Health & Beauty ස්වභාවික රුව රකින්න හොඳම ඖෂධය මීපැණි …

ස්වභාවික රුව රකින්න හොඳම ඖෂධය මීපැණි …

2022 Jan 2

ලස්සනට ඉන්න, පැහැපත් සමක් ලබාගන්න අකමැති කවුද..? ඕනම කෙනෙක් කැමති තමන් වඩාත් සුන්දරව පිටතට පෙන්වන්න. ලස්සනයි කියන සාධකය සාපේක්ෂ දෙයක් කියන එක ඇත්තක් වුනත්, ඕනෑම පුද්ගලයකුට ආවේණික සුන්දරත්වයක් තිබෙනවා. ඒ සුන්දරත්වය නිසි ලෙසින් පවත්වාගෙන යෑම ගැනයි අපි මේ තොරතුරු ගෙන එන්නේ.

සුන්දරත්වය රැකගැනීමේ ක්‍රියාවලියේදී කොටස් ගණනාවක් තිබෙනවා. පිටතට ඔබව පෙනෙන ආකාරය, ඒ කියන්නෙ ඔබේ භාහිර රූපය කියන්නෙ ඉන් එකක් පමණයි. නමුත් ඔබව දකින ඕනෑම කෙනෙක් මුලින්ම නිරීක්ෂණය කරන්නෙත් මේ පිටතින් දකින රූපය වන නිසාම අපි ඒ ගැන සැළකිලිමත් විය යුතුයි.

එදිනෙදා ජීවිතයේ අපි පාවිච්චි කරන, නිවසේ නිතරම වගේ තිබෙන දෙයක් ඔබේ රුව රැකගැනීමට භාවිතා කරන ආකාරය ගැන අද gasma.lk මගින් ඔබව දැනුවත් කරන්න අපි අදහස් කළා.

 

මොකක්ද මේ රහස් ඖෂධය..?

 

සරළව කිවුවොත් මේක රහසක් නොවෙයි. අපි ඉතා හොඳින් දන්නා මීපැණි ගැනයි අපි මේ කතා කරන්න යන්නෙ. නමුත් මීපැණි මගින් කළහැකි රුව රැකගැනීමේ මැජික් එක ඔබට රහසක් වූවාට සැක නැහැ.

අපේ සම දිනපතා අපවිත්‍ර වනවා. විශේෂයෙන්ම සමේ මැරුණු සෛල සම මතම තැම්පත්ව තිබීම සහ පිටතින් සම මත රැඳෙන කුණු දූවිලි හේතුවෙනුත් මෙලෙස සම අපවිත්‍ර විය හැකියි. ඔබ පාවිච්චි කරන සබන් හෝ Facewash භාවිතා කිරීම මගින් මුහුණ සේදීමෙන් පමණක් ඔබේ සම පිරිසිදු වන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔබ සම හොඳින් Clenser කළ යුතුයි. මීපැණි කියන ස්වභාවික ඖෂධය වැදගත් වන්නෙ එතැනදීයි. මීපැණි ඔබේ සම මත ස්වභාවික ක්ලෙන්සර් එකක් ලෙස ක්‍රියා කරන බව ඔබ බොහෝවිට නොදැන සිටියා විය හැකියි. නමුත් නිතරම ඔබේ නිවසේ තිබෙන මේ මී පැණි භාවිතයෙන් ඔබට ඔබේ සම සම්බන්ධයෙන් තිබෙන ගැටළු රැසක් විසඳා ගැනීමට හැකියාව තිබෙන බව ඇසුවොත් පුදුම වේවි.

 

 

මීපැණි මගින් සමට කෙරෙන ප්‍රතිකාර මොනවාද…?

 

මුහුණ සේදීමට ඔබ විවිධ අලේපන වර්ග භාවිතා කරනවා නේද..? නමුත් ඒවා 100% ස්වභාවිකද සහ සමට හිතකරද කියන කාරණය ගැටළුවක්. නමුත් මිපැණි කියන්නෙ අතිශය ස්වභාවික වගේම ඖෂධීය ගුණ සහිත දෙයක්. අනිකුත් සියළු ක්‍රම අතරේත් සතියකට වරක් හෝ දෙවරක් මීපැණි යොදා මුහුණ සෝදන්න. වඩාත් සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

 

 

 

ඒ වගේම තක්කාලි කියන්නෙ කෑමට ගන්නවා තරම්ම රුව රැක ගැනිමේ ක්‍රම වෙනුවෙනුත් පාවිච්චි කළ හැකි දෙයක්.මී පැණි සහ තක්කාලි එකට ගෙන අඹරා ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් ආලේප කර තබා ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි, දීප්තිමත් සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

 

 

 

 

අපි කලින් සඳහන් කළා වගේම කිසිවක්ම මිශ්‍ර නොකරන ලද මී පැණි කියන්නෙ ඉතා වටිනා ඖෂධයක්. එලෙස මීපැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබාදී සම වියළි සහ ඉරිතැළුණු ස්වභාවයට පත්වීම වළක්වනු ඇති.

රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණ පිරිසිදු කර මී පැණි ස්වල්පයක් ආලේප කරන්න.මිනිත්තු 15කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා දමන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

 

 

 

රෝස වතුර කියන්නෙත් අතීතයේ පටන් ස්වභාවිකව රුව රැකගැනීමේ ප්‍රතිකාර වලට භාවිතා කළ දෙයක්. මී පැණි කෝප්ප ¼ කට රෝස වතුර හැඳි තුනක් පමණ දමා හොඳින් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට ඔබට හැකිවනු ඇති.

 

 

 

 

 

මීපැණි මේස හැන්දකට යෝගට් මෙස හැඳි 2,3ක් මිශ්‍ර කර හොඳින් කළවම් කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමේ වියපත් අවපැහැ ස්වභාවය නැතිවී ගොස් වඩා දීප්තිමත් සමක් ලබාගැනීමට ඔබට හැකිවේවි.

සම සඳහා විතරක්ම නෙමෙයි. මේ වටිනා ඖෂධය ඔබේ හිසකෙස් වලටත් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකියි.

ඔබේ හිස කෙස් සේදූ පසු conditioner එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න. සිනිඳු හා දිදුලන කෙස් කළඹක් ලබාගැනීමට මේ ප්‍රතිකාරය වැදගත් වනු ඇති.

 

 

 

 

මී පැණි සහ ඔලිව් තෙල් සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍රණයක් සකස් කරගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු හොඳින් සෝදා හරින්න. හිස කෙස් සවිමත් වීමට මෙය උපකාරී වේවි.

ඔබේ නිවසේ නිතරම සොයාගත හැකි මීපැණි වලින් ඔබේ පිටත පෙණුම කෙතරම් වෙනස් කරගත හැකිදැයි ඔබට අදහසක් ලැබෙන්නට ඇති. අපි අවට පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය භාවිතා කරමින් ස්වභාවිකවම රූපය රැකගැනීම කළ හැකියි. ඒ වගේම එමගින් අතුරු ආබාධ ආසාදන වැනි කිසිවකින් ඔබට කරදර වන්නේත් නැහැ. අනවශ්‍ය වියදම් වගේම අවදානමිනුත් වළකිමින් හැකි තරම් ස්වභාවික ක්‍රම අනුගමනය කරන්න යැයි අපි ඔබට යෝජනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here