Health & Beauty ජීවිතේට Break නෑ, දියවැඩියාවට Reverse නෑ…

ජීවිතේට Break නෑ, දියවැඩියාවට Reverse නෑ…

2021 Nov 24

දියවැඩියාව කියන්නේ ලංකාවේ විතරක්ම නෙමෙයි ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක්. ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් ඉන්න අතරවාරයේ වුනත් දියවැඩියාව ගැන සැළකිලිමත් වීම අමතක නොකළ යුත්තේ එයත් වසංගතයක් තරම්ම භයානක නිසයි. බෝනොවන රෝගයක් නිසා අපට දියවැඩියාව ගැන සුළුවෙන් තකන්න හැකියාවක් නැහැ. හේතුව මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසකට ජීවිතය අහිමි කරවන බෝනොවන රෝගය විදිහට හඳුනා ගන්නෙන්නේ දියවැඩියාව වීමයි. ඒ නිසාම දියවැඩියාව ගැන ඔබ දැනගත යුතුම කරුණු ටිකක් ඔබට කියන්න gasma.lk අපි තීරණය කළා.

 

දියවැඩියාව කියන්නේ “සුවකළ නොහැකි” රෝගයක් විදිහට දැනට හඳුනා ගැනෙනවා. එහෙම කතාවක් ඇහුවහම ටිකක් කලබල වෙනවා නේද..? නමුත් ඇත්ත තත්වය ඒකයි. දියවැඩියාව පාලනය කරන්න හැකියාව තියෙනවා වගේම හැදෙන්න කලින් වළක්වා ගන්නත් අවස්ථාව තියෙනවා වුනත් වැළඳීමෙන් පසුව සුවකිරීමක් ගැන සිතීම නිෂ්පල වැඩක්. ඒ නිසා දියවැඩියාව හැදෙන්න කලින් වළක්වා ගන්න නම්, ඔබ දැනගෙන සිටිය යුතුම කාරණා ටිකක් අපි මේ ලිපියෙන් ඔබේ අවදානයට යොමු කරන්න හිතුවා.

 

 

 

දියවැඩියාවේ මූලික ප්‍රභේද දෙකක් හඳුනා ගැනෙනවා. එයින් අපි වැඩිපුරම කතාබහ කරන්නේ Type II Diabetes නැතිනම් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව කියන ප්‍රභේදය ගැන. මේ වර්ගය ඔබට වැලඳෙනවා නම්, ඒකට ප්‍රභලම හේතුව වෙන්නේ ඔබේ ජීවන රටාව සහ පුරුදු බව ඔබ මතක තබාගත යුතුමයි. 2016 වසරේ සංඛ්‍යාලේඛන දත්ත අනුව ලෝකයේ වැඩිම පුද්ගල මරණ වලට හේතුසාධක වූ කරුණු ලයිස්තුවේ 07 වැනි තැනට සඳහන් වුයේ මේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවයි.

 

ඔබේ දෛනික පුරුදු සහ ජීවන රටාව නිසා ඔබටත් නොදනිම වැළඳිය හැකි මේ දියවැඩියා තත්වය විවිධ ආකාර වලින් ඔබට හානි පැමිණවිය හැකියි. විශේෂයෙන්ම මේ හේතුවෙන් ශරීරයේ විවිධ පද්ධති වල ක්‍රියාකාරීත්වය අඩපණ වනවා. ඒ වගේම ඔබේ මොළයට, හෘදයට, ඇසට, ස්නායු පද්ධතියට වැනි විවිධ ශරීර අංග වල අකර්මණ්‍ය වීම් සිදුවීමේ අවදානමක්ද පවතිනවා. අංශභාග තත්වයට පත්වීම සහ මරණයට පත්වීමටත් දියවැඩියා තත්වය හේතුවිය හැකියි. ඒ නිසා මේ තත්වය වැළඳීමට පෙර වළක්වා ගැනීම අතිශය වැදගත්.

 

කොහොමද දියවැඩියාව වැළඳීම වළක්වා ගන්නෙ..? දැන් ඔබට මේ ගැටළුව ඇතිවනවා නේද..? මේක ඉතා අසීරු කටයුත්තක් නොවෙයි. ඔබේ දෛනික ජීවන රටාවේ සහ පුරුදු වල වෙනස්කම් කිහිපයක් පමණක් කිරීමෙන් ඔබට පහසුවෙන්ම දියවැඩියාවෙන් වැළකීමට හැකියාව තිබෙනවා. මොනවද ඒ පුරුදු..?

 

පළමු වැනිම කාරණය ඔබේ ආහාර රටාව වෙනස් කරගැනීම. ඔබ දැනට ගන්න කෑම වර්ග ගැන තරමක් සැළකිල්ලෙන් සිතා බලන්න. කොතරම් ශරීර සෞඛ්‍යට නුසුදුසු කෑම වර්ග ගණනාවක් ඔබ දවසකට ඔබේ ආහාර වල එකතු කරගන්නවාද..? මේ තත්වය වෙනස් කරගැනීම දියවැඩියාව වළක්වා ගැනීමේ මූලිකම පියවර වනවා. ඔබ දැනටමත් Fast food, junk foods වලට ඒ කියන්නේ සැකසූ ක්ෂණික කෑම වර්ග වලට පුරුදු වෙලා නම්, ඉක්මනින්ම මේ පුරුද්දෙන් මිදෙන්න ඔබට සිදුවනවා. ඒ වගේම ඔබේ ආහාර වේල නිසි අගයෙන් යුතු පෝෂක කොටස් ප්‍රමාණයන් සහිත එකක් විය යුතුමයි. ඒක එතරම්ම අමාරු කටයුත්තක් නොවෙයි. ඔබේ කෑම පිඟාන ගැන සිතා බලන්න. ඒ ප්‍රමාණය කොටස් හතරකට බෙදා ගන්න. මෙයින් 1/4ක් පමණක් කාබෝහයිඩ්රේට් අඩංගු කෑම වර්ග ඇතුළත් විය යුතුයි. ඒ කියන්නේ බත්, ඉඳි ආප්ප, පිට්ටු, කුරහන් මිශ්‍ර පාන්, පැස්ටා, නූඩ්ල්ස් වැනි ඕනෑම දෙයක් එක කොටසක ප්‍රමාණයට පමණක් ගත යුතුයි. ඊළඟ 1/4 වෙන් වන්නේ ප්‍රෝටීන වලට. සම රහිත කුකුල් මස්, මාළු, බිත්තර, මේද රහිත කිරි, සහ මේදය අඩු වෙනත් මස් වර්ග මේ කොටසට ඇතුළත් කරගන්න ඔබට පුළුවන්.ඉතිරි 2/34 ප්‍රමාණයට පිෂ්ටය නැති එළවලු එකතු කරගත යුතුයි. මේ පෝෂක අඩංගු වන විදිහට ආහාර වේල සකස් කරගැනීම මූලිකම අවශ්‍යතාවක් වනවා.

 

 

 

ඊළඟට ඔබේ බීම වර්ග භාවිතය ගැනත් සැළකිලිමත් විය යුතුයි. පිරිසිදු වතුර, සීනි රහිත තේ හෝ කෝපි, තක්කාලි හෝ එළවලු යුෂ සහ මේද රහිත කිරි වැනි බිම වර්ග පමණක් ඔබේ ශරීරයට එකතු කරගන්න වගබලා ගන්න. සෝඩා සහ කාබනේට් අඩංගු පාන, ශක්තිජනක බීම වර්ග, කෘතීම පැණිරසකාරක අඩංගු බීම වර්ග, ඇල්කොහොල් සහ ඇල්කොහොල් අඩංගු පාන වර්ග කියන මේ දේවල් ඔබේ කෑම බීම ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න හැකි තරමට ඔබට දියවැඩියාවෙන් වළකින්න හැකියාව ලැබේවි.

 

 

ඒ වගේම ඔබ වයස අවුරුදු 40 ඉක්මවූ අයෙක් නම් ඔබ සාමාන්‍යෙන් ඉන්නෙ අවදානම් තත්වයක බව මතක තබා ගත යුතුයි. විටින් විට ඔබේ රුධිර සීනි මට්ටම පරික්ෂා කරවා ගන්න අමතක නොකළ යුතුයි. ඒ වගේම ඔබේ මුත්‍රා පිටවීමේ ප්‍රමාණය පිළිබඳව සැළකිලිමත්ව සිටීමත් වැදගත්. නිතර මුත්‍රා පිටවන්නේ නම් ඔබට කිසියම් අවදානම් තත්වයක් ඇතිවිය හැකි නිසා රුධිර සීනි මට්ටම පරික්ෂා කරවා ගැනීම වැදගත්. ඔබේ දෙමව්පියන්ට දියවැඩියාව තිබේ නම් ඔබ අනිවාර්යෙන්ම විමසිල්ලෙන් පසුවිය යුතුයි. ඒ වගේම ඔබ නිතර මානසික ආතතියෙන් පෙළෙනවා නම්, නිවසේ සහ කාර්යාලයේ වැඩකටයුතු සමග ආතතියට පත්වෙලා නම්, ඔබ නැවතත් ඉන්නෙ අවදානම් කලාපයක. ආතතිය හේතුවෙනුත් ඔබ දියවැඩියා රෝගියකු විය හැකියි. දෙපා හිරිවැටීම, දෙපාවල වේදනාවක් දැනෙනවා නම්, එයත් කිසියම් සලකුණක් විය හැකි බව වෛද්‍ය මතය වනවා. එවැනි යමක් පවතිනවා නම් නිසි පරික්ෂාවන්ට ලක්වීම වැදගත්.

 

කෙසේ නමුත්, දියවැඩියාව කියන්නෙ හැදෙන්න කලින් වලක්වා ගත යුතු දෙයක්. ඒ නිසාම ඔබේ සැලකිල්ල, ඔබේම ශරීරය වෙත යොමු කරන්න. ඔබේ ආහාර රටාවන් සහ ජීවන පුරුදු ගැන වෙනදාට වඩා සැළකිලිමත් වන ලෙස අපි ඔබට යෝජනා කරනවා.

 

එන්. වෙහෙරදූව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here