Uncategorized ඔයාගේ නිවස තුළ වවන්න හොඳම ශාක වර්ග

ඔයාගේ නිවස තුළ වවන්න හොඳම ශාක වර්ග

2021 Nov 12

අපි හැමෝම ගෙවමින් ඉන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. උදේ දවස පටන් ගන්න වෙලාවේ ඉඳන් රෑ නින්දට යන මොහොත වෙනකන්ම ගෙදර දොර වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු, පවුලේ අනිකුත් ආදරණියන්ගේ අවශ්‍යතා වගේම රැකියා අවශ්‍යතා වෙනුවෙනුත් හුඟක් වෙහෙස මහන්සි වෙන්න අපට සිදුවනවා. මේ තෙහෙට්ටුව, වෙහෙස එක්ක ජීවත් වෙලාම එපා වෙලා වගේද..? එහෙම හිතෙන එකත් සාමාන්‍යයි. ඒ කියන්නෙ ඔයාට මානසික සුවයක් අවශ්‍යයි. ශාරීරික තෙහෙට්ටුව වගේම මානසික වෙහෙසත් නිවාගන්න යමක් නොකළොත් ඔයාට ජීවිතේ එපා වීම වළක්වාගන්න බැරිවේවි.

ඇත්තටම කොහොමද මානසික සුවය ලඟාකරගන්නේ..? මේකට නොයෙක් ක්‍රම තියනවා. වටපිටාව දිහා අවදානයෙන් බැලුවොත් ඔයාගේ මනසට සැනසිල්ල ගෙනේ දේවල් කිහිපයක්ම ඔයාට හමුවේවි. ගස් වැල් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි ඉතාම කාර්යබහුල වටපිටාවක වගේම ඉඩකඩ සීමිත නිවෙසක්ත් ජිවත් වෙන ඔයා දැන් කල්පනා කරන්නෙ “අපි කොහොමද ගස් වවන්නේ..?” කියල නේද..? මෙන්න මෙහෙම හිතෙන ඔයාගේ ගැටළුවට විසඳුමක් දෙන්නයි අපි මේ සුදානම් වෙන්නෙ. ඇහැට වගේම හිතටත් සැනසිල්ලක් ගෙනදෙන ගස් ටිකක් ඔයා ජීවත් වෙන පුංචි ඉඩකඩේ, නැතිනම් කාර්යාල පරිසරයේ වවාගන්නෙ කොහොමද..? එහෙම නඩත්තු කරන්න පුළුවන් ගස් වර්ග මොනවද..? ඒවා වවන්න අවශ්‍ය කරන සාධක මොනවද..? අපි එකින් එක ඒ ගැන දැනුවත් වෙමු.

මේ විදිහට පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් ගස් වර්ග කියල මුලින්ම අපි දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. ඔයාගේ ගෙදර නැතිනම් කාර්යාලය ඇතුලේ වවාගන්න හැකි වෙන්න ඕනේ වගේම පහසුවෙන් නඩත්තු කළ හැකි, ලොකු ඉඩකඩක් වෙන් කිරීම අවශ්‍ය නැති ගෘහස්ථ ශාඛා නැතිනම් Indoor- plants වර්ග කිහිපයක් සහ ඒවා වගා කරගන්න ක්‍රම ගැන එකින් එක ඔබව දැනුවත් කරන්නම්.

AGLAONEMA

අපි මුලින්ම හඳුන්වා දෙන ගෘහස්ථ ශාඛය තමයි Aglaonema. පහසුවෙන් වගාකරගන්න පුළුවන් වගේම පහසුවෙන් නඩත්තු කරන්නත් හැකි ශාඛයක් මේක. ඒ වගේම මේ පලයක් තැබීමෙන් පරිසරයටත් අමුතු හැඩයක් එකතු වෙනවා. කොහොමද මේ පැලය සිටවන්නේ කියල මුලින්ම දැනගත යුතුයි. මේ වර්ගය ගෘහස්ත ශාඛයක් විදිහට තමයි වඩාත්ම සාර්ථකව වැවෙන්නෙ. ඒ කියන්නෙ කෙලින්ම ඉර අවුවට නිරාවරණය නොවී පරාවර්තිත ආලෝකය යටතේ ගෙදර ඇතුලේ තියාගෙන හදන්න පුළුවන් වර්ගයක්. අඩු උෂ්ණත්වයකදී ඉතා හොඳින් වර්ධනය වෙන ගහක්.

මේ පලය සිටුවීමට වගා මාධ්‍ය සකස් කරගැනීමේදී ඔයා සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. මුලින්ම කොහොමද බඳුනට වගා මාධ්‍ය එකතු කරන්නෙ කියන එක ගැන ඔයා දැනුවත් වෙන්න අවශ්‍යයි. ඔයා පැලය සිටවන්න භාවිත කරන පෝච්චිය අනුව ඔයාගේ මිනුම් පරිමාණය තීරණය කරගන්න. ඊළඟට ගංගා වැලි කොටස් 1ක්, කොළ පොහොර (කොම්පෝස්ට්) කොටස් 2ක්, අඟුරු කැබලි කොටස් 1/4ක්, ලොම් පස් කොටස් 4ක් සහ වියළි ගොම කොටස් 1ක් එකතු කරගෙන ඔයාගේ වගා මාධ්‍ය නිර්මාණය කරගන්න. මේ විදිහට සිටුවාගන්නා පැලය මුලින් සඳහන් කළා වගේම අඩු ඉර එළිය තත්වයක් යටතේ පවත්වා ගන්න. ගෙදර ඇතුළතට එන පරාවර්තිත ආලෝකය ගහ හැදෙන්න ප්‍රමාණවත්. ඒ වගේම වතුර වැඩිපුර යොදන්න අවශ්‍ය වන්නේත් නැහැ. වතුර වැඩිවීමෙන් කඳ කුණු වීමක් සිදුවිය හැකියි.

පිටිමකුණා, මයිටාවන් වගේම කුඩිත්තන් මේ පැලයට හානි කරන පලිබෝධකයින් වනවා. ඒ ගැන වධානයෙන් සිටීමත් වැදගත්. නිසි පලිබෝධ නාශකයක් දීමෙන් ඒ තත්වයන් වළක්වා ගත හැකයි.

MONSTERA

අපි ඊළඟට ඔයාට හඳුන්වා දෙන්නේ තවත් හරිම ලස්සන ගෘහස්ථ පැලයක්. MONSTERA නමින් හඳුන්වන මේ පැලයේ කොළයේ තිබෙන අපූරු රටාව නිසාම අමුතු ලස්සනක් පරිසරයට එකතු කරනවා. ඒ වගේම මේකත් නිවාස ඇතුලේ තබාගත හැකි පැලයක්. සෘජු ආලෝකය ලැබීම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර ජලය දැමීමෙන් වැලකීම සුදුසුයි. දවස් 2,3කට සැරයක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත්. එහෙම නොවුනොත් පැලයේ මුල් කුණුවී යාමට ඉඩ තිබෙනවා. ඒ වගේම ටිකක් වැඩිපුර ඉඩකඩ තියෙන බඳුනක වවාගන්න කියලත් අපි ඔබට මතක් කරනවා. එහෙම වුනොත් පැලයේ සැබෑ ලස්සන ඔයාගේ නිවසට / කාර්යාලයට එකතු කරගන්න පුළුවන් වෙන විදිහට පැලය සකස් කරගන්න ලැබේවි.

ගංගා වැලි කොටස් 1ක්, වියළි ගොම කොටස් 1ක්, කොළ පොහොර කොටස් 1ක් සහ ලොම්පස් කොටස් එකක් සමග අඟුරු කැබලි 1/4ක් මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍ය සකස් කරගත හැකියි. මතක තබාගත යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. ඔයා මේ පැලය හිටවන්න ගන්න බඳුනේ පතුලට ජලය රඳා නොපවතින විදිහට ගල් හෝ උළුකැට කැබලි ස්ථරයක් අතුරා ගන්න අවශ්‍යයි.

මේ විදිහට  සිටුවාගත් පලයේ කොළ කළුපැහැ වීමක් සිදුවුනොත් ඒ කියන්නෙ ඔයාගේ පැලය සිටවූ බඳුනේ වතුර රඳා පවතිනවා. ඒ නිසා පැලය ඉවත් කොට වගා මාධ්‍ය නැවත සකස් කිරීම අවශ්‍ය වනවා. සමහර විට ටික දවසකින් පත්‍ර දුඹුරු පාටක් ගන්නවා නිරීක්ෂණය කරන්න ලැබේවි. එහෙම වුනොත් ඒ කියන්නෙ වතුර අඩුවීම හෝ වැඩිවීමක් වෙලා තියෙන බව. පත්‍ර කහපාට වීමත් මේ වර්ගයේ නිතර දකින දෙයක්. ඒ කියන්නෙ ලැබෙන ආලෝකය ප්‍රමාණවත් නැහැ කියන එක. එහෙම වුනොත් තවත් ටිකක් එළිය ලැබෙන තැනකට පැලය මාරු කිරීම අවශ්‍යයි. පත්‍ර වල පුල්ලි හටගැනීමත් මේ පැලයට සිදුවිය හැකි නමුත් කලාතුරකින් හටගන්නා තත්වයක්. එවැනි තත්වයකදී දිලීර නාශකයක් යෙදීම ප්‍රමාණවත් වනවා.

Borsigina, Adansonii, Pinnatipartita, Obliqua, Silver Monstera, Swiss Cheese Plant, Mini Monstera වැනි ප්‍රභේද ගණනාවකින් ඔයාට මේ වර්ගය දැකගන්න ලැබෙනවා. කොහොම වුනත් ගෙදර ලස්සන කරන්න ලෝකයේ බොහෝ රටවල භාවිතයට ගන්නා මේ පැලය අපේ රටෙත් ඕනෑම දේශගුණ තත්වයක පහසුවෙන් සකස් කරගත හැකියි.

RUBBER PLANT

මොකක්ද මේ Rubber Plant..? මේ අපි දන්නා රබර් ශාඛය ද..? කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් මේ ඊට වඩා වෙනස් පැලයක්. නමුත් මේකට රබට් ප්ලාන්ට් කියන නම ලැබෙන්නේ මේ පැලයේ කොළය මතුපිට රබර් එකක් වගේ මතුපිටක් තිබීම හේතුවෙන්. විශාල පත්‍ර තියෙන මේ ගසේ කොළයත් විවිධ පාට රටා වලින් හඳුනා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි නිවාස ඇතුළත වගේම පිටතත් මේ පැලය තියන්න හැකිවීම. පිටතදී නම් ටිකක් උසින් වැඩි ගහක් විදිහට හැදෙනවා වුනත් නිවාස ඇතුළත නම් අඩි 6ක් වගේ උසකින් වර්ධනය නතර වනවා. විශේෂම කාරණය මේ පලය හරි කෙලින් කඳක් සහිතව උසට වැඩීම. ඒ නිසා නිවාස අලංකරණයට ඉතාම සුදුසු පැලයක් වනවා. රැකබලා ගැනීම සහ නඩත්තුව ඉතා අපහසු නොවුනත් යම් යම් උපක්‍රම භාවිතා කරන්න නම් වෙනවාමයි.

ඔයාට කැමති ප්‍රමාණයක පෝච්චියක් මේ පැලයට තෝරාගන්න පුළුවන්. නමුත් ටිකක් ඉඩකඩ සහිත පෝච්චියක් නම් වඩා සුදුසු වනවා. කොහුබත්, මතුපිට පස් සහ වැලි සමානව එකතු කරගෙන වගා මාධ්‍ය සකස් කරගැනීමට හැකියි. ඒ වගේම තමයි වගා මාධ්‍ය පෝච්චියට දමද්දී හොඳින් වාතනය සිදුවන පරිදි තිබිය යුතුයි. ඒ කියන්නෙ වගා මාධ්‍ය ලිහිල්ව පෝච්චියට දැමීම අත්‍යවශ්‍යයි. සෘජු ආලෝකය මේ පැලයට අවශ්‍ය වන්නේ නැහැ. පරාවර්තිත ආලෝකය ප්‍රමාණවත්. නමුත් කොළ හැලෙනවා නම් පමණක් වැඩිපුර ආලෝකය ලැබෙන තැනකට පැලය මාරු කිරීම කළ යුතුයි. සතියකට දෙවරක් උපරිම තුන් වරක් ජලය යෙදීම ප්‍රමාණවත්. ඊට වඩා ජලය දැමීම පැලයට හානිකර විය හැකියි. තෙත රෙදි කැබැල්ලකින් පැලයේ පත්‍ර මතුපිට පිසදැමීම සිදුකිරීමෙන් පත්‍ර පුටිකා විවර වීම සිදුවනවා. පත්‍ර වලට වඩා හොඳ දීප්තිමත් බවක් ලැබෙනවා.

ගෙදර ඇතුලේ පහසුවෙන් වවාගන්න පුළුවන් පල කිහිපයක් වගේම ඒ පල ගැන ඔයා අනිවාර්යෙන්ම දැනගන්න අවශ්‍ය කරුණු ටිකක් මේ විදිහට අපි ඔයාට කිවුවා. කලින්ම සඳහන් කළා වගේම පැලයකින් නිවසට අමුතු ලස්සනක් එකතු වනවා වගේම පැලයක් සිටුවීම සහ නඩත්තු කිරීම කියන්නෙ විඩාබර මනසට එක විදිහක අස්වැසිල්ලක්. ඒ අත්දැකීම විඳගන්න, ඔයාට තියෙන පුංචි ඉඩකඩේ වුනොත් පල කිහිපයක් වවන්න පටන් ගන්න කියලත් අපි යෝජනා කරනවා. ඔයා ළඟ දැනටමත් මේ වර්ගයේ පැල තියෙනවා නම්, ඒවායේ පින්තූරයක් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ගෙදර ඇතුලෙම ලෙහෙසියෙන්ම වවාගන්න පුළුවන් තවත් වර්ග කිහිපයක විස්තර අපි ඊළඟ ලිපියෙන් ඔබට කියන්නම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here