හතර වටෙන් COVID-19 කාලයේ දේශීය ව්‍යාපාරිකයන්ට සහාය වෙමු..

COVID-19 කාලයේ දේශීය ව්‍යාපාරිකයන්ට සහාය වෙමු..

2020 Jul 30

2020 කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කවදාවත් නොහිතපු විදිහට වෙනස් කරපු අවුරුද්දක් කිවුවොත් හරියටම හරි. ගිය අවුරුද්දේදී දරුණු පහර දෙකක් එල්ල වුණා – විනාශකාරී පාස්කු ත්‍රස්ත ප්‍රහාර ඒ වගේම දැන් COVID-19 වසංගතය. දිනපතා වැටුප් උපයන්නන්ට, කුඩා පරිමාණ ව්‍යාපාර සහ Lockdown එක කළමනාකරණය කරන්න මූල්‍යමය ශක්තියක් නැති පුද්ගලයින්ට මේක ලොකුවටම බලපෑවා. Lockdown කාලය මිනිසුන්ට සහ ව්‍යාපාර වලට අභියෝගාත්මක කාලයක්. මැයි 11 ඉදන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් විවෘත වෙලා තිබුණත් ඒ කළින් වගේම නම් නෙවෙයි.

 

ඉදිරියට තියෙන අවිනිශ්චිතතාවයෙන් අදහස් වෙන්නේ අපෙන් ගොඩක් දෙනෙක් පෙරට වැඩිය මූල්‍යමය වශයෙන් ප්‍රවේශම් වන බව.හැබැයි අරපරිස්සමින් වියදම් කරනවා කියන්නේ මේ ප්‍රශ්න එක්ක වැඩිපුරම පීඩා වුණු අය එක්ක කේවල් කරන එකනම් නෙමෙයි. පලතුරු හා එළවළු වෙළෙන්දන් සහ වෙනත් වීදි වෙළෙන්දන් එකක් අපි කේවල් කරන එක අපි ගොඩක් දෙනෙක්ට පොදු දෙයක්. එත් අපි කවදාවත් සාප්පු, සුපිරි වෙළඳසැල් හෝ වෙනත් මහා පරිමාණ ආයතන වල භාණ්ඩ මිළ ගණන් ගැන ප්‍රශ්න කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වසංගත කාලයක ජීවත්වීම ඇත්තටම දුෂ්කරයි. හැබැයි කුඩා ව්‍යාපාරයක් වීම සහ ගනුදෙනුකරුවන්ට කේවල් කරන්න බලයක් තියෙන එක ඊටත් වඩා දුෂ්කර කාරණාවක්.

 

46 හැවිරිදි සුනිල්, පළතුරු සහ එළවළු වෙළෙන්දෙක්.

“විකුණුම් අනපේක්ෂිත නිසා COVID-19 වල ගෙවන මේ කාලය ගොඩක් දුෂ්කරයි. සමහර දවස් වලට හොඳයි. එත් සමහර දවස්වලට කිසිම ව්‍යාපාරයක් නැති තරම්. කනගාටුවට කරුණ තමයි ගොඩක් දෙනා රු. 20 හෝ රු. 30 ට කේවල් කරනවා. ගොඩක් අය හිතන්නේ නැහැ මං ආපහු ගෙදර යන බස් ගාස්තුවටත් යන්නේ ඒ වගේ ගාණක් කියලා. COVID-19 වලට කලින් ඉදන්ම ඒක එහෙම තමයි.”

 

නිල්මි, ප්ලාස්ටික් භාණ්ඩ වීදි වෙළෙන්දියක්.

“අවුවේ ඉදගෙන මේ රස්නෙත් එක්ක දවසම ගෙවන්නේ අපි ගොඩක් දුෂ්කර විදිහට.සමහර වෙලාවට මම විකුණන බඩු ගන්න හොඳ හොඳ කාර් වලින් ඇවිල්ලා නවත්තනවා. ගොඩක් සුළු ලාභයක් තියාගෙන විකුණන මගේ භාණ්ඩ වල ගාණ අඩු කරන්න කියලා කේවල් කරනවා.”

 

හැමෝම දුක් විඳින එක සාපේක්ෂ දෙයක් අපි හැමෝම දුෂ්කරතා එක්ක කටයුතු කරන එක ඇත්තක්. එත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් එක්ක අපිත් සංවේදී වුණොත් අපි හැමෝටම යහපතක් වෙයි.අනිත් මිනිස්සු ගැන අනුකම්පා කළා කියලා අපේ කිසිදෙයක් නැති වෙන්නෙත් නැහැ වගේම එහෙම කරන්න අපි මුදල් වලින් පොහොසත් වෙලා ඉපදෙන්නම ඕනෙත් නැහැ. අපේ පසුම්බියට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අනිත් අයගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. මේ ඒවායින් කිහිපයක්:

 

 

1. කුඩා ව්‍යාපාරවලට සහාය වීම

අපි මේ ඉන්න වාතාවරණයත් එක්ක කුඩා පරිමාණ ව්‍යාපාර අපේ අනුග්‍රහය මත තමයි රඳා පවතින්නේ. හැම ගණුදෙනුවක්ම එයාලට වටිනවා. ඔයා අමාරුවෙන් හම්බකරපු සල්ලි බඩු, ඇඳුම් වගේම කුස්සියේ ආම්පන්න සහ මැටි භාණ්ඩ වගේ ඔයාගේ ගෙදර දේවල් වලට වියදම් කරන වේලාවට ඒවා කේවල කරන්නේ නැතුව ගමේම,ඔයාගේ පළාතේ ඉන්න වෙළෙන්දන්ගෙන් ලබා ගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් හිතලා බලන්න.

 

 

2.දේශීය දේ තෝරා ගන්න

සාප්පු යද්දී දේශීය සාප්පු වලට යන එකෙන් ගොඩක් වාසි තියෙනවා.දේශීය ව්‍යාපාරවලට සහය දක්වනවා කියන්නේ අපි අපේ දේශීය ආර්ථිකයට සහාය දීමක්.එතකොට අපේ මුදල් පිටරට යවනවාට වැඩිය අපේ රටේම තියාගන්න ඒක ලොකු උදවුවක් වේවි.

 

 

3. නොමසුරුව tip දෙන්න

ඔයාගේ ගාණට සරිලන මොනවහරි දෙයක් මිළදී ගත්තාම එකේ සුළු මුදලක් ඉතුරු වුණොත් ඒ ඉතිරි මුදල වෙළෙන්දාට තියාගන්න දෙන්න. ඒකෙන් ඔයා දුප්පතෙකු බවට පත් වෙන්නේ නැහැ වගේම ඒක ඔයාගේ කෘතඥතාවයේ සංකේතයක් වෙන නිසා වෙළෙන්දා සහ ඔයා අතර හොඳ සම්බන්ධතාවයකුත් ඇතිවෙන්න උදවුවක් වේවි.

 

 

4. කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට උදව් කරන සංවිධානවලට පරිත්‍යාග කරන්න

Givers League වගේ සංවිධාන ආර්ථික ප්‍රශ්න වල ඉන්න ව්‍යවාසකයින්ට එයාලගේ කුඩා ව්‍යාපාර ආරම්භ කරන්න හෝ පුළුල් කරන්න පොලී රහිත ණය ලබාදෙන්න කටයුතු කරනවා. ණය ලබගන්න අයට මාස 3 ක සහන කාලයකින් පස්සේ මාසික වාරික 24 කින් මුදල ආපසු ලබාදෙන්න සිද්ධ වෙනවා. පස්සේ ඒ මුදල් චක්‍රීකරණය වෙලා එයාලගේම ප්‍රජාවේ විසිරී යනවා.ඒ විදිහට චක්‍රය දිගටම පවතිනවා.

Servelk.org කියන්නෙත් දෛනික වැටුප් උපයන්නන් සහ ගෘහස්ථ ව්‍යාපාර වලට අරගල කරන අය සදහා තියෙන තවත් සංවිධානයක්. මේ හරහා සලාක සඳහා අනුග්‍රහය දක්වන්න හෝ බීජ මුදල් සඳහා පරිත්‍යාග කරන්න ඔයාටත් අවස්තාව තියෙනවා.එය කාන්තාවන් විසින් පවත්වාගෙන යන ගෘහස්ථ ව්‍යවසායන් පුනර්ජීවනය කරන්න සහ ශක්තිමත් කරන්න උදව් වෙනවා.

 

 

5. ඔයාගේ ප්‍රදේශයේ ඇති කුඩා ව්‍යාපාරවල වලට යන එක වැඩි කරන්න.

ඔයාගේ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර හිමිකරුවන් එක්ක කතාකරන්න. වසංගතය අතරතුරදී එයාලා කළමනාකරණය කරගෙන ජිවත් වෙන්නේ කොහොමද කියලා එයාලගෙන් අහලා බලන්න. අපේම ගමේ,නගරයේ වෙළෙන්දන් පරීක්ෂා කරලා බැලුවොතින් මේ වෙලාවේදී ආධාර ඕනේ අයගේ ජීවිත වලට සෘජු බලපෑමක් කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි. කුඩා පරිමාණ අලෙවිකරුවන්ගෙන් ඔයා මිලදී ගත් වාර ගණන වැඩි කළොත් හෝ එයාලට වැඩි ව්‍යාපාරයක් හරවා යවන්න උදව් කරන එක වගේම ඔයා දන්න වෙනත් පුද්ගලයන් ඒ අයගෙන් බඩු ගන්න යොමු කරන එක මේකට හොඳ නිදසුනක්.

 

කුඩා වතුර බිංදු වලින් ලොකු සාගරයක් හදන්න පුළුවන්. අපි අවට තියෙන සෑම දෙයකටම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපට නොපෙනෙනවා වුණත් ඒක අනිවාර්යයෙන්ම පවතිනවා. අපි හැමෝම දුෂ්කර කාලවලදී සංවේදී බව හා දයානුකම්පාව ප්‍රගුණ කළොත්, අපේ වටේ ඉන්න අනිත් මිනිස්සුත් නඟා සිටුවන්න සහ අපේ ආර්ථිකය ධනාත්මක මාවතකට යොමු කරන්න පුළුවන් වගේම ලොකු වෙනසක් හා ප්‍රගතියක් ඇති කරන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here