සහය වුණා. ඔවුන් සමහර දෙමව්පියන්ට එන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් අරන් ඒකට විසදුම් ඉදිරිපත් කළා.

 

 

දවසේ කටයුතු වලට නිවැරදි කාල සටහනක් සාදන්න.

මේ දවස් වල එකම කාල සටහනකට හුරු වෙන්න දරුවන්ට ටිකක් අපහසුයි. මොකද පංති, පාසල්, ක්‍රිඩා පුහුණු වීම් මේ දවස් වල නෑ. ඒ කොහොම වුණාත් දරුවන්ව කාල සටහනකට හුරු කිරීම එයලාගෙ අනාගතයට වටිනවා. ඒ නිසා මේ දවස් වල දැඩි කාල සටහනක් නැතිව පහසු කාල සටහනක් සාදාන්න. පාඩම් කරන්න කියලා නිතරම බල නොකර ඊට පොඩි කාලයක් පමණක් වෙන්කරන්න. ඒ වගේම සුව නින්දක් ලබා ගැනීමට සහ නිවැරදි ආහාර රටාවකට දරුවන්ව හුරු කරන්න. ඒකාකාරී බවෙන් මිදෙන්න පවුලක් විදියට පොඩි පොඩි ක්‍රීඩා ටිකක් කරන්න අමතක කරන්න එපා.

 

 

විවෘතව කතාකරන්න.

දරුවන්ට මේ තියෙන වාතාවරණය තේරුම් ගන්න අපහසු , බැරෑරුම් කාලයක් කියලා අමතක කරන්න එපා. මේ දේවල් තේරුම් ගන්න දෙමව්පියන්ගෙ උපකාරය දරුවන්ට ගොඩක් වැදගත්. මිනිස් මොළේ ක්‍රියාකාරීත්වය අනුව, තවත් අයෙක් සමග අදහස් ,යෝජනා, චෝදනා බෙදාගැනීමෙන් අපේ මනසට සැහැල්ලුවක් වගේම අපි තනිවෙලා නෑ කියන හැගීමක් ඇතිවෙනවා. ඉතිං සමහර වෙලාවට දරුවන් නොදැනුවත්කම නිසා තේරුමක් නැති ප්‍රශ්ණ අහන්න පුලුවන්. ඔවුන්ට හොදින් සවන්දීලා, කාරුණිකව එය පැහැදිලි කර දෙන්න.

 

 

හැමෝගෙම සහය ලබා ගන්න

නිරෝධායන සමයේ නිදහස වැඩියි. වෙනදා කරන්න වෙලාවක් තිබ්බෙ නැති දේවල් කරන්න වෙලාව දැන් ඕනාවටත් වැඩියෙන් තියෙනවා. ඒ නිසා මේ කාලයේදි ,උයන පිහන දේවල්, ගෙවල් දොරවල් අස් කරන්න,ගෙවතු වගාව වගේම විවිධ උපකරණ භාවිතා කරන්න ඉගෙන ගන්න වගෙ දේවල් වලට දෙමව්පියන්ට වැඩි ඉඩකඩක් ලැබී තිබෙනවා. ඉතිං ඒ සදහා ඔබේ දරුවාගෙත් සහය ලබාගන්න. ඒ තුළින් පවුලේ බැදීම තවත් ශක්තිමත් වේවි.

 

 

තාක්ෂණයෙන් ප්‍රයෝජනයක් ගන්න කාලයයි !!!

වැඩිහිටියන් විදියට දැන් අපි මුහුණ පා තියෙන සමාජ දුරස්ථබව නිසා අපේ මානසික සෞඛ්‍ය හා එහි ස්ථාවරත්වයට බලපෑම් ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මේක අපිට එකපාරටම නොපෙනුණත් ක්‍රමක්‍රමයෙන් කාලය යන්න යන්න එහි බලපෑමද වැඩි වෙනවා.

මේ සමාජ දුරස්ථබව අපිට වගේම අපේ දරුවන්ටත් බලපෑම් ඇති කරනවා කියන දේ නොදෙවෙනි කරුණක්. ඒකට හේතුව තමයි,එයාලගේ යාළුවෝ එක්ක කතා කරන්න, සෙල්ලම් කරන්න, පාසල් යන්න, මේ හැමදේම එයාලට මේ වෙද්දි මගඇරිලා තියෙනවා. මේ නිසා පාළුව, තනිකම, කනස්සල්ල වගේ මානසික ගැටළු වලට එයාලත් මුහුණ දෙනවා. මේ වෙලාවෙදි, අපි දෙමව්පියන් විදියට එයාලත් එක්ක වැඩි කාලයක් ගත කරන්නත්, එයාලගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්නත්, කුඩා හෝ සමාජ වපසරියක් එක්ක ගැටෙන්නත්; උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය හරහා හෝ පණිවුඩ හුවමාරුව තුලින් එයාලගේ යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් සලසාදීම වැදගත් .

 

 

දරුවන්ට නිවැරදිව කරුණු පහදා දෙන්න

දරුවන් කොහොමත් කුතුහලයක් ගෙනෙන දේවල් හොයන්න උනන්දු පිරිසක් .”ඇයි අපිට යාළුවෝ හම්බෙන්න බැරි? ” ,”කෑම කන්න එළියට යන්න බැරි?”,”උපන්දින සමරන්න බැරි?”, මේවා එයාලට දැන් තියෙන ප්‍රශ්න. මේ වගෙ වෙලාවකදි,දෙමව්පියන් විදියට එයාලගේ මනස නිරවුල් තියාගන්න උදව් කරමු.

මුලින්ම එයාලට රටෙහි දැන් තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරන්න. ඒ වගේම ,මිත්‍යා දේවල් කියනවා වෙනුවට නිවැරදිදේම පහදා දෙන්න. උදහරණයක් විදියට ,” කොත්තමල්ලි බිව්වාම වෛරසය හැදෙන් නෑ” වගේ දේවල් නොකියා.. “කොත්තමල්ලි බොන එක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොදයි”. කියන්න. ඒ වගේම එයාලට අවබෝධ කරලා දෙන්න,මීට කලිනුත් මේ වගේ වසංගත ලෝකයට ආව බව සහ ( පෝලියො, ඉන්ෆ්ලුවෙන්සා, සාර්ස් ) ඒවාට බෙහෙත් හොයාගෙන අසනීප අය සුවවුනු බව කියලා දෙන්න.

 

 

කොහොමද නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නේ?

ඇදිරි නීතිය ඉවත් කරපු ගමන්ම සමාජයත් එක්ක නැවත ගැටෙන එක අලුත් දෙයක් වෙන්න පුළුවන්. වතාවරණයකින් වතාවරණයකට මාරු වෙන එක පොඩි දරුවන්ට අපිට වඩා බලපෑම් ඇති කරනවා. මේ නිසා එයාලව දැන් ඉදන්ම ඒ දේට හුරුකරන්න. දැන් මේ තියන තත්ත්වය තවකාලික බව හැගෙන වචන කතා කරන්න .

 

 

රිදී රේඛාව ?

අවසාන වශයෙන් අපි හිතෙන විදියට හැමදෙයක්ම සිද්ධ වෙන් නෑ වගේම, සිදුවන මොනදේටත් හොදින් මුහුණ දෙන්න පුරුදු වීම තුළින් ජිවිතය සතුටින් ගත කරන්න පුළුවන් කියලා අපිට දරුවන්ට කියා දෙන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here