Health & Beauty නිරෝගිමත් පිරිපුන් කෙස් කලඹක් ලබාගැනීමට ක්‍රම 3ක්…

නිරෝගිමත් පිරිපුන් කෙස් කලඹක් ලබාගැනීමට ක්‍රම 3ක්…

2021 Dec 14

කාන්තාවකට හිමි රූ සපුවේ අලංකාරය ඔප්නංවන්නේ ඇයට හිමි වරලසයි.. රූපය ගැන උනන්දු වෙන සෑම කෙනෙකුම කොණ්ඩයටත් අවධානය යොමු කළ යුතුමයි.ඉතාමත් ලස්සන ඝන හිසකෙස් වලින් පිරි වරලසක් හිමි තැනැත්තිය ඕනෑම තැනක කැපී පේනවා.නිරෝගී ලස්සන කොණ්ඩයකට හිමිකම් කියන්නට මොන කාන්තාවද අකමැති නේද? .එහෙත් හිසකෙස් වලට ඇතිවන ගැටළු නිසාම කොණ්ඩයේ තිබෙන ආකර්ෂණීයභාවය හීනවී යන්න පුළුවන් .හිසකෙස් රැකගන්න එක ඒ තරම් ලේසි පහසු වැඩක් නොවන බව අපි හැමෝම දන්නවා .විශේෂයෙන්ම තරමක් දිග කොණ්ඩයක් තියෙන යුවතියන්ට හිසකෙස් ගැටලු නැතුව වුණත් තමන්ගේ කොණ්ඩය පරිස්සම් කරගන්න තරමක් වෙහෙස මහන්සියක් දරන්න සිදුවෙනවා .මෙසේ හිසකෙස් ආශ්‍රිත බොහෝ ගැටලු ස්වාභාවික සත්කාර වලින් නිරාකරණය කරගත හැකියි. හිසකෙස් අලංකරණයට මුළුතැන්ගෙයින් මෙන්ම ගෙවත්තෙන් ද වස විස නැති, අතුරු ආබාධ නැති ස්වාභාවික අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගන්නට හැකි වුවද වර්තමානයේ දී කාන්තාවන් මෙම ක්‍රම වලින් ඈත් වී සිටිනු දක්නට ලැබෙනවා. ස්වභාවිකවම හිසකෙස් පෝෂණය කර අලංකාර කරන සත්කාර ක්‍රම අනුගමනය කර සුන්දර නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට උනන්දු වීමෙන් දිගු කාලීනව ස්වාභාවික සුන්දරත්වයක් හිසකෙස් වලට ලබා ගැනීමට හැකිවෙනවා.

 

 

තුනී බවෙන් තොර කෙස් කළඹකට උළුහාල් සත්කාරය…

උළුහාල් කියන්නේ ගෙදරදීම සාදාගත හැකි අත් බෙහෙතක්. ඔබට තියෙන්නෙ තුනී කොණ්ඩයක් නම් එහෙමත් නැත්තම් ඉක්මනින් කැඩෙන කොණ්ඩයක් නම් මේ ප්‍රශ්න වලට උළුහාල්වලින් ඉතාමත් ගුණදායක සහ හිතකර සත්කාරයන් කළ හැකියි . මුලින්ම උළුහාල් hairspray එකක් විදියට භාවිතා කරන්න පුළුවන් ආකාරයට සාදා ගත යුතුයි .

 

 

සාදාගන්නා ආකාරය

කුඩා භාජනයක් ගෙන එයට උළුහාල් දමා ඉන්පසු වතුර දමන්න. රැයක් පුරා පෙගෙන්නට ඉඩ හරින්න. ඊළඟ දවසේ උළුහාල් පෙඟුන වතුර විතරක් spray එකකට දමා කොණ්ඩය shampoo කරාට පස්සේ conditioner එකක් විදිහට කොණ්ඩෙට ස්ප්‍රේ කරන්න .එසේ ස්ප්‍රේ කර විනාඩි දහයක් පමණ කොණ්ඩය හොඳින් සම්භාහනය කරගන්න .පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට තුන් පාරක් පමණ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි .

කොණ්ඩය වැවීමේ වේගය දෙගුණ කරගන්න පුළුවන් කරපිංචා සත්කාරය

 

 

කරපිංචා වල අඩංගු පෝෂණය නිවැරදිව කොණ්ඩයට ලබා දීමෙන් අපේ කෙස්ගස් වර්ධනය වන වේගය වැඩි කරන්න හැකියාව තිබෙනවා.

කරපිංචා සත්කාරය සාදාගන්නා ආකාරය

කරපිංචා කොළ 20 ක ප්‍රමාණයක්

උළුහාල් මේස හැඳි එකක්

නෙල්ලි ගෙඩියක මදය කොටස පමණක්

මෙම සියල්ල තලපයක් වනතුරු හොඳින් කොටාගන්න. පසුව හිස්කබල පුරාම තුනීයට මෙම තලපය ආලේප කරගන්න. විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර වතුරෙන් පමණක් සෝදා හරින්න. සතියට දෙවතාවක් තුන් වතාවක් වගේ මාසයක් පමණ මෙම සත්කාරය කිරීමෙන් පැහැදිලි වෙනසක් දැකගත හැකි වේ.

නළල ආසන්නයේ හිසකෙස් ගැලවී යාම නවතාලීමට ඔලිව් තෙල්

 

 

නළල අවට හිසකෙස් වැටී යාමෙන් කාන්තාවන් බොහෝ අපහසුතාවන්ට පත් වෙනවා. එසේ වැටී යන හිසකෙස් නැවත වර්ධනය කරගන්න ඔලිව් තෙල් සත්කාරය සතියකට තුන් වතාවක් පමණ භාවිතා කරන්න.

ඔලිව් තෙල් සත්කාරය සාදාගන්නා ආකාරය

ඔලිව් තෙල් මේස හැඳි දෙකක් ගෙන එය සුළු වේලාවක් රත්කර ගන්න . රත් කරගත් ඔලිව් තෙල් නළල ආශ්‍රිත හිසකෙස්වල ගා හොඳින් සම්භාහනය කර ගන්න. පසුව විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර ඉතිරි වූ තෙල් යළිත් හිසේ තවරා විනාඩි පහළවක් තබන්න. ඉන්පසු සල්ෆෙට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් දමා ඇල් ජලයෙන් සෝදා හරින්න.

ඔබත් කොණ්ඩයට ආදරය කරනවා නම් ඒ වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කරගෙන මෙම සත්කාරයන් කිරීම සිදුකරන්න. අපි කොණ්ඩයට ආදරේ කරන තරමටම කොණ්ඩය ලස්සනට වගේම නිරෝගීව තබා ගන්නට හැකි වෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි

මන්දාකිනි පතිරණ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here