හතර වටෙන් ඔබට මෙන්ම ඔවුන්ටත් ඇති අයිතිය – ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය අදයි...

ඔබට මෙන්ම ඔවුන්ටත් ඇති අයිතිය – ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය අදයි …

2021 Dec 10

ලෝකය අයිති වන්නේ මිනිසුන්ට විතරමද..?

අයිතීන් සුරැකිය යුත්තේ මිනිසුන්ගේ විතරමද…?

ලෝකය පුරා ක්‍රියාත්මක වන සත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන මේ ප්‍රශ්නය නිරන්තරයෙන් අසමින් සිටිනවා. නමුත්, කොතෙක් දුරට ප්‍රායෝගිකව මේ සත්ව අයිතීන් ආරක්ෂා වනවාද යන්න ගැටළුවක්.

මේ නිසාම ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමෙ දිනයක් සමත කරගෙන තිබෙන බව ඔබ දන්නවා ඇති. දෙසැම්බර් 10 වැනිදා, එනම් ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දවසේම මෙම සත්ව අයිතීන් සුරැකීමේ දිනයත් යෙදී තිබීම දෛවෝපගත යැයි කිව හැකියි.

 

 

ලෝකය පුරා සිටින සත්වවේදීන් මෙම සත්ව අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි අනවරත අරගලයක නිරත වනවා.සතුන්ටද ඔබට මට මෙන්ම ජීවත් වීමේ අයිතිය තිබෙන බව පිළිගත යුතුයි.

ඔබට මෙන්ම ඔවුන්ටද ආහාර, ජලය සහ වාසස්ථාන සම්බන්ධයෙන් ඇති අයිතියට මිනිසුන් ලෙස අපි ගරු කරනවාද..? මෙය සැබෑම ගැටළුවක්.ලෝකය අයිති මිනිසුන්ට පමණක්ම යැයි සිතා හිතුමනාපයේ සත්ව අයිතීන් උල්ලංඝනය කිරීම ලෝකය පුරා සිදුවන්නක්.

වනාන්තර විනාශ කිරීම, ගිණි තැබීම ආදිය මගින් සෘජු ලෙස සත්ව අයිතීන් උල්ලංඝනය වනවා සේම ආහාර සහ ජල සම්පත් හිඟ වීමට මිනිස් ක්‍රියාකාරකම් බලපෑම මගින් වක්‍ර ලෙස සත්ව අයිතීන් උල්ලංඝනය වනවා.

 

 

සතුන්ට වේදනාව දැනෙන බව, හැඟීම් සහ දැනීම් තිබෙන බව සමහර විට මිනිසුන් වන අපට අමතකව යනවා. නමුත් ඒ සියල්ල මිනිසුන් මෙන්ම සතුන්ටද පොදු කරුණාවන් වනවා.

සතුන් ඔබේ සුරතලුන් ලෙස සිතීම තුළම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බව සත්වවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් ඔබේ සුරතලුන් නොව ලෝකයේ ජීවත් වන ඔබ මෙන්ම සමාන ජීවී කොටසක් ලෙස නැතිනම් සමානයින් ලෙස සලකන ලෙස සත්වවේදීන් යෝජනා කරනවා.

 

මස් පිණිස, ලොම් පිණිස සහ සම් පිණිස සතුන් යොදා ගැනීම ලොකයේ අනාදිමත් කාලයක සිට සිදුවන්නක්. ලෝකයේ මිළ අධික පාරිභෝගික භාණ්ඩ අතරට මේ සත්ව සම් සහ ලොම් මගින් කළ නිෂ්පාදන ඇතුළත් වනවා. මෙය සත්ව අයිතීන් අමු අමුවේම උල්ලංඝනය වීමක් බව ලෝක සත්වවේදීන් පවසනවා.

ඒ වගේම විවිධ සෞඛ්‍යමය අත් හදා බැලීම් සඳහා සතුන් භාවිතා කිරීම තුළ ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම සහ නිදහස සීමා කිරීම කෲර හිංසනයක් බව සත්වවේදීන් සඳහන් කරනවා.

අශ්වාරෝහක සංදර්ශන, සර්කස්, විවිධ විනෝදාත්මක ක්‍රීඩා සහ ආගමික ඇදහිලි වෙනුවෙන් ලෝකය පුරාම විවිධ සංස්කෘතීන්හි සතුන් භාවිතා කරනවා. මේවා සත්ව අයිතීන් උල්ලංඝනය වීම් ලෙස සැළකෙනවා.

මෙවැනි හිංසා කිරීම් සහ අයිතීන් උල්ලංඝනය කිරීම් නවතන ලෙස ලෝක ප්‍රජාවට බල කරමින් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා සත්ව අයිතීන් සුරැකීමේ දිනය ක්‍රියාත්මක වනවා.

එදිනට වීදි බසින සත්ව ලෝලීන් ඉටිපන්දම් දල්වමින්, සටන් පාඨ කියමින්, පුවරු ඔසවමින් සතුන් වෙනුවෙන් හඬ නගනවා. සත්ව ආහාර අනුභවයෙන් වැළකෙමින් නිර්මාංශ වීම මගින්ද ඇතැම් පිරිස් මෙම සටනට එක් වනවා.

PETA නැතිනම් People for the Ethical Treatment of Animals සංවිධානය සෑම වසරකම මේ සත්ව අයිතින් සුරැකීමේ දිනය වෙනුවෙන් ලෝකය පුරා විවිධ වැඩසටහන් සංවිධාන කරනවා. සියළු සත්ව ආහාර වලින් වැළකෙමින් මේ දිනය සැමරීමට එක්වන ලෙස ඔවුන් නිරන්තරයෙන් ජනතාව පොළඹවනවා. එමගින් සතුන් විශාල ප්‍රමාණයක ජීවිත බේරාගැනෙන බව එම සංවිධානය පවසනවා.

කෙසේනමුත් දියුණු ජන සමාජයක් ලෙස මිනිසුන්ට මෙන්ම සතුන්ටද, එක හා සමාන ලෙස ජීවත් වීමේ අයිතිය පවතින බව පිළිගත යුතුයි.
එහෙයින් වගකීම් සහගත පුරවැසියන් ලෙස හැකි සෑම විටම සත්ව අයිතීන් සුරැකෙන පරිදි කටයුතු කිරීම අප සැමගේ වගකීමක්.

තවදුරටත් සතුන් යනු මිනිසුන්ගේ ප්‍රදර්ශන භාණ්ඩ හෝ පරිභෝජන භාණ්ඩ ලෙස නොසිතන, ඔවුන්ද සමාන අයිතිවාසිකම් සහිත තවත් ජීවී ප්‍රභේද ලෙස සිතන ජන සමාජයක් නිර්මාණය වනදාක ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය සැබෑ ලෙසම අර්ථ ගැන්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here