හතර වටෙන් ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?

ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?

2024 Aug 9

ඔබේ සීයා ඔබේ නිවසින් උදෑසන කෑම ගෙන ටික වේලාවකින් පාර පුරා “මගේ දරුවන් මට කෑම දෙන්නේ නැතැයි” කියමින් ඇවිද යන අවස්ථාවක් සිතන්න. ඔබ ඉන් පත්වෙන අපහසුතාවය , අවට නිවැසියන් පත් වෙන අපහසුතාවය සිතන්න . නමුත් අප ජීවත් වෙන මෙම සමාජය තුල ඩිමෙන්ෂියා තත්වය මත ඇතිවන චර්‍යාත්මක වෙනස්කම් අප දැනුවත් නම් වර්තමාන සමාජය තුල රිදවීම් වලට, විදවීම් වලට ලක්වන බොහෝ පිරිස් ඉන් මුදවා ගත හැකි වනු ඇත.

 

 

 

 

ඩිමෙන්ෂියා යනු සංජානන ක්‍රියාකාරීත්වයට බලපාන සහ වසර ගණනාවක් තිස්සේ මොළයේ ක්‍රියාකාරීත්වයේ අඛණ්ඩ අඩුවීමක් ඇති කරන තත්ත්වයකි. මෙය රෝග සමූහයක් ලෙස හඳුන්වා දිය හැක. ඩිමෙන්ෂියා තුළ විවිධ වර්ග දක්නට ලැබෙන අතර ඇල්සයිම රෝගය ( Alzheimer disease ) යනු ඩිමෙන්ෂියාවේ වඩාත් සුලබ වර්ගයයි. එම නිසාවෙන් ඩිමෙන්ෂියා සඳහා නිර්ණය කරන ප්‍රතිකාර හා ඖෂධ බොහෝමයක් මෙම ඇල්සයිම රෝගය වටා කේන්ද්‍රගතව පවතී. මෙම ඩිමෙන්ෂියා රෝගයේ ප්‍රධාන ලක්ෂණය ලෙස අමතක වීම ( memory loss ) හඳුන්වා දිය හැක. එම නිසාවෙන් මෙය අමතක වීමේ රෝගය (memory disorder ) ලෙසද සමහරු හඳුන්වනු ලබයි. තවද මෙම රෝගය සුව කිරීමට වඩාත් අපහසු රෝගයක් ලෙසද හැඳින්වේ. ඩිමෙන්ෂියා යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් ලෙස දැක්විය හැක. මතකය (memory ), හේතු දැක්වීම (reasoning ) සහ සිතීමේ හැකියාව (thinking ability )අහිමිවීම වැනි තත්ව එයට අයත් වෙයි.

 

ඩිමෙන්ෂියා රෝගය සෑදීමට ප්‍රධාන වශයෙන් ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease )හේතුවන අතර ඊට අමතරව පාකින්සන් රෝගය (Parkinson disease ) , දරුණු හිසේ තුවාලයන් සහ පවුලේ ඉතිහාසය වැනි හේතූන්ද විය හැක. තවදුරටත් දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සේම අධික ලෙස ඖෂධ ලබා ගැනීමද හේතු විය හැක. සමාජය තුළ අන්කවර රෝගී තත්ත්වයකට වුවද ලැබෙන අවධානය ඩිමෙන්ෂියා වෙත නොලැබී යන්නේ බොහෝ දෙනා එය වයස්ගත වූ විට සෑදෙන රෝගයක් ලෙස සලකා පසෙක ලා තිබීම නිසාය. නමුත් ඩිමෙන්ෂියා ආරම්භ වන්නේ සති දෙක තුනක් වැනි කුඩා කලක සිට නොව එය දශක දෙක තුනක් පමණ කාලයක් පුරාවට වර්ධනය වෙමින් යා හැක. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් හට ගන්නේ අවුරුදු 65 කට වැඩි පුද්ගලයන්ට වුවද සුළු වශයෙන් එය අවුරුදු 40 ත් 50 ත් අතර වයස් කාණ්ඩ වල සිටින පුද්ගලයන්ටද හටගත හැක .

 

ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ දැනුවත් වීමටත් එවන් රෝගියෙක් තමා සමීපයේ සිටින විට ඔවුන්ව රැකබලා ගත යුත්තේ කුමන ආකාරයකින් ද යන්නත් දැනුවත් වීමට ඉතා පහසුවෙන් ම ළඟාවිය හැකි වෙබ් අඩවි කිහිපයක් ලෙස The Alzheimer’s Association ( www.alz.org ) , The National Institute on Aging ( www.nia.nih.gov ) ,Dementia UK ( www.dementiaUK.org ) , The world health organization (www.who.int) හැඳින්විය හැක.

 

 

 

 

ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය නිසා රෝගියාට තමා සිටින ස්ථානය, කාලය ආදිය ද අමතක වී යයි. සන්නිවේදන දුර්වලතා , එදිනෙදා වැඩ කටයුතු තනිව කර ගැනීමේ අපහසුතා මෙන්ම එකම දේ නැවත නැවත සිදුකිරීම හෝ පැවසීම විය හැක. අර්ථ විරහිත කතාබහ පවුලේ සාමාජිකයන් පවා හඳුනා ගැනීමට නොහැකිවීම මැවී පෙනෙන රූප මෙන්ම අන් අයට නොඇසෙන ශබ්ද ඇසීමද සිදුවිය හැක. මෙම රෝගී තත්ත්වයේදී රෝගියාටත් වඩා ඔවුන් සමග සිටින සමීපතමයන් වඩාත් සංවේදී සහ දැනුවත් භාවයකින් යුක්තවීම අතිශය වැදගත් වෙයි.

 

ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව වර්තමානයේ පෙරට වඩා වැඩි අවධානයක් යොමු වී තිබීම සාධනීය කරුණකි. නමුත් ඊට හේතු වී ඇත්තේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයයි. සම්පූර්ණයෙන්ම සුව කොට අවසන් කළ නොහැකි රෝගයක් වන මෙම රෝගය පාලනය කර ගත හැකි ආකාරය පිළිබඳ මේ වන විට අවධානය යොමුවෙමින් පවතී. වයසට යන විට අමතක වීම සාමාන්‍ය කරුණක් ලෙස සලකා මෙම රෝගය නොසලකා සිටියහොත් පාලනය කර ගත නොහැකි තරමටම රෝගය වර්ධනය විය හැක. එම නිසා අනිත් රෝග වලට මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට ද සමාජය තුළ කථිකාවතක් ඇතිවීම අතිශය වැදගත් වෙයි.

 

හිරුණි හසන්ගා නානායක්කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here