හතර වටෙන් ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01

ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01

2020 Apr 21

නොගැළපෙන වෙලාවක කොයි තරම් සතුටු හිතෙන ආරංචියක් ලැබුණත්, ඒ සතුට එක්කම හිතට එන්නේ ලොකු බරක්. අමාලිටත් වුණේ එහෙම සිදුවීමක්. විවාහ වෙලා අවුරුදු දෙකකුත් මාස කීපයක්ම ගෙවිල ගියාට පස්සෙ අමාලි ගැබිණියක් බව දැනගත්තෙ ඊයෙ. ඒත් රටේ තත්ත්වය එතරම් හොඳ නැති බව නිතරම ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න අමාලි දන්නවා. බලාපොරොත්තුවෙන් හිටපු ඒ ආරංචිය නිසා දැනෙන සතුටට එකතු වෙච්ච බර තවත් වැඩිවෙන්න හේතුවක් තිබුණා. ඒ අමාලිගේ ස්වාමියා වුණ සුමින්දගේ රැකියාව. මේ හැම දෙයක් ගැනම හිතේ බර දරාගෙන එන්න එක ලැබෙන්න ඉන්න දරුවටත් එතරම් හොඳ නැති බව දැනුණ නිසා අමාලි වෙන දෙයක් ගැන අවදානය යොමු කරන්න තීරණය කළා. කියවමින් හිටපු පොත පැත්තකින් තියලා තේ එකක් හදාගෙන ඉස්තෝප්පුවේ වාඩි වුණ අමාලි දැක්කෙ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය මුණගැහෙන්න ගිය සුමින්දගේ අම්මා, ගියාටත් වඩා ඉක්මනින් ආපහු එනවා. අමාලිගේ හිතට දැනුණ චකිතය නිසාම පපුවට අත තියාගත්තේ ඉබේටමයි.

 

“ඇයි අම්මෙ ගිය පයින්ම ආපහු..?” නැන්දම්මා ගෙදරට එනකල් ඉවසුමක් නොගෙන අමාලි කඩුල්ල ළඟටම ඇවිදගෙන ගියා. අමාලි දිහා බලපු නැන්දම්මා අමාලි ලඟට එන්න කලින්ම ගේ පිටිපස්ස පැත්තට ඇවිදගෙන ගියේ වේගයෙන්. පුදුම වෙච්ච අමාලිට සිද්දවෙන්නෙ මොකක්ද කියල අදහසක් තිබුනේ නැහැ. ටික වෙලාවක් හිටපු තැනම ගල්ගැහිලා වගේ ඉඳල ගේ පිටිපස්ස පැත්තට හෙමින් ඇවිදගෙන ගියේ මොකක්ද වුණේ කියල දැනගන්න උවමනාවටමයි. වතුර කරාමෙන් වේගයෙන් වතුර ගලනවා අමාලිට ඇහුනා. ඇය නැන්දම්මා එනකල් කුස්සියේ පුටුව උඩින් වාඩිවෙලා ඔහේ බලගෙන හිටිය.

 

“හිත කලබල කරගන්න එපා දුවේ, එහා ගමේ දඹදිව වන්දනාවේ ගිහින් ආව කෙනෙක් අසනීප වෙලා කියල මට හන්දියට යනකොටම ආරංචිය ලැබුණා. වැඩි දුරක් යන්න හම්බවුනේ නෑ, පොලිසියෙන් ඉන්නවා පාර වහගෙන. අපට කොහෙවත් යන්න එපා ආපහු ගෙවල් වලටම යන්න කිවුවා. මම කෝකටත් කියල ඇඳුම් ටිකත් එළියෙන් හෝදලා දාල නාගේනමයි ගෙට ආවේ”

 

නැන්දම්මා මුළු කතාවම කියාගෙන කුස්සියට ආවහමයි අමාලිට පියවි සිහිය ලැබුණේ.

 

“හරි වැඩේනේ අම්මෙ, දැන් කොහොමද Midwife මිස්ව හම්බවෙන්නේ. අපි එයාට මේ ගැන කියන්නම ඕනනේ” අමාලිට එකින් එක ප්‍රශ්න මතුවෙනවා.

 

“එහා පාරේ සකුන්තලා දුව මට මගදී මුණගැහුනා. එයාට දැන් මාස පහක්නෙ. මම දුව ගැන එය එක්ක කිවුවා. සකුන්තලා මට Midwife මිස්ගේ නම්බර් එක දුන්න. ඔයාට කියන්න කිවුවා, මිස්ට කෝල් එකක් දෙන්න කියල. දැන් සති කීපයක ඉඳන් ඒගොල්ලෝ උවමනා වෙලාවට කෝල් කරලා විස්තර කතා කරනවලු”

 

අමාලිගේ නැන්දම්මා බෑග් එකෙන් ගත්ත කොලයක් අමාලි අතට දෙනගමන්මයි මේ ටික කිවුවේ. කියන පරක්කුවට අමාලි Phone එකෙන් නම්බර් එක dial කළා.

 

“ඔය කිවුවට ඒගොල්ලෝ ආන්සර් කරනවද කවුද දන්නෙ අම්මේ, අනේ මන්ද මට හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියල” phone එක ring වෙන අතරෙත් අමාලි හිටියේ කලබලෙන්. ඒත් අමාලි හිතුවටත් වඩා ඉක්මනට අනික් පැත්තෙන් Phone එකට උත්තර දුන්නා. අමාලි තමන් කවුද කියලත්, තමන් ගැබිණියක් බව දැනගත්ත බවත් එක දිගටම කියාගෙන ගියේ හිතේ තිබුණ චකිතය නිසාමයි.

 

“කලබල වෙන්න එපා අමාලි, අපි ඉන්නේ මේ වෙලාවේ ඔයාලගේ උදවුවට තමයි. මේ තත්ත්වයත් එක්ක අපි හැමෝම පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ, විශේෂයෙන් ඔයාල වගේ අය, මම ඔයාට ක්ලිනික් එන්න දවසක් කියල ආපහු කෝල් කරන්නම්, එතකල් ඔයා මොනම හේතුවක් නිසාවත් එලියට යන්න එපා. ඒ වගේම, පවුලේ අය හැර වෙන කාවවත් මුණගැහෙන්නත් එපා, ගෙදරටම වෙලා ඉන්න, හිතේ කරදර තියාගන්න එපා, ඒක ඔයාගේ දරුවට හොඳ නැහැ, ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න. සුමින්ද ගෙදර ආවද?”

 

“අනේ නෑ මිස්, මට ඊට වඩා හිතට බය ඒකයි” අමාලිගේ කටහඬ බිඳුනා. සුමින්දගේ අම්මත් අමාලි දිහා බලෙන් හිටියේ කණස්සල්ලෙන්.

 

“සුමින්දලට මේ දේවල් ගැන අවශ්‍ය උපදෙස් ඔක්කොම ලැබිල ඇත්තෙ, එයා ගෙදර ආවමත් ගෙදරට ඇතුල් වෙන්න කලින් පිරිසිදු වෙලා එන්න කියන්න. ඔයා පුළුවන් තරම් පරිස්සම් වෙන්න, මම ඔයාට ක්ලිනික් දවසක් දෙන්නම්. අපි දැන් පුළුවන් තරම් අඩුවෙන් තමයි අම්මලාව ක්ලිනික් එකට ගෙන්නගන්නේ, ඔයා ආවහම අපි Blood සාම්පල එකක් චෙක් කරමු. ඒකෙන් ලේවල සීනි ප්‍රමාණය, රක්තහීනතාවය, රුධිර කාණ්ඩය, උපදංශය, HIV කියන ඔක්කොම ටෙස්ට් කරනවා. තව ටෙටනස් ටෝක්සයිඩ් පළවෙනි Dose එකත් එදාටම ගන්න පුළුවන්.”

 

එතකොට මිස් මට හදිසියක් වුණොත් මොකද කරන්නෙ”

 

හිත කරදර කරගන්න එපා. ඔයාට ගැටළුවක් තියෙන වෙලාවට මට කතා කරන්න. අපි පුළුවන් හැම වෙලාවකම අම්මලාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔයාට යටිබඩේ වේදනාවක් නැත්නම්, රුධිර වහනයක් වගේ දෙයක් උනොත් පුළුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට යන්න ඕන. මට ඒ ගැන කියන්න අමතක නොකර. එහෙම දෙයක් නැති නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ, කලබල නොවී ඉන්න. අනිත් එක, ඔයා රට ගිහින් ආව කවුරුහරි මුණගැහුනද මේ දවස් වල, නැත්තන් ඔයා කොහෙහරි ගියාද වෙන පළාතකට..?” අමාලි තමන් ආව ගිය තැන ගැන ආපහු මතක් කරා.

 

“නැහැ මිස්, මම පහුගිය ටිකේම ගෙදරමයි හිටියේ, ඇඳිරි නීතිය අයින් කරාට පස්සෙවත් මම කඩේකටවත් ගියේ නැහැ”

 

“එහෙනම් ඔයාට කොහොමත් බයවෙන්න දෙයක් නෑ, අමාලි ඕනෑම වෙලාවක මට කතා කරන්න. මම ඔයාගේ ඊළඟ ක්ලිනික් දවස කියල කෝල් එකක් දෙන්නම්, ගෙදරම ඉන්න, හොඳට කෑම බිම කන්න. මේ දවස්වල සාමාන්‍යයෙන් කරන්න ඕන සෞඛ්‍ය පුරුදු ගැන අමාලි දැනුවත් නේද..?

 

අමාලිගේ හිතට තරමක අස්වැසිල්ලක් දැනෙන්න පටන් අරන්. “ඔව් මිස්, ඒ ගැන නම් නිතරම ටීවී එකෙනුත් කියනවනේ”

 

“හරි එහෙනම් අමාලි ඒ විදිහටම පරිස්සමට ඉන්න, උවමනා වෙන වෙලාවට කෝල් එකක් දෙන්න”

 

“හොඳයි මිස්” අමාලි phone එක තිවුවේ ලොකු සැනසිල්ලකින්. අමාලිගේ මුහුණෙනුත් පෙන්න තියෙන සැනසිල්ල නිසා නැන්දම්මත් හිතේ කරදරයෙන් මිදුන වගෙයි.

 

“ඕන වෙලාවක කෝල් කරන්න කිවුවා අම්මේ, මට ක්ලිනික් එන්න දවසක් දෙයි”

 

“එහෙනම් එච්චරයි, අපි පරිස්සමින් ඉඳිමුකො දුවේ”

 

“මම සුමින්දට කතා කරලා විස්තරේ කියන්නම් අම්මේ, එයා බයවෙලත් ඇති”

 

අමාලි තමන්ගේ සැමියාට මේ විස්තරය කියන්න හිතාගෙන Phone එක dial කළා.

 

– මතු සම්බන්ධයි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here