හතර වටෙන් වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…

වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…

2020 Apr 30

මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩු. අපේ ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම වකුගඩු යුගලය පිහිටා තිබෙනවා. මුත්‍ර නිපදවීම,අපද්‍රව්‍ය කොටස්, විෂ රසායනික සහ වැඩිපුර ජලය බැහැර කිරීම, ශරීරයේ ජලීය සහ ලවණ පදාර්ථවල සමතුලිතතාවය රැකගැනීම,රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම, විටමින් D නිපදවීමට දායකවීම සහ එමඟින් අස්ථි ශක්තිමත් කිරීම, රුධිර සෛල නිපදවීමට දායක වීම තමයි නිරෝගී වකුගඩුවල කාර්යභාරය. මේ වනකොට ශ්‍රි ලංකාව තුළ වකුගඩු රෝගීන් බොහොමයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ. රජය විසින් මෙම රෝගීන්ගේ සුවය සදහා ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරනවා. නමුත් අපිට පුළුවන් මේ තත්ත්වය ඇති නොවෙන්න වග බලාගන්න . ගැස්ම විසින් අද කියලා දෙනවා ඔයාගේ වකුගඩු දෙක පරිස්සම් කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා .

 

 

1. පිරිසිදු ජලය පානය කරන්න

කිවුල වැඩි, බැරලෝහ මිශ්‍ර ජලය පානය නිසා බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් වෙනවා. ඒ විතරක් නෙවේ, ජලය පානය නොකිරීම නිසාම වකුගඩුවල ගල් ඇතිවෙන්න පුළුවන්. වැඩුණු පුද්ගලයෙකුට දිනකට ලීටර් 3ක් පමණ ජලය බොන්න අවශ්‍යයි. ඊට අමතරව නිවසින් බැහැර වෙන හැම වෙලේම වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙන්න. වකුගඩු හරියට වැඩකරන්න ජලය අවශ්‍යයි.

 

 

2. රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න

 

දියවැඩියාව නිසා වකුගඩුවලට ක්‍රියාකාරීත්වය අඩපන කරනවා. දියවැඩියාවෙ දී රුධිර කේශ නාලිකාවලට හානි සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට වකුගඩුවල තියෙන රුධිර කේශ නාලිකාවලටත් හානි වෙනවා. එතනදි හරියට මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. පෙරෙන්නේ නැතුව ඉතිරි වුණ තරල සහ ලවණ නිසා තරබාරු වෙන්න පුළුවන්. වැඩි කාලයක් මේවා රැඳී පැවතීම නිසා වකුගඩුවලට බලපෑමක් ඇති වෙනවා.

 

 

3. දුම්බීම සහ මත්පැන් පානය නවත්වන්න

දුම්බීමෙන් වෙන්න පුළුවන් නරකම දේවල් විදියට අපි අහලා තියෙන්නේ පෙනහැල්ල ආශ්‍රිත පිළිකා සහ මුඛ පිළිකා. ඒත් දුම්බීම නිසා වකුගඩුවලත් පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මත්පැන් පානය කිරීමෙන් වැළකුණාම රුධිර පීඩනය වැඩි වීමට ඇති ප්‍රවණතාව අඩු වෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළීමේ අවදානම නැති වෙනවා. නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ඇඟ ඇතුළේ තිබුණ වකුගඩු අකර්මණ්‍යතාව.

 

 

4. ව්‍යායාම කරනන්

සරල ව්‍යායාම තුළිනුත් වකුගඩු අවුල් යන්න නොදී බේරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෘදයාබාධ නිසා තමයි නිදන්ගත වකුගඩු රෝගීන් සමහරක් දුක් විඳින්නේ. ව්‍යායාම කරාම ඒ තත්ත්වය මග හැරෙනවා. ඊට අමතරව සිහින් සිරුරක් තිබීමත් වකුගඩු මනා ලෙස ක්‍රියාත්මක වීමට හේතුවක්.

 

 

5. පෝෂ්‍යදායී ආහාර වර්ග අනුභව කිරීම

අධික ලුණු භාවිතය වකුගඩු රෝගවලට කරන අත වැනීමක්. ලෙඩේ හැදෙන්න කලින් ලුණු මද වශයෙන් හරි භාවිත කරන්න පුළුවන්. ඒත් ඕක හැදුණම කොහොමවත් ලුණු භාවිතා කරන්න බැරි වෙනවා . කාබනේටඩ් බීම වර්ගත් පානය කරන්න එපා. අධික තෙලි සහිත කෑම කන්න එපා. වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා, කැකිරි, රාබු වගේ එළවලු. ඊට අමතරව දියර ගතිය වැඩි කොමඩු වගේ පළතුරුත් කොළකැඳ පානයත් වකුගඩුවලට හොඳයි.

 

 

6. ප්‍රමාණවත් නින්ද සහ විවේකය ලබාගන්න

හරිහැටි නිදාගන්නේ නැති වුණාමත්, විවේකය නැතුව වැඩ කිරීමෙන් ඇතිවන ආතතිය නිසාත් මිනිස්සු මහත් වෙනවා . තරබාරුව කෙලින්ම වකුගඩු රෝගය එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මානසික වශයෙන් නිදහස වකුගඩු රෝගවලින් වැළකෙන්න අවශ්‍ය කරනවා.

 

 

7. වකුගඩු පරික්ෂාව

වකුගඩු රෝගය තිබුණ, තියන, එහෙමත් නැත්නම් ඒ නිසා මියගිය කවුරුහරි පවුලේ හිටියා නම් ළඟම වෛද්‍යවරයා වෙත යොමුවන්න අවශ්‍යයි . ඊට අමතරව වකුගඩු රෝගය උත්සන්න පරිසරයක ජීවත් වෙනවා නම් ඒත් වෛද්‍ය සහාය සහ උපදෙස් ලබාගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here