හතර වටෙන් Covid-19 වසංගතය සමග සුන්දර නුවරඑළිය අද සහ එදා…

Covid-19 වසංගතය සමග සුන්දර නුවරඑළිය අද සහ එදා…

2020 May 1

අප්‍රේල් මාසය තරම් “පුංචි එංගලන්තය” නැරඹීමට නම් තව හොඳ කාලයක් නෑ. ශීත කාලගුණය , විස්මය දනවන වටපිටාව තමයි ඒකට හේතුව. මෙහෙට ආවොත් පවුලක් විදිහට දිය ඇලි නරඹන්න , ගොල්ෆ් ක්‍රීඩා කරන්න, ස්ටෝබරි ආහාරයට ගන්න , අශ්වයන් පද්දන්න , නැවුම් තේ පානය කරලා අලුත් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. හැබැයි කොරොනා වෛරසය පැතිරීමත් සමග ම මේ අවුරුද්දෙ දේවල් ටිකක් වෙනස් වෙලා. නුවරඑළියත් ලෝකයේ අනිත් තැන් වගේ නිසොල්මන් වෙලා. ග්‍රෙගරි විල පාලුවට ගිහින්, ග්‍රන්ඩ් හෝටලයෙන් කෑම කමින් ඉන්න අය වත් , වතුයායේ දී උණුසුම් තේ කෝප්පයක් එක්ක චොකලට් කේක් කෑල්ලක් කමින් ඉන්න කවුරුවත් දැන් දකින්න නෑ. බලන්න පහත පින්තුර පෙළෙන් ඒ කාලේයි, දැනුයි වෙනස පැහැදිලිව පේනවා.

වෙනදා අප්‍රේල් කාලේ හැම උදෑසනක්ම හරි නිසංසලයි, ලස්සනයි. දහවල් වෙද්දි ඉර පායලා තිබුණට සීතලයි. නගරයේ වාහන තදබදයත් ගොඩක් වැඩියි. පාර දෙපැත්තෙ පොඩි පොඩි කඩ ඇරලා තියෙනවා. සීත දවස්වල දී තමන්ගේ ඇඟ උණුසුම්ව තියාගන්න අවශ්‍ය කෑම බීම,ඇඳුම් පැලඳුම් මේවා වලින් අරගන්නත් පුළුවන්. මේ පළාතේ ජනයාගේ තියෙන අව්‍යාජ සිනහව සහ සත්කාරක දෑත් නිසා ශ්‍රී ලංකාවේ උණුසුම් පළාත් තුළ ජීවත්ව සිටින ජනතාවට සීතල නුවරඑළිය කියන්නේ තමන්ගෙම නිවහන වගේ .වෙනද නම් නගර හිස්වෙන්නෙ කලාතුරකින් මොකද මිනිස්සු කෑමට අවශ්‍ය මස්, මාළු වර්ග කරවල වගේ අනෙකුත් අවශ්‍යතාවයන් මිලදී ගන්න නිතරම වගේ කඩවල් වලට එනවා. ඒ වගේ ම දෙස් විදෙස් සංචාරකයින් තම ලැගුම්හල්වලට යන්න කලින් නගරේ පුරාම සැරිසරනවා. හැබැයි වෙනද වගේ නෙමෙයි, කෝවිඩ් වයිරසයේ බලපෑමත් එක්ක දේවල් ගොඩක් වෙනස්වෙලා .ඉස්සර වගේම ස්වභාවදහම ගොඩක් ලස්සන වුණත් වීදි වල සෙනග කවුරුත් නැහැ, කඩමණ්ඩි වහලා දාලා, සංචාරකයින් වගේම පාරවල් වල කිසිම වාහනයක් දකින්න නැහැ.

 

 

1873 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිගේ කාලය තුළ ඉදිකරන ලද ග්‍රෙගරි විල, නුවර එලියේ සුවිශේෂී ස්ථාන වලින් එකක්. සෑම අවුරුද්දකම අප්‍රේල් පළවෙනිදා, විල අසබඩ ඇති අලංකාර උද්‍යානයේ “සැළලිහිණි වසන්තය” නමින් විශාල උත්සවයක් සංවිධානය කරනවා. දහස් ගණන් ජනයා මීට සහභාගි වෙනවා. විවිධ ක්‍රීඩා, ක්‍රියාකාරකම් වගේම ත්‍රාසජනක අත්දැකීම් වලින් උත්සවය අලංකාර වී තිබීම මේකට හේතුව. නමුත් දැන් විල ලග ඇති උද්‍යානයේ සතුටු සාමිචියේ හඩවල් වෙනුවට සුළං හඩ පමණක් ඉතුරි වී,වෙනදා විලේ බෝට්ටු මගින් නැගෙන රළ බිඳීම් හඬ වෙනුවට විල නිසොල්මන්ව ගිමන් හරින හැඩයි.

 

 

නුවර එළියට එන සංචාරකයින් සංචාරය කරන තවත් ජනප්‍රියම තැනක් තමයි වික්ටෝරියා උයන. මේ උයනට හැම අවුරුද්දකම අප්‍රේල් මාසයේ සංචාරකයින් සිය ගණන් ,සමහර කාලවල් වල දහස් ගණන් එනවා .මෙහෙම සංචාරකයින්ව ආකර්ෂණය කර ගන්න කුරුලු උයන් වලටයි වසන්ත කාලයේ පිපෙන ලස්සන මල් වලටයි පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ උයනේ අන්තිමට වෙන්න ළමා ක්‍රීඩාංගණයක් තියෙනවා .එහි කෝච්චි සෙල්ලම් කිරීමට බොහෝ සංචාරක දරුවන් පුරුදු වෙලා තියෙනවා.හැබැයි වෙන අවුරුදු වගේ නෙමෙයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ වික්ටෝරියා උයනත් හරිම වෙනස් .

 

 


නුවරඑළියට එන සංචාරකයින්ගේ සිත් ඇද බැද ගන්නා තවත් සිද්ධියක් තමයි අශ්ව තරග .වර්ෂ 1800 ඉදන් අද වෙනකන් නුවරඑළිය, අශ්ව තරග වලට නිවහන කිව්වොත් නිවැරදියි .නුවරඑළියේ තියෙන මේ තුරග පිට්ටනිය හැම කෙනෙක්ගෙම පෞද්ගලික මතකයක් . ඒකට හේතුව හුඟක් අය අසු පිට නැගපු මුල්ම අත්දැකීම ලබලා තියෙන්නේ මෙතන වීමයි. නුවරඑළියේ අනිත් සංචාරක තැන් වගේම තුරඟ පිට්ටනියත් අද පාළුවට ගිහිල්ලා කාවුරුත් දකින්න නෑ .අවුරුදු ගාණක් පුරාවට දහස් ගණන් රැස්වී අශ්ව තරග නැරඹු මේ පිට්ටනිය අද නිසොල්මන්.

 

 


නුවරඑළියට සංචාරය කරන්න එන සංචාරකයන්ට අමතක නොවෙන නැවතුමක් තමයි අඹේවෙල – නිල් තණකොළ කඳු යාය කින් සමන්විත අඹේවෙල පිරිසිදු ගවයින්ගේ ලැගුම් හල .නුවරඑළියට පැමිණෙන බොහෝ සංචාරකයින් මේ නිල් තණ ගොඩබිම්වල සිසිලස විඳිමින් නැවුම් කිරි ,යෝගට් ,චීස් වැනි ආහාරවල රස විඳිමට ද අමතක කරන්නේ නැහැ.

 

අඹේවෙලට යන මාර්ගය දෙපස කඩවල් වල තිබෙන නැවුම් ස්ට්‍රෝබෙරි රසැති සිරප්, පෑන් කේක් සහ අයිස්ක්‍රීම් සංචාරකයින්ගේ ප්‍රණීත ආහාර යි .ඒත් අද වෙද්දි මේ හැම කඩයක් ම වහලා පාළුවට තිබෙනවා අපිට දකින්න පුළුවන් .

 

මේ වසන්ත කාලයේ නුවරඑළියේ ග්‍රෙගරි වැව වටේ සංචාරය කරමින් එහි සුන්දරත්වය විඳින්න අපිට නොහැකි වුනත් ,වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තත්ත්වය මැඬලීමට ඉදිරි පෙළේ සිට ගනිමින් ශ්‍රී ලාංකික අප සියලු දෙනා සුරක්ෂිත කිරීමට සහ ලංකාවට නැවත වසන්තය ගෙන ඒමට වෙර දරන සියලු ප්‍රධානීන්ට අපි ස්තුතිවන්ත වෙමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here