හතර වටෙන් ලෝක සාගර දිනය අදයි…

ලෝක සාගර දිනය අදයි…

2020 Jun 8

එක්සත් ජාතීන්ගේ ලෝක සාගර දිනය අදට යෙදී තිබේ. මෙවර 2020 ලෝක සාගර දිනයෙහි තේමාව වන්නේ “තිරසාර සාගරයක් සඳහා නවෝත්පාදන” යන්නයි. සාගර මඟින් දේශගුණය පාලනය කරීම , වසරකට මිනිසුන් මිලියන ගණනක් පෝෂණය කිරීම, ඔක්සිජන් නිෂ්පාදනය කිරීම වගේ අපට ඉතා වැදගත්වන දේවල් විශාල වශයෙන් සපයා දෙනවා. එපමණකින් නොනැවතී ඇදහිය නොහැකි ලෙස වනජීවීන්ට නිවසක් වශයෙන් කටයුතු කරනවා. අපේ ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි සැලකිලිමත් ලෙස සාගර රැකබලා ගැනීමට කටයුතු කළ යුතුයි.

 

 

සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබෙනවා.පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන්. නමුත් මේ පිලිබදව ලෝක වාසීන්ගේ අවධානය යොමු වුනේ 2009 ජුනි 08 වන දින “ලෝක සාගර දිනය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. ඒ අනුව 1992 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී, 2009 දී “ජගත් සාගර දිනය” සැමරීමට කටයුතු සුදානම් කරනු ලැබුවා.

 

 

සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් ‘යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා’ සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදක්වනු ලැබුවා.

 

 

එම වාර්තාවෙහි අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබෙනවා.

 

 

අදාළ වාර්තාවට අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන රටවල් ලෙස දක්වන්න පුළුවන්.

 

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට

එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1
උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768
උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689
ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසල මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද සඳහන් වෙනවා.

සාගරයට අපද්‍රව්‍ය එක් වූ පසු ගත හැකි පියවර සීමා සහිත වන අතර සාගරයට අප්‍රද්‍රව්‍ය එක්වීම වැලැක්වීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි.

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙන පරිදි සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා.

සාගරය තුළින්ම සිදුවන දූෂණය: නැව් මගින් සිදුවන තෙල් විෂවීම් සහ වායු විමෝචන, නැව් මගින් බහැර කෙරෙන අපවිත්‍ර ජලය, රසායනික ද්‍රව්‍ය විෂවීම් සහ ආක්‍රමණික ජීවීන් මගින් සිදුවන බලපෑම්
ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය: ගංගා ඇලදොළ ඔස්සේ සාගරය වෙත ගලා එන ඝන සහ මළ අපද්‍රව්‍ය, සංචාරක, කෘෂි සහ ධීවර කර්මාන්ත හේතුවෙන් සිදුවන දූෂණික තත්ත්වයන්

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන පරිදි ගොඩබිම ඔස්සේ වෙරළ කලාපය වෙත පැමිණෙන දූෂණකාරක කොටස් දෙකකි:

ඝන අපද්‍රව්‍ය: ධීවර කර්මාන්තය හේතුවෙන් එක්වන දැල්, රෙජිෆෝම් සහ ෆයිබර් කොටස්/ සංචාරක කර්මාන්තය හේතුවෙන් එක්වන ප්ලාස්ටික් බෝතල්, හැඳිගෑරප්පු වැනි කොටස්/ පොලිතීන්, රෙදි, ප්ලාස්ටික් කොටස් වැනි ගොඩබිම ඔස්සේ පැමිණෙන සෙසු ද්‍රව්‍ය
ද්‍රව අපද්‍රව්‍ය: කර්මාන්ත ශාලා මගින් පිටකරන රසායනික ද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය, අසූචි

ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය ශ්‍රී ලංකාව තුළ සාගර දූෂණයට වැඩි වශයෙන්ම බලපාන බව වාර්තා වෙනවා.

 

 

පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීම වැලැක්වීම සඳහා ඇළමාර්ග පවිත්‍ර කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ගංගා සහ ඇලදොළ මුහුදට එක්වන ස්ථාන තුළ සිරස් දැල් වැට යෙදීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම වැනි පියවර රාශියක් මේ වෙනකොට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.

අපි සියලු දෙනාම හැකි පමණින් අපේ සාගරය ආරක්ෂා කරගත යුතුයි. දෛනික ජීවිතයේ දී, එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරමු. වඳ වී යමින් පවතින මුහුදු සත්ව විශේෂ අඩංගු ආහාර මිලදි ගැනීමෙන් වළකිමු, ආහාරයට නොගෙන ඉමු. අපි සියලු දෙනා එකට එක්ව සාගරය සුරකිමු ! ලෝකය සුරකිමු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here