Uncategorized රටට ආශිර්වාදයක් බඳු වූ ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය..

රටට ආශිර්වාදයක් බඳු වූ ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය..

2020 Apr 22

“ලෝකය යනු ,භයානක තැනක්. එයට හේතුව, නරක වැඩ කරන මිනිස්සුන් නිසා නෙවෙයි .හැම දෙයක් ම දැකලත් ,කිසිදු පිළියමක් නොකර බලා සිටින මිනිස්සුන් නිසයි .” -ඇල්බට් අයින්ස්ටයින්-

උදව් අවැසි මොහොතේ,තම රට ජාතිය උදෙසා පැකිලීමකින් තොරව තම දිවි පූජා කරපු සෑම රණශූරයෙකුටම ආචාර වේවා ….
250,000 ටත් වඩා වැඩි හමුදා නිලධාරීන් පිරිසක් යුද්ධ ,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ අංශයේම සිටීම ශ්‍රී ලාංකිකයන් ලෙස, අප ලැබූ මහත් භාග්‍යක්. පුරා අවුරුදු තිහක් තුළ තිබුණා වූ කුරිරු යුද්ධයෙන් ජයගෙන, නැවත රට ඉදිරියට ගෙන යාමට මෙම නිලධාරීන් ලබා දුන් සහයෝගය මිල කළ නොහැකියි. යුද්ධයෙන් පසු ව ඔවුන්ගේ කාර්ය භාරය නිමා වුණා නොවෙයි ,රටට උදව් අවැසි හැම මොහොතකම ,ත්‍රිවිධ හමුදාව ලෙස පෙරමුණ ගෙන ,රැකවල් දූතයන් මෙන් රට රැකගත් අවස්ථා අප්‍රමාණයි .මේ එයින් කිහිපයක් ;

 

 

*පාස්කු ත්‍රස්ත ප්‍රහාරය 2019*

2019 අප්‍රේල් මස විසි එක් වෙනිදා ,සිදු වූ පිපිරීම් මාලාවත් සමගම ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා .මේ තත්ත්වය පාලනය කිරීමට රට නැවත වතාවක් යුද හමුදාවට භාර කෙරුණු අතර රට පුරා පුපුරණ ද්‍රව්‍ය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා .අවුරුදු 30ක සිවිල් යුද්ධයෙන් පසු සිදු වුණා වූ මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මැඬලීමට යුද හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර මිනිසුන්ගේ ආරක්ෂාව සනාථ කරන්න රටපුරා හමුදා බැරැක්ක ,මාර්ග බාධක සහ මුර සංචාර වැනි ආරක්ෂක ක්‍රම භාවිතා කරා .

 

 

*කෝවිඩ් 19 වසංගතය 2020*

ගෝලීය වශයෙන් සිදු වුණා වූ මෙම වසංගත තත්ත්වය මැඩලීමට සහ අනවශ්‍ය ලෙස සිවිල් ජනතාව මෙම වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීමට ,ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඒවා ක්‍රියාත්මක කිරීම සදහා සියලූ වගකීම් භාර ගත්තා. පළමු අඩිතාලම ලෙස 2020 අප්‍රේල් මස තුන් වැනිදා රුධිරය සහ කේටය පරීක්ෂා කිරීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩකටයුතු ආරම්භ කළා . ඒ වගේම හමුදා භටපිරිස් විසින් ඇඳිරිනීතිය පවත්වා ගැනීමට මාර්ග අධීක්ෂණය සිදුකළ අතර, තම රාජකාරි කටයුතුවලට අමතරව නිවෙස් අහිමි අයට ආහාර දීම ,නිවසින් බැහැර වීමට නොහැකිව ස්වයං නිරෝධනය සිදුවන පවුල් සඳහා වියළි ආහාර ලබා දීම සහ වීදි සතුන්ට ආහාර පාන ලබා දීම වැනි මානුෂික ක්‍රියාවන් ද සිදුකරණු ලැබුවා .

 

 

*ගංවතුර සහන*

ශ්‍රී ලංකා වාසීන් ලෙස අපි විවිධ ප්‍රමාණයේ ගංවතුර උවදුරු වලට මුහුණ පා තිබෙනවා.දරුණු ගංවතුර තත්වයන් වලදී යුද,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් විසින් පීඩාවට පත්වූවන්ව ටෝලර් යාත්‍රා සහ හෙළිකොප්ටර් මගින් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරා .එමෙන්ම පාලම් නැවත සංවර්ධනය සහ මාර්ග යථා තත්ත්වයට පත් කිරීම තුළින් මහඟු කාර්යභාරයක් ඔවුන් සිදුකරණු ලැබුවා.

 

 

*නියගයට එරෙහි ව සටන් කිරීම*

ශ්‍රී ලංකාවේ විවිධ පළාත් දැඩි අව් රශ්මිය හේතුවෙන් ජලය ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා .ඒ අතරින් උතුරු සහ නැගෙනහිර පළාත් විශේෂ වේ .යුද්ධය නිසා සිදු වූ අඩු සංවර්ධනය මෙයට ප්‍රධාන හේතුවයි. යුධ හමුදාව විසින් පීඩාවට පත් ව සිටින පවුල් සඳහා වියළි ආහාර ලබා දීම ,පානීය ජල බෝතල් සහ එළවළු ලබාදීම සිදුකරන අතර 2018 වර්ෂයේ දී හමුදා භට පිරිස් විසින් තම මිනිස් බලය යොදවා වලවිල්කුලම් ජල ටැංකිය අලුත්වැඩියා කිරීම සිදුකළා . වර්තමානයේ දී වියළි පළාත් වලට අවශ්‍ය ජල ප්‍රමාණය සපයා ගැනීමට මෙමගින් හැකි වී තිබෙනවා .

 

 

*ජීවිත මුදවා ගැනීමේ සේවය*

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ සේවාවන් සපයනවා. ඒ අතරින් ගංගා, වැව් ආශ්‍රිතව ගිලෙන මිනිසුන්ව බේරා ගැනීමට වගේම සයුරේ පෙරළුණු නැව්, බෝට්ටුවලින් සෙනග මුදවා ගැනීමට ඔවුන් නිතරම කටයුතු කරනවා. නුමුත් 2017 වසරේ සිට නාවික හමුදාවට වෙනස්ම වූ විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වුණා.මුහුදේ ගසාගෙන ගිය විවිධ සතුන්ව ගලවා ගැනීමට ඔවුන්ට සිදු වුණා. ඒ අතර අලින් පවා සිටියා .ජලය ආශ්‍රිතව සිදුවන ඕනෑම විපතකදී අවදානම් නොතකමින් මිනිස්සුන්ව මුදවා ගන්නත් ඔවුන්ට ඉක්මනින් ප්‍රතිකාර ලබා දෙන්නත් නාවික හමුදාව ක්‍රියා කළා. දිවයිනේ ජෛව විවිධත්වය රැක ගැනීමේ අරමුණින්, නාවික හමුදා කිමිදුම් භට පිරිස් ඇමිණුම් වලින් සිරවී සිටින විවිධ මත්ස්‍යයින් එයින් ගලවා ගෙන නැවත ආරක්ෂාකාරී ස්ථානවලට මුදා හැරීමට පියවර ගත්තා.

 

 

*යටත් වූ සටන්කාමීන්ව පුනරුත්ථාපනය කිරීම*

ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලුම භට පිරිස් ත්‍රස්තවාදීන් කියන්නෙත් මනුෂ්‍යයන් බව තරයේම විශ්වාස කළා. යුද පරාජය හමුවේ ඔවුන්ගේ මානසිකත්වය දූෂ්‍ය වී ඇති බව ඔවුන් තේරුම් ගත්තා.දිවයිනෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු ඔවුන්ගේ ආයුධ බිම දමා සරණාගතයින්ව මෙන්ම සටන්කරුවන්ව පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළා. එහිදී ඔවුන්ට අවශ්‍ය සියළුම දෑ එනම් ආරක්ෂාව, ආහාර, ජලය, සෞඛ්‍යය සහ මානසික ගැටලු වලට විසදුම් මෙන්ම සාමාජීය වශයෙන් අවශ්‍ය උපකාර සියල්ලක් ම පාහේ ත්‍රිවිධ හමුදාව විසින් සැපයීමට කටයුතු කළා. මෙය ශ්‍රී ලාංකීය හමුදාව මානුෂිය හමුදාවක් කීමට කදිම නිදසුනක්.

 

 

*U.N මෙහෙයුම්*

ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට දායක වූයේ 1960 දීය. මේ වන විට ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයෙකි. කමිටුවට වැඩිම දායකත්වයක් සපයන රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින් වේ. ත්‍රිවිධ හමුදාව ලෝකෙ කොහේ සේවය කලත් මනුෂ්‍යත්වයට ප්‍රථම ස්ථානය දෙමින් මානුෂීය හමුදාවක් ලෙස කටයුතු කිරීම අපේ රටටම අභිමානයකි. ඔවුන්ගේ සේවය මව් රටට පමණක් සීමා නොකර දැනට මධ්‍යම අප්‍රිකානු ජනරජයට, කොංගෝව, හයිටි, ලෙබනනය, ලයිබීරියාව දකුණු සුඩානය, ටිමෝර් සහ බටහිර සහරා යන රටවලටද තම සහය ලබා දීමට මෙහෙයුම් දියත් කර ඇත.

“ප්‍රෝ පැට්‍රියා” නම් “පලමුව රට” යන ආකල්පය ඇතිව කටයුතු කරන ත්‍රිවිධ හමුදාව, ඔවුන්ගේ ජීවිත පවා පරදුවට තබමින් මව් රට පිළිබඳව තම යුතුකම ඉටු කළා. සමහර අවස්ථාවල ඔවුන් අපි මෙන්ම මනුෂ්‍යයන් බව වටහා ගන්න අපි අපොහොසත් වී තිබෙනවා. මතක තබාගන්න ඔවුන්ටත් පවුලක් ඒ වගේම සිහින තිබෙන බව. ඔවුන් අපෙන් නැවත කිසිවක් බලාපොරොත්තු නොවුණත් ඔවුන්ට අපි සදා ණය ගැතියි. ඔවුන් වෙනුවෙන් අපිට අවම වශයෙන් කළ හැක්කේ ඔවුන් දුන් සහාය අගය කිරීම සහ අපේ රටට ආශිර්වාදයක් බඳු වූ ත්‍රිවිධ හමුදාව පිළිබඳව ආඩම්බර වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here