හතර වටෙන් Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?

Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?

2020 May 11

අපේ රටේ මිනිස්සුන්ට sex ගැන කතා කරන්න තියෙන්නේ පුදුම බයක් වගේම ලැජ්ජාවක්. කරන්න හොඳයි හැබැයි මේ ගැන කතා කළොත් තමයි වැරදී. මේ සම්බන්ධව කතා කරන අයට අපේ මිනිස්සු පට්ටමකුත් දෙනවා හොඳට experience තියනවා නේද කියලා. ලෙකු ඔළුවක් තිබ්බට අබ ඇටයක් තරම්වත් මොළයක් නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය කියන එක ලංකාවට මැජික් එකක් වෙලා තියෙන්නේ. අනෙකුත් රටවල විධිමත්ව මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් ලංකාව තුළ එහෙම දෙයක් නැහැ. එකනේ මෙච්චර මේ මාතෘකාව මැජික් එකක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ බටහිර රටවල ඉන්න ඈයොන්ට වඩා අපේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ සම්බන්ධව සෑහෙන්න දේවල් දන්නවා. ඉන්ටනෙට් එක නිසා මේ දේවල් ගැන සෑහෙන්න දේවල් දැනගන්නත් ලිංගිකත්වය කියන දේ බිල්ලට අරන් ජීවිතයක් දවසෙන් උනත් නැති කරන්නත් අපේ මිනිස්සු සෑහෙන්න දක්ෂයි. මේ ලඟදි දවසක ළමයි දෙන්නෙක් වීඩියෝ කරලා කුණුහරුපෙන් බැනලා ඒ වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහරින්න තරම් එතන පොර වෙන්න ගිය වැඩිහිටියෝ කියන උදවියගේ කෙරුවාව මොළයක් තියන උදවියට තේරෙනවා ඇතිනේ. ළමයෙක්ට දෙයක් පහදලා දීලා හරිමගට ගන්නවා වෙනුවට මුළු ජීවිත දෙකක්ම විනාශකරන තත්ත්වට පත්වෙන්න තරම්, මේ Sex කියන දේ ලැජ්ජාවක් කියන තැනට පත්වෙන්න තරම් අපේ රටේ ලිංගික අධ්‍යාපනය කොයි තරම් පහත් තැනකද තියෙන්නේ. මේ වගේ සිදුවීම් තව කොච්චර වෙනවාද?

 

මේ ලොකේ හැම දෙයක්ම Daily update වෙනවා. ඒ වුණාට අපේ මිනිස්සුන්ගේ මොළවල් තාම stuck වෙච්ච system එකක්. තමන්ගේ මතයට පරිබාහිර හැම දෙයක්ම වැරුද්දක් , අපරාධයක්. ප්‍රසිද්ධියේ අත්අල්ලන් ගියොත්, වැළඳගත්තොත් නැත්තම් බස් එකේ එකට වාඩිවෙලා කතා කරකර ගියොත් ලංකාවේ එක ලොකු වැරුද්දක්. මෙහෙම දෙයක් දැක්කොත් ඒ ළමයව Pregnant කරලා තමයි නවතින්නේ. මේ දේවල් අහිංසක විදිහට ආදරය විඳින දෙයක් කියන එක අපේ මිනිස්සුන්ට තාම පිළිගන්න අමාරු දෙයක් . මේ නිසා තමයි පොඩි උන් කාමර ගානේ රිංගගෙන ආදරය කියනදේ වෙන විදියකට හොයන්න යන්නේ.

 

ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලික ඉගැන්වීම කළ යුත්තේ නිවසෙන්. දෙමාපියන් තමයි එ් මූලික කාරණා දරුවන්ට කියලා දෙන්න අවශ්‍ය. ඒ වගේම පාසල් අධ්‍යපනය තුළිනුත් මේ දේවල් දරුවන්ට ඉගැන්විය යුතුයි. මේ දවස්වල කතාවෙන “ලිංගික අධ්‍යාපනය” ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ (sexuality education) විදියට. ඒක නිවැරදිව සිංහලට පරිවර්තනය වෙන්න ඕනෙ “ලිංගිකත්ව අධ්‍යාපනය” කියලා. ලිංගය (sex), ලිංගික (sexual), සහ ලිංගිකත්වය (sexuality) කියන්නෙ එකිනෙකට වෙනස් තේරුම් ඇති වචන තුනක්. ඒ නිසා මෙතැන ඉඳලා “ලිංගික අධ්‍යාපනය” කියන වැරදි යෙදුම වෙනුවට “ලිංගිකත්ව අධ්‍යාපනය” කියන නිවැරදි යෙදුම භාවිතා කරනවා.

 

මූලිකවම ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබුණේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම. පසුව ඒඩ්ස් පැතිරීම වැලැක්වීම හා ලිංගික අපයෝජන පිළිබඳ දැනුම්වත් කිරීම. දැන් මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සිදුවන වෙනස්කම් අවම කිරිම සහ අන්තර්ජාලය හරහා සිදුවන අයුතු බලපෑම් අවම කිරීම දක්වා ලිංගිකත්ව අධ්‍යාපනය පරිණාමය වෙලා තියෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය නිසි ලෙස ලබා දීම නිසා ලිංගික සම්බන්ධතා ඇතිකරගැනීම ප්‍රමාද වීම සහ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගණන අඩු වීම වගේම ලිංගික සම්බන්ධතාවල දී අවදානම් ගැනීමට පෙළඹීම අඩුවීම, උපත් පාලන කොපු (කොන්ඩම්) සහ උපත් පාලන ක්‍රම භාවිතය ඉහළ යාම වැනි දේවල් ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටවල් බොහෝමයක කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා.

 

ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකියව මේ අධ්‍යපනය හරහා තිබෙනවා. මිනිස්සු දන්නේ ඒඩ්ස් ගැන විතරයි. නමුත් තවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබෙනවා. ඒවා වළක්වාගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර ලබාගන්නේ කොහෙන්ද? ඒ රෝග මොනවද? කියලා මේ හරහා අවබෝධයක් ලබාගන්න හැකියාව තිබෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තවත් රටවලත් ලංකාවේ වගේම නැත්තම් ඊටත් වඩා විරෝධතා මතු වෙලා තියෙනවා. එහෙම විරෝධතා ඇතිකරලා තියෙන්නේ දරුවන් මේ හරහා ලිංගික චර්යාවන්වලට යොමු වෙන්න පුළුවන් කියන තර්කය මත. නමුත් ඒ මතයේ සත්‍යතාවයක් නෑ කියන එක නැවත නැවතත් සිදුකරපු සමීක්ෂණවලින් අවධාරණය වෙලා තියෙනවා . මේ ‍වෙනකොට ඒ තර්කය සම්පූර්ණයෙන්ම අවලංගුවෙලා තියෙන්නේ.

 

sex ගැන කතා කරනවා කිව්වහම අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ වෙනම බහුබූතයක්. sex ගැන එහෙමත් නැත්තම් මේ ලිංගිකත්වය සම්න්ධයෙන් කතා කරනවා කියන්නේ ඉහත සදහන් දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම .ලිංගිකත්වය විද්‍යාත්මකව විවෘතව සාකච්ඡා කළ හැකි මාතෘකා බවට පත් කළ යුතුයි. නිසි වයසේදී දරුවන්ට මේ සම්බන්ධයෙන් විදිමත් ලෙස අධ්‍යපනයක් ලබාදිය යුතුයි . මේ සම්බන්ධව අදහස් බෙදාහදා ගත යුතුයි. සමාජ පරිහානියන් අවම කරගන්න දැනුවත් සමාජයක අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම ඔබේ වගකීමයි.

 

උත්පලා ඉන්ද්‍රචාපා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here