හතර වටෙන් තිරය පිටුපස සිට අපේ ජීවිත වැඩි දියුණු කරන වීරයන්…

තිරය පිටුපස සිට අපේ ජීවිත වැඩි දියුණු කරන වීරයන්…

2020 Apr 17

“සෑම කතාවකටම පැති දෙකක් තිබේ” කියන කියමන අපි ජිවිතේ හැමදාම ප්‍රායෝගිකව අත්විඳින දෙයක්. අපි දකින අහන සිදුවීම් හැම එකකම අපි නොදන්න වගේම අපට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ හැම එකකම එක කතාවක් පොදුවේ සමාජයට නිරාවරණය වන නමුත් අනික් කතාව හැම විටම වගේ සැඟවී තියෙනවා. සමහර විට වඩා අපහසු සහ ඛේදනියම කතාව එය විය හැකියි. මේ මොහොත අපට ඉතාම අසීරු මොහොතක්. රටක් විදිහට අපි ගෙවන්නේ ඉතාම දුෂ්කර කාලයක්. රටවැසියන්ට “නිවෙසට වී සිටින්න” කියල නිරන්තර උපදෙස් ලැබෙනවා. නමුත් නිවෙසට වී සිටින රටවැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය නිවෙසටම ලබාදීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වී තිබුනා. Cargills සුපිරි වෙළඳසැල් සමුහය මේ භාරදූර වගකීමට උරදෙන්න තීරණය කළා. නිවසේ සිටින ඔබ ඔබේ භාණ්ඩ ඇනවුම Cargills ආයතනය වෙත යොමු කිරීමෙන් පසුව පැය කිහිපයක් තුළ ඔබේ නිවසට ඒ භාණ්ඩ ලැබෙනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවා. නමුත්, මේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙහෙසෙන ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ඒ හා සම්බන්ධ වන ගොවීන් ඇතුළු අනික් පාර්ශව මේ මොහොතේ ලබන අත්දැකීම ගැන ඔබ සිතා බැලුවාද..? ඔබ නිවසේ රැඳෙමින් ආරක්ෂිතව සිටින අතරත්, පාසල්, කාර්යාල බොහොමයක් වසා දමා ඇති අතරත් මේ පිරිස ඔබේ පහසුව වෙනුවෙන් කරන කැපවීම ගැන ඔබ සිතා බැලුවාද..? කාගීල්ස් කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමග අපි ඔවුන්ගේ මේ අසීරු අත්දැකීම් ගැන කතාබහ කළා.

 

Cargills Food city ආයතනයේ වසර 14ක සේවා පළපුරුද්දක් සහිත, දැනට රාජගිරිය ශාඛාවේ මෙහෙයුම් නිළධාරියකු වශයෙන් සේවය කරන විනෝද්, අපට කිවුවේ මේ විදිහේ කතාවක්.
“මට පුංචි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ පොඩි දුවට වයස අවුරුදු දෙකක්. එයාට මගේ රැකියාවේ වැඩ දවස් ගැනවත් නිවාඩු දවස් ගැනවත් අදහසක් නැහැ, නමුත් වැඩිමල් පුතාට ඒ ගැන තේරෙනවා. හෙට මගේ නිවාඩු දවසක් නම්, මම ගෙදරින් එලියට එද්දී පුතාට දෙන උත්තරය මොකක්ද..? රටේ තියෙන මේ අමාරු තත්ත්වය ගැන තේරුම් ගන්න එයා තාම පුංචි වැඩියි”

 

 

උදෑසන 7.30ට පමණ වැඩ අරඹන විනෝද් ඇතුළු මේ සේවක පිරිස තමන්ගේ දෛනික රාජකාරි නිමා කරන්නේ රාත්‍රී 10.45ට පමණ බවයි ඔවුන් අප සමග පැවසුවේ. කොරෝනා වසංගත තත්ත්වය මෙරටට පැමිණීමට පෙර ඔවුන්ගේ දෛනික රාජකාරි වුනේ භාණ්ඩ තොග පවත්වා ගැනීම, රාක්කවල ඇසිරිම, මුදල් අයකරගැනීමේ කටයුතු සහ අදාල භාණ්ඩ පාරිභෝකිකයින්ගේ වාහන වලට පැටවීම වගේ කටයුතු ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී වැඩකරන සේවක පිරිස 50% පමණ වන අතරේම ඒ පිරිස වෙත වඩා වැඩි වැඩ ප්‍රමාණයකුත් පැවරී තිබෙනවා. පාරිභෝගිකයින්ගෙන් ඇනවුම් ලබාගැනීම, ඒවා වෙන් වෙන්ව ලබාගෙන අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කිරීම, ඇසුරුම් කිරීම සහ ඒවා නිවෙස් වෙත ගෙනගොස් බාරදීමත් ඔවුන්ගේ රාජකාරි අතරට එකතු වනවා. භාණ්ඩ ඇනවුම් දහස් ගණනක් දිනකට ඔවුන්ගේ ශාඛාවට පමණක් ලැබෙන බවත් ඔවුන් අපි සමග පැවසුවා.

 

“දවසකට අපේ ශාඛාවට විතරක් දාහකට වඩා වැඩි Oders ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ඒ ඔක්කොම අපට ඒ අදාළ දවස ඇතුළතම බෙදාහරින්න අපහසුයි. අපි Oder එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සමහර Customer කෙනෙකුගෙ List එක ට්‍රොලි දෙකක් පිරෙන්න තරම් තියෙනවා. ඒ වගේ Oders වලට අපේ සේවක පිරිසට වැඩි වෙලාවක් ගතකරන්න වෙනවා, ඒ නිසා ලැබෙන සියළුම Oders පැය කිහිපයකින් ලබාදෙන්න අපහසුයි”

 

 

විනෝද් ඇතුළු මේ සේවක පිරිස පාරිභෝගිකයින් ලෙස ඔබේ ඉවසීම බලාපොරොත්තු වෙනවා. ඔවුන් පවසන විදිහටත්, ඔබ ඉතා හොඳින් දන්නා විදිහටත් ඔබ අප, පසුකරමින් ඉන්නේ ඉතාම අසීරු මොහොතක්. ඒ නිසා ඔබ මේ මොහොතේ තත්ත්වය වටහාගැනීමට තරම් ඉවසීමක් සහිත වීම වැදගත්. සමහර පාරිභෝකයින් ඒ අයගේ ඇණවුම ලබාදුන් පසු වෙනත් ආයතනයකිනුත් ඇණවුම් කරන බවත් ඒ පාර්සලය කාගීල්ස් ආයතනයට පෙර ලැබී තිබුනොත් අදාළ පාර්සලය නැවත හරවා එවන බවත් විනෝද් කියනවා. “භාණ්ඩ අත්‍යවශ්‍ය තවත් කෙනෙකුට ඒ පාර්සලය යවන්න තියෙන වෙලාව අපට මේ වගේ දේවල් නිසා නැතිවෙනවා, ඒකෙන් තවත් Costumer කෙනෙක් අපහසුවට පත්වෙනවා” යැයි විනෝද් පවසනවා. කාගීල්ස් ආයතනයේ සේවක පිරිස මුහුණදෙන සෞඛ්‍ය අවදානම ඊළඟ වැදගත්ම කාරණය වනවා. දවසට පැය 14ක් 15ක් පමණ භාහිර පරිසරය සමග ගණුදෙනු කරන මේ පිරිස ඉන් පස්සෙ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත යනවා. මේක මේ පිරිස වගේම පවුලේ සාමාජිකයිනුත් ගන්නා සෞඛ්‍ය අවදානමක්. නමුත් මේ අසීරු මොහොතේත් තමන්ගේ පාරිභෝගිකයින් තමාගේ ප්‍රථම සහ ප්‍රධානම වගකීම විදිහට සලකමින් ඔවුන් ඒ අවදානමත් නොතකා ඔබේ සේවය වෙනුවෙන් කැපවනවා.

 

පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂම සේවාවක් මගින් භාණ්ඩ ඇනවුම් නිවසටම ලබාදීමේ ක්‍රියාවලියේදී, අනෙක් වැදගත්ම කාරණය වන්නේ නැවුම් සහ ගුණාත්මක නිෂ්පාදන ලබාගැනීමේ ක්‍රියාවලිය. දිවයින පුරා විසිරී සිටින 5000කට අධික එළවළු, පළතුරු සහ කිරි ගොවීන් සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැනීමත්, නිසි පරිදි ඇසුරුම් කිරීමත්, ප්‍රවාහනය කිරීමත් ඔවුන් මුහුණදෙන අනික් දැවැන්ත අභියෝගය වනවා. මේ නිෂ්පාදන සිදුකරන ගොවීන් පවා තමන්ගේ කටයුතු කරගන්නේ දුෂ්කරතා රැසක් සමගින්. විශේෂයන්ම අවම කෘෂි උපකරණ, පොහොර සහ මානව සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි වෙහෙසක් දරමින් ඔවුන් ඒ නිෂ්පාදන සිදුකරනවා. ඒ නිෂ්පාදන මිළදී ගත් පසු වඩා ආරක්ෂිතව, නැවුම් බවට සහ ගුණාත්මක බවට හානි නොවන අයුරින් කාගීල්ස් සුපිරි වෙළඳසැල් ශාඛාවන් වෙත බෙදාහැරීමත් මේ සේවක මණ්ඩලය මුහුණදෙන තවත් දුෂ්කර අභියෝගයක්. ඒ සම්බන්ධීකරණය සහ ප්‍රවාහනය මෙවැනි ඇඳිරි නිතිය පනවා ඇති මොහොතක වඩාත් දුෂ්කර වනවා.

 

මේ සියළු දුෂ්කරතා අත්විඳින අතරෙත් ගොවීන් තමන් වග කළ නැවුම් එළවළු, පළතුරු සහ නිෂ්පාදනය කළ කිරි සහ සත්ව නිෂ්පාදන, කාගීල්ස් ආයතනය මගින් පිහිටුවා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන එනවා. ඔවුන් වෙනස් වේලාවන් වල ඒ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වැඩි පිරිසක් සමග සම්බන්ධ වීම අවම කරගැනීමට තරම් ප්‍රවේසම් සහගත බවත් අපට දැනගන්න ලැබුනා. මේ එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ලබාගන්නා නැවුම් නිෂ්පාදන දිවයින පුරා පිහිටි කාගීල්ස් සුපිරි වෙළඳසැල් ශාඛා 410ක් පුරා නිසි අයුරින් බෙදාහැරීමේ වගකීම දරන්නේත් කාගීල්ස් සේවක මණ්ඩලයේ සාමාජිකයින් විසින්මයි. ඔවුන් මේ ක්‍රියාන්විතයෙන් ඉවත් වුණා නම්, ඔබ අප මෙන්ම නිවසටවී ආරක්ෂිතව කල්ගෙවීමට තීරණය කළා නම්, ඔබත් අපත් අත්විඳින්නට තිබූ අපහසුව කෙතරම් විය හැකිදැයි ඉවසීමෙන් යුතුව සිතා බැලිය යුත්තක්.

 

 

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මේ කොරෝනා වසංගතය පිටුදැකීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටිමින් ඔබ අප වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සහිතව සේවය කරනවා. ඔවුන්ට අපේ ආචාරය හිමිවිය යුතුමයි. ඒ වගේම ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔබ වෙතටම ලබාදෙමින් ඔබේ පෝෂණය සහ පහසුව වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන මේ සුපිරි වෙළඳසැල් සේවක මණ්ඩලයටත් අප ස්තුතිවන්ත විය යුතුයි. මේ අසීරුම මොහොතේ යම් ප්‍රමාදයන් සිදුවිය හැකියි. බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් ඔබේ ඇණවුම නොලැබුනා විය හැකියි. සමහර භාණ්ඩ ඔවුන් සතුව නොතිබුනා විය හැකියි. ඒ ගැන සමාජ ජාලා මාධ්‍ය හරහා මැසිවිලි නැගීම හෝ ආයතන වෙත චෝදනා කිරීමට තරම් හදිසි නොවී මේ ක්‍රියාන්විතයේ අසීරු තත්ත්වය ගැනත් මොහොතක් සිතා බලන්නැයි අපි ඔබට යෝජනා කරනවා.

 

 

ඉවසීමෙන් කටයුතු කරන්න. ධනාත්මක සිතිවිලි පතුරවන්න. ඔබේ ඇණවුම රැගෙන ඔබවෙත එන සේවක මහතාට සිනහවකින් සංග්‍රහ කරන්න. ඔවුන්ගේ කැපවීම අගය කරන්න. ඔවුන් තමන් පිළිබඳව සහ තම පවුල පිළිබඳව ඇති සෞඛ්‍ය අවදානමද නොසලකා හරිමින් මේ කරමින් සිටින සේවය ගැන නිසි ඇගයීමක් ලබාදීමට තරම් නිහතමානි වන්න. එය ඔවුන් තව තවත් දිරිමත් කරනු ඇති. මේ අසීරු සටන එක්ව ජයගැනීමට ඔබට හැකි සුළු ප්‍රමාණයකින් හෝ දායක වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here