හතර වටෙන් සබන් යොදා අත් සේදීමෙන් කොරෝනා වෛරසය විනාශ වනවාද..

සබන් යොදා අත් සේදීමෙන් කොරෝනා වෛරසය විනාශ වනවාද..

2020 Apr 19

COVID-19 ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන බව ඔබ හොඳින්ම දැනුවත්. ලෝක බලවතුන් වුණ රටවලටත් මේ තත්වය පාලනය කරගැනීමට අපහසු මට්ටමට ඇවිත් තිබෙනවා වගේම ඔවුන්ගේත් ආර්ථික ස්ථාවරත්වය අභියෝගයකට ලක්ව තියෙන මොහොතක්. මේ වනවිටත් මේ වසංගත තත්වයෙන් වැළකීමට කළ හැකිව තිබෙන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පමණයි. Social distancing නැතිනම් සමාජ දුරස්තකරණය ඉන් එක පියවරක්. අනික් වැදගත්ම උපදෙස තමයි නිතර දෑත් සෝදන්න කියන එක. නිතර දෑත් සෝදන්න කියන්නෙ ඇයි..? වෛරසය අසාදනය වීමෙන් වැළකීමට අත් සේදීමෙන් හැකි වනවාද.? මේ වෙනකොට ඔබට එහෙම ගැටළුවක් ඇතිවී තිබෙනවාට සැක නැහැ. ඒ සැකය දුරුකිරීම වෙනුවෙනුයි මේ තොරතුරු අපි ඔබවෙත ගෙන ආවේ. ගෝලීය වසංගතයක් වුණ නව කොරෝනා වෛරසය, එහි ක්‍රියාකාරීත්වය සහ වර්තමාන තත්වය පිලිබඳ, ක්ෂේත්‍රයේ වෘත්තීයවේදියකු සමග කළ කතාබහක් මේ.

 

 

  • කොරෝනා වෛරසය කියන්නෙ මොකක්ද කියල සරළව පැහැදිලි කලොත්..?

කොරෝනා වෛරස කියන්නේ තනි වෛරසයක් නෙමෙයි. වෛරස කාණ්ඩයක්. Coronaviridae කියන මේ කාණ්ඩයේ අලුතින් හඳුනාගත් සාමාජිකයා තමයි මේ නව කොරෝනා වෛරසය නැතිනම් SARS CoV-2 කියන්නෙ. සාමාන්‍යෙන් වෛරසයක් හිතකර තත්ත්ව යටතේදී භාහිර පරිසරයේත් තියෙන්න පුළුවන්. නමුත් වෛරසයට ගුණනය වෙන්න සහ අනිකුත් ජීව ක්‍රියා සිදුකරන්න නම් ඒ වෛරසය ධාරක සෛලයකට/ශරීරයකට (host) ඇතුළු විය යුතුයි. එහෙම ධාරකයකුට ඇතුළු වුනාට පස්සේ වෛරසයට පුළුවන් ගුණනය වෙමින් අලුත් virusa හදන්නත් ඒ මගින් ධාරකයාට රෝග ඇති කරන්නත්. මේ coronaviridae පවුලේ වෛරස අතරින් මනුෂ්‍යාට රෝග ඇතිකරන වෛරස තියෙන්නේ හතක් (07) පමණයි. එයිනුත් බරපතල තත්වයෙන් හානිකර වෛරස තියෙන්නේ තුනයි. එකක් SARS (Severe Acute Respiratory Syndrome) කොරෝනා වෛරසය. අනික MERS (Middle East Respieatory Syndrome) කොරෝනා වෛරසය. දැන් මේ අලුතින් හමුවුන SARS Coronavirus- 2 කියන එක. අනික් කොරෝනා වෛරස් හතර අපට නිතර වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා (common cold) තත්වය ඇතිකරනවා.

 

 

  • කොහොමද මේ වෛරසය ක්‍රියාත්මක වෙන්නේ..?

මේ coronaviridae කියන පවුලට අයිති වන virusa ගෝලාකාර හැඩයකින් යුක්තයි. ඒ ගෝලාකාර සෛලයේ මැද තනිදාම RNA අණුවක් තිබෙනවා. ඒ වගේම පෘෂ්ටයෙන් පිටතට නෙරාගිය Spike Protein අණු වෛරස් සෛලය පුරාම පවතිනවා. හරියටම කිවුවොත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් බැලුවහම ඔටුන්නක හැඩයට තමයි අපට පෙන්නේ. ඒ නිසාම තමයි crown කියන වචනය පදනම් කරගෙන මේකට Coronavirus කියන නම ලැබෙන්නෙත්. එතකොට මේ වෛරසය ධාරකයෙක් තුළට ඇතුල් වුණාට පස්සේ මේ පිටත පෘෂ්ටයේ තියන Spike ප්‍රෝටීන අණු, ධාරක සෛල වල තියෙන ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන සමග සම්බන්ධ වෙලා වෛරසය සෛලය තුළට ඇතුල් වෙනවා.(host cell entry). එහෙම තමයි වෛරස සෛල ධාරක දේහයේ සෛල වලට ඇතුළු වෙලා ගුණනය වීම සිදු වන්නේ. ඒ හා සම්බන්ධ තවත් ධාරක ක්‍රියාවලීන් වල ප්‍රථිපලයක් විදිහට තමයි ධාරකයා රෝගී බවට පත්වෙන්නෙ.

 

 

  • එතකොට මේ අලුත් කොරෝනා වෛරසය අසාදනය වීම පටන්ගත්තෙ කොහොමද..?

මේ ගැන විවිධ මත පලවෙනවා. මේ කොරෝනා වෛරසය වවුලන්ගෙන් මීට පෙර සොයාගත් කොරෝනා වෛරසයන්ට බොහෝ සමානකම් තියෙන නිසා මේකත් වවුලන්ගෙන් බෝවුනා කියලත් අදහසක් තියෙනවා. ඒ වගේම කැබැල්ලෑවාගෙන් (pangolian) සොයාගත් වෛරසයන්ට සමානකම් තිබෙන බවත් ඉතා මෑතකදී සොයා ගත්තා. නමුත් කිසිවක් තවම නිශ්චිතව තහවුරු කරගෙන ඇති බවට සඳහනක් නැහැ. තවත් එක වෙනස්ම මතයක් තිබෙනවා චීනයට කඩාවැටුණු උල්කාෂ්මයක තිබුණ වෛරසය පිටතට නිරාවරණය වීමෙන් මිනිස්සුන්ට ආසාදනය වුණා කියන මතය. නමුත් ඒ මතයත් විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ.

 

 

  • කොරෝනා වෛරසය මැඩපැවැත්වීමත්, ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න බෙහෙතක් සොයාගැනීමත් මේ වෙනකොට සිදුවෙන්නෙ කොහොමද..?

කොරෝනා වෛරසය නිසා මිනිසුන්ට ඇතිවන රෝගය තමයි COVID-19 කියල හඳුන්වන්නෙ. දැන් මේක ගෝලීය වසංගතයක් (Global pandemic) කියන තත්වයට ඇවිත් තියෙනවා. ඉතින් ලෝකයේ බොහෝ රටවල විවිධ ක්ෂේත්‍රවල විශේෂඥන් මේ ගැටළුවට පිළිතුරු හොයන්න වෙහෙසෙනවා. කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන Vaccine එකක් නිපදවා මාස 12-18ත් අතර ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව දැනට ලැබෙන තොරතුරු වලින් කියවෙනවා. වෛරසයේ ව්‍යුහයම උපයෝගී කරගෙන වෛරසයට එරෙහි vaccine එකක් නිපදවීම තමයි විශේෂඥන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ වෙනකොට මේ වෛරසයට එරෙහි යම් යම් Vaccine වර්ග නිපදවල තියෙනවා වගේම සමහර ඒවා අත්හදා බැලීම් වලටත් යොමුකරල තියෙනවා. ඇමරිකාවේ නිපදවා තිබෙන mRNA1273 කියන එන්නත එකක්. ඒ වගේ තවත් පර්යේෂණ බොහොමයක් සිදුවෙමින් තියෙනවා. මිට පෙර වෛරස මගින් ඇතිවුන වසංගත තත්වයන් වලදීට වඩා ඉතාම වේගයෙන් මේ වෛරසයේ ව්‍යුහය සහ ලක්ෂණ අධ්‍යනය කිරීම, ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම සහ එන්නත් නිපදවීම සිදුවුන බවත් කිව යුතුමයි.

 

 

  • දැනට නිපදවා ඇති එන්නත් වලින් රෝගය මැඩපැවැත්විය හැකි බව තහවුරු වෙලා තිබෙනවද..?

මේ එන්නත් නිර්මාණය කිරීමේදී ඔවුන් සැලකිළිමත් වෙලා තියෙන්නේ වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීම. වෛරසය ආසාදනය වීමට පෙර ශරීරය තුළින් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ප්‍රතිදේහ නිපදවීම තමයි මේ එන්නතෙන් සිදුවන්නෙ. මම මුලින් කිවුව වගේ වෛරසයේ ව්‍යුහය හඳුනාගෙන තියෙන ආකාරයට, ඒකෙ පිටතට නෙරාගිය Spike protein අණු තියෙනවා. මෙන්න මේ අණු වලට සමාන අනුකාරක ප්‍රෝටීනයක් නිපදවීම තමයි මේ එන්නත මගින් කරන්නෙ. මේ එන්නත ශරීරගත කරාට පස්සෙ මිනිස් සිරුරේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හඳුනා ගන්නවා මේ අලුතින් පැමිණි ප්‍රෝටීනය ආගන්තුක දේහයක් (Foreign body) විදිහට. එහෙම ආගන්තුක ද්‍රව්‍ය සෛල ඇතුලේ තියාගන්නේ නැහැ. එතකොට ධාරකයා මේ ආගන්තුක ප්‍රෝටීනයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා ගන්නවා. එතකොට වෛරසය ඇඟට ඇතුල් වෙද්දීම ඒකට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ ඇඟ ඇතුලෙම තියනවා. වෛරසයට ධාරකයා තුළ ක්‍රියාත්මක වෙන්න නොදී අභ්‍යන්තර ක්‍රියාවලියෙන්ම වෛරසය විනාශ කිරීම සිදුකෙරෙනවා. ඕක තමයි දැනට නිර්මාණය කරෙන vaccine එකේ තත්වය. ඊට අමතරව රෝගය දැනටමත් වැළඳී ඇති අයට remdesivir, hydroxychloroquine, favipiravir කියන ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම සාර්ථක බවට මත පලවෙලා තියෙනවා. ඒ නිසා ඇමරිකාව, ප්‍රංශය,ජපානය ඇතුළු රටවල් කිහිපයකම මේ ප්‍රතිවෛරස ඖෂධ සඳහා සායනික පරීක්ෂාවන් (clinical trial) කෙරෙමින් තිබෙනවා.

 

 

  • වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට නිතර “සබන් යොදා අත් සෝදන්න” කියල සෞඛ්‍ය උපදෙස් ලැබෙනවා. මේ උපදෙස් වල පදනම මොකක්ද..?

දැනට වෛරසය ආසාදනය වීම වැලැක්වීමට සාර්ථකම විසඳුමක් තමයි ඒක. ආසාදිතයකු මගින් වෛරසය තවත් කෙනෙකුගේ අත්වලට ඇවිත් අතින් කට, නාසය, මුහුණ ඇල්ලීමේදී ආසාදනය විය හැකියි. ඉතින් ඒ නිසා නිතර තත්පර 20කට වඩා සබන් යොදා අත් සෝදන්න කියන උපදෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී තිබෙනවා. අර මම මුලින් කිවුව වගේම මේ වෛරසයේ RNA අණුව වටා මේද අණු සහ අනිකුත් ප්‍රෝටීන් අණු වලින් හැදුන ආවරණයක් (lipid membrane) තියෙනවා. ඒකෙන් පිටතට තමයි Spike protein අණු පිහිටන්නේ. සාමාන්‍ය සබන් හැදිලා තියෙන අණුවල තියෙනවා Hydrophilic heads සහ Hydrophobic tail එකක්. මේ hydrophobic tail එක ජලය එක්ක සම්බන්ධ වන්නේ නැහැ. නමුත් මේදය එක්ක ඉතාම හොඳින් සම්බන්ධ වනවා. ඔබ සබන් යොදා හොඳින් අතුල්ලා අත් සෝදද්දී, ඔබේ අතේ කොරෝනා වෛරස තිබුනොත්, සබන් වල තියෙන මේ hydrophobic tail එක වෛරසයේ පිටින්ම තියෙන මේද ආවරණය සමග සම්බන්ධ වනවා. ඒ සම්බන්ධ වීමෙන් වෛරසයේ පිටත ආවරණය විනාශ කරනවා. එතකොට වෛරසයට තවදුරටත් පවතින්න බැහැ. ඒ නිසයි වෛරසය විනාශ කිරීමට හොඳම විසඳුම එය බව කියවෙන්නේ.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළකීම මේ වසංගතය පිටුදැකීමේ ක්‍රමවේදය බව දැන් ඔබ ඉතා හොඳින් දන්නා කරුණක්. එනිසා සෑම විටකම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. නිතර සබන් යොදා අත් සෝදන්න. නිවසේම රැඳී සිටින්න. වසංගත තත්වයෙන් මිදීමට පුරවැසියකු ලෙස රජයේ ක්‍රියාපිලිවෙලට ඔබේ දායකත්වය ලබාදෙන්න.

සම්පත් දායකයා – ජපානයේ Hokkaido විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අංශයේ වසංගත රෝග (Infectious diseases) පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටින දේවින්ද මුතුසිංහ (Devinda S. Muthunghe – BSc – Kelaniya, MSc – Peradeniya, PhD Candidate – Laboratory of Animal Experimentation, Graduate School of Infectious Diseases, Hokkaido University, Japan)

සංවාදය සහ සටහන – එන්. වෙහෙරදුව

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here