හතර වටෙන් ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…මේ අමාලිගේ කතාවයි – 02

ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…මේ අමාලිගේ කතාවයි – 02

2020 Apr 29

කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඉටුවෙනවා කියන්නෙ හිතට මොන තරම් සන්තෝසයක්ද..? අමාලිත් කාලෙක ඉඳන් හිතේ තියාගෙන හිටපු බලාපොරොත්තුව ඉටුවුණ සතුටින් තමයි ඉන්නෙ. ඒ වුණත් ඒ සතුට එක්කම හිතේ දෙගේදියාවක්, පුංචි බයක් අමාලිගෙ හිතට ඇතුල් වුණේ ඉබේටමයි. හේතුව අමාලිගේ බලාපොරොත්තුව ඉටු වුණේ ඒකට තිබුණ හොඳම කාලේ නෙමෙයි නරකම කාලෙදි වීම. අමාලි හැම වෙලාවකම හිතේ චකිතයක් ඇතුවයි ජීවත් වෙන්නෙ.

 

දවසින් දවස ලැබෙන ආරංචි වලින් රටේ තත්වය එතරම් හොඳ නැතිවා වත්දෝ කියන සැකයකුත් අමාලිට ඇති නොවුනාම නොවෙයි. දවසින් දවස කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච රෝගීන් ගණන ඉහළ යනකොට අමාලි ටිකක් විමසිල්ලෙන් හිටියෙ ඒ ආරංචි ලැබෙන ප්‍රදේශ ගැන. කොහොම වුණත් මේ තත්ත්වය කවදා මොන විදිහට ඉවර වෙයිද කියන්න අමාලිට වගේම කිසි කෙනෙකුට අදහසක් නැති වීමත් ගැටළුවක්. අමාලි එකපාරටම ගැස්සුනා. තමන්ට වඩා අවදානමකට මුහුණදෙන මව්වරු ඉන්නව නේද කියන කාරණය අමාලිට එක පාරටම සිහියට ආව නිසයි එයා එකපාරටම තිගස්සුනේ. කලින් දවසේ නැන්දම්මට Midwife මිස්ගෙ Phone Number එක දුන්න සකුන්තලා එයින් එක්කෙනෙක්. සකුන්තලා මාස 6ක විතර ගැබිණියක් නේද කියන එක එක්වරම අමාලිට සිහිපත් වුණා. “කොහොම මේ දේවල් කරගන්නවද දන්නෙ නැහැ, මට නම් ගෙදර නැන්දම්මා වත් ඉන්නවා” අමාලිට එහෙම හිතුනා. සකුන්තලාට කතා කරලා බලන්න ඕන කියල අමාලිට මතක් වුනේ මේ සිතිවිලි එක්කමයි.

 

“හෙලෝ, සකුන්තලා අක්කෙ, අමාලි”

 

“කියන්න නංගි, මමත් මේ නංගිට කෝල් එකක් දෙන්නම කියල හිත හිතා හිටියේ, ඒ වුනාට වෙලාවක් හම්බවුනේ නැහැ, දන්නවනේ ඉතිං ගෙදර තත්ත්වේ”

 

“කමක් නෑ අක්කෙ, කොහොමද දැන් ඔයාට..?”

 

“විශේෂයක් නැහැ නංගි, වෙනද වගේ ඉන්නව. සමීර ගෙදර ඉන්න නිසා මට ටිකක් ලේසියි, ලොකුවට කරදර වෙන්න ඕන නැහැනෙ” සකුන්තලා කියන්නේ හිනාවෙන ගමන්මයි.

 

“අනේ මන්දා අක්කෙ, මේ කරදර කවදා ඉවර වෙයිද මංදා, මට නම් හිතද්දීත් බයයි”

 

“ඒ ගැන නම් ඉතින් කාටවත් කියන්න බැහැ තමයි, හැබැයි නංගි මේක ඉතින් අපට විතරක් නෙමෙයිනෙ, ලෝකෙටම එකපාර සිද්ද වෙච්ච කරදරයක්නේ, කොහොම හරි මේකට මුහුණ දෙන්නම වෙනවා ඉතිං”

 

අක්කට දැන් මාස කීයක්ද..? මට මතක තියෙන්නේ හයක් වගේ”

 

“ඔව් නංගි, දැන් පහක් ඉවරයි තමයි”

 

“අනෙ මංදා, මට නම් තව කල් තියෙනවා, ඒත් අක්කල ගැන හිතද්දීත් මට නම් බයයි, කොහොමද මේ දේවල් කරගන්නේ කියල හිතෙනවා”

 

“බය වෙන්න එපා නංගි, මොනදේ වුණත් උවමනා හැම දේම ඒ විදිහටම සිද්ද වෙනවා”

 

“ඒ කිවුවේ අක්කේ” අමාලි අහුවේම හිතේ තියන ප්‍රශ්න ගොඩක් නිසාමයි.

 

“මම නිතරම Midwife මිස් එක්ක කතා කරනවා, ඒගොල්ලෝ පුරුදු විදිහට් ක්ලිනික් එක තියන්න උත්සාහ කරනවා. හැබැයි වෙනද වගේ නෙමෙයි, දැන් දවසකට ගෙන්නන්නේ පොඩි පිරිසක් විතරයි. කලින් කතා කරලා දිනයක් වෙන් කරගන්න ඕනේ ඒකට, එතකොට එදාට යන්න පුළුවන්”

 

“මමත් කතා කරා අක්කෙ එදාම, මටත් දිනයක් දුන්නා”

 

“ඔව් ඒකනෙ, ඒගොල්ලෝ හුඟක් උත්සාහ කරනවා පුලුවන් උපරිමයෙන් අම්මලට උවමනා වැඩකටයුතු ටික කරන්න, දැන් මට ටෙටනස් ටෝක්සයිඩ් එකේ පළවෙනි දෙවනි ඩෝස් ගන්න තියනවා, මට ඒකට දවසක් දුන්නා. ඒ වගේම එන්න ඕන විදිහ හැම දෙයක්ම කියලා දුන්නා”

 

“කොහොමද එන්න කිවුවේ” අමාලිට හිතේ ප්‍රශ්න ගොඩක් තියනවා විසඳ ගන්න. තමන් මේ හැම දෙකටම සූදානම් වෙන්න ඕන කියන අදහස හැම වෙලාවකම ඇගේ හිතේ තියෙනවා.

 

“මෙහෙමනෙ නංගි, දැන් ඔයා හැමෝටම ආණ්ඩුවෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් දීල තියනව වගේ COVID-19 වෛරසය අසාදනය නොවෙන්න කරන්න දේවල් ටිකක් තියෙනවනේ, මට කිවුවේම මොනම හේතුවකටවත් එලියට නොගිහින් ඉන්න, ක්ලිනික් දවසට එන එක විතරක් කරන්න කියල. ඒකත් මාස්ක් එකක් දාගෙන එන්න කිවුවා. ඒ ආවත් නිතර සබන් දාල අත් සෝදන්න කිවුවා. සබන් වලින් හොඳට අත් හේදිමෙන් විතරලු ඒ වෛරසය විනාශ වෙන්නෙ. අපි නිතර මුහුණ, කට අල්ලන නිසා අත් නිතරම හෝදන්න කිවුවා. ගෙදර හිටියත් විනාඩි 20කට සැරයක් වත් සබන් දාල අත් සෝදන්න කිවුවා, ඒ වගේම එලියට ඇවිත් ගියපු ගමන් හොඳට සබන් දාල ඇඳපු ඇඳුම් හෝදන්න, ගෙනියපු බෑග් පවා පැය කීපයක් එළියේ තියන්න, නාගෙන ගෙදරට යන්න ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කියල දුන්නා”

 

“කෑම බීම ගැනත් මොනවහරි තියෙනවද අක්කෙ”

 

“ඔව්, මිස් කිවුවේ සීතල කෑම වර්ග කන්න එපා කියල. පුළුවන් තරම් ඇග උණුසුම්ව තියාගන්න එක වැදගත්ලු. විශේෂයෙන් සාමාන්‍ය හෙම්බිරිසාවක් වත් නොහදෙන්න මේ ටිකේ පරිස්සම් වෙන්න කිවුවා”

 

“අනෙ මන්දා අක්කෙ, වෙලාවකට හිතද්දී හිතට බයයි”

 

“ඒක හරි, ඒ වුණාට ඉතිං මොනවා කරන්නද..? අපි කොහොමහරි මේකෙන් ගැලවෙන්න පරිස්සම් වෙන්න එපැයි. නංගිට මතකද මාත් එක්ක ඉස්සර ක්ලිනික් ගියපු සමන්තිව”

 

“ඔව්, මම සමන්ති අක්කව දන්නවා, අපේ ඉස්කෝලෙනේ”

 

“ආ ඔව්, මට අමතක වුණා, සමන්තිට දැන් මාස අටක්නෙ, ඉතින් හිතන්නකෝ එයා කොහොම බයවෙලා ඇත්ද..? හැබැයි මිස් නිතරම කතා කරලා ඕන කරන ඔක්කොම කියල දෙනවා කිවුවා, එයාට පොඩි ප්‍රශ්නයක් තිබුණනෙ, ප්‍රෙෂර් වැඩිවෙලා එයාගෙ. ඉතින් කොහොමත් ඒවගේ අයට, හෘද රෝග තියන අයට, දියවැඩියාව තියන අයට, විශේෂයෙන් උපදෙස් දෙනවා. දැනුවත් කරනවා, එයාලට වෙනමම ක්ලිනික් දවස් දාල උවමනා උපදෙස් දීල තියෙනවා”

 

“එහෙනම් සමන්ති අක්ක බයෙන් ඉන්නවා ඇත්තේ, ඔක්කොමත් හරි තව අසනීපත් වුණාම” අමාලිට කියවුනේ ඉබේටම. තමන් බයවුනේ බොරුවට නේද කියලත් අමලිට හිතුනේ මේ අය ගැන විස්තර අහද්දියි.

 

“ඔව් එයත් මුලින් බයවෙලා හිටියේ, දැන් නම් ප්‍රශ්නයක් නැහැ, සති 32 පහුවුණ ගමන් බබාගේ දැඟලීම ගැන අවදානයෙන් ඉඳල සටහනක් තියාගන්න කියල කිවුවා. ඉතින් ඒ දේවල් හරියටම කරනවා. ඒ අතරේ ඔලුව කැක්කුම, ඔක්කාරය, වමනය, ඉදිමුම, උණගතිය, දියරයක් ගලන එක වගේ දේවල් තියේ නම් එක අවදානම් නිසා එහෙම යට විශේෂයෙන් පහසුකම් සපයනවා කිව්වලු”

 

“සමන්ති අක්ක එහෙම කරදරයක් නැතුව සනීපෙන් ඉන්නව නේද..?”

 

“ඔව් එයාට නම් එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි එයත් එක්ක ක්ලිනික් ආව තව යාලුවෙක් හිටියා, එයාට නම් දැන් බබා ලැබෙන්නත් කිට්ටුයි, එයා මේ දවස් වල ඉන්නේ නිරෝධායනයක. එයාගේ මහත්තය වැඩකරපු හොස්පිට්ල් එකට ආව කෙනෙකුට පොසිටිව් නිසා ඒගොල්ලෝ නිරෝධායනය වෙන්න කියල, ඉතින් එයා නම් ටිකක් බයේ හිටියලු දැන් අමාරු වුණොත් මොකද කරන්නෙ කියල, හැබැයි පස්සේ මිස්ට කතා කරාම එයාට නිරෝධානයනය වෙන්නත් උපදෙස් දීල, එයාට පොසිටිව් වුණොත්, ඒකට වෙනම පහසුකම් සලස්වල තියන් හොස්පිට්ල් එකකට යොමු කරන්නම් කිව්වලු, බය වෙන්න දෙයක් නැහැ කියලත් කිව්වලු”

 

අමාලිට මේ කතාව ඇහෙද්දී තමන් කලබල උනේ කිසිම හේතුවක් නැතුව බව හිතෙන්න ගත්තා. “අනේ මංදා අක්කෙ, මම නම් බයෙන් හිටියෙ, ඒත් මේ කතා අහද්දි මම මොකට බය වෙනවද කියල හිතුනා”

 

“ඔව් නංගි, ඔයා බයවෙන්න එපා. මේ කාලේ සැහැල්ලුවෙන් ඉන්න එක වැදගත්. ස්ට්‍රෙස් වෙන්න හොඳම නැහැ. කාලය අනුව එහෙම වෙනවා තමයි, ඒත් පුලුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න බලන්න. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං මිස්ට කතා කරන්න ඒගොල්ලෝ උපරිමයෙන් උදවු කරනව නංගි,”

 

“හරි අක්කෙ, එහෙනම් ඔයත් පරිස්සමින් ඉන්න, මේ කරදර කාලේ මගාරුනහම අපි මුණගැහෙමුකෝ නේද..?”

 

“ඔව්, ඉක්මනට මේක ඉවර වුණොත් අපට ක්ලිනික් යද්දීම මුණගැහෙන්න ලැබෙයි, එහෙනං පරිස්සමින් ඉන්න නංගි”

 

“හරි අක්කෙ, ඔයත් පරිස්සමින් එහෙනම් මම තියන්නම්”

 

අමාලි Phone එක තිවුවේ ඇත්තටම සැහැල්ලුවෙන්. තමන් කලබල විය යුතු නැති බවත් තමන්ට වඩා බරපතල ගැටළු තියාගෙනත් තවත් අය නිසි උපදෙස් අනුව වැඩ කරමින් ඒ අවදානම් මගහරින්න උත්සහ කරමින් ඉන්න බවත් අමාලිට වැටහුනා. හෙට දවස ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියාගැනීම හිතටත් හොඳයි නේද කියල අමලිට හිතුනා.

 

 

ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here