2020 May 2
අපි සංචාරකයෙක් විදිහට කොහේ හරි තැනකට යන්නේ ඒ තැනේ තියෙන මිහිරි සුන්දරත්වය විදගන්න. කවුරු හරි ඒ තැන් වලට ගිහින් ලස්සන ෆොටෝ එකක් දැම්මම, ඔයාටත් හිතිලා ඇති මටත් ඇත්තටම මේ තැනට යන්න ඇත්නම් කියලා.අපි කොයි කවුරුත් වැඩිපුරම කතාකරන්න කැමති හොඳ ලස්සන තැන් ගැන වුණත් අද අපි කතාකරන්න යන්නේ සංචාරකයන් යන්න අකමැතිම ලෝකේ තියෙන තැන් කිහිපයක් ගැන. මේ තැන් ගැන ඇහුවම නම් මේ තැන් බලන්න යන්න ඔයාලට ආස හිතෙයිද කියන එකනම් ඇත්තටම සැකයි.
බෝනික්කන්ගේ දුපත
මෙක්සිකෝ වල තියෙන මේ දුපත නම් හරිම අමුතුයි.අත්භූත,විකෘති මුහුණවල් තියෙන බෝනික්කන් 100 ගාණක් මේ දුපතේ තැන් තැන් වල එල්ලලා තියෙනවා.මේ බෝනික්කන් දැක්කම භය හිතෙනවා වගේම ඒ බෝනික්කන් මේ දුපතට ආපු හැටි ඇහුවම ඊටත් වඩා භය හිතෙනවා. අවුරුදු ගාණකට කලින් මේ දුපත බලාගන්න හිටපු ජුලියන් කියලා මනුස්සෙක්ට හම්බවෙනවා මේ දුපතේ තිබුණු පොඩි ඇළක පාවෙවී තිබුණ පොඩි ගැහැණු ළමයෙක් ගේ මළ සිරුරක්. කවුරුත් දැනගෙන හිටියේ නැහැ ඒ මළ සිරුර එතනට ආවේ කොහොමද කියලා. පස්සේ දවසක ළමයා මැරිලා වැටිලා හිටපු තැනම තිබිලා එයාට හම්බවෙනවා ඒ ළමයාගේ බෝනික්කා. ඉතින් ඒ මැරුණු ළමයට ගෞරවයක් විදිහට එයා ඒ බෝනික්කාව ඒ දුපතේ ගහක එල්ලුවා. හැබැයි ගමේ මිනිස්සු කියන විදිහට නම් ළමයාගේ ආත්මය ජුලියන් තුළ හොල්මන් කළා. පොඩි ගැහැණු ළමයාගේ කටහඩ ඒ දුපත පුරාම ඇහෙන්න පටන් ගත්තා.ඉතින් ඇයව සතුටු කරන්න ජුලියන් තව තවත් බෝනික්කන් ගොඩක් දුපතේ තැන් තැන් වල,ගස් වල එල්ලුවා. දැන් ඒ දුපතේ බෝනික්කන් සිය ගණනක් ඉන්නවා. ඒ ගමේ මිනිස්සු කියන විදිහට නම් සමහර අයට ඇහිලා තියෙනවලු බෝනික්කන් එකිනෙකාට කොදුරන සද්දේ වගේම අත පය සොලවනවා,ඇස් අරිනවා වගේම ඒ දුපත ලඟින් යන අයව දුපතට එන්න කියලා පොළබවා ගන්නවා. කොහොමහරි අවුරුදු පණහකට විතර පස්සේ ගැහැණු ළමයා මැරිලා හිටිය තැනම ජුලියන්ගේ මළ සිරුරත් හම්බවෙලා තියෙනවා.
Christ Of The Abys
හැමෝගෙම ගෞරවයට පත්වුණු කලාත්මක දේවල් සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්න එක්කෝ කෞතුකාගාරයක,කලාගාරයක එහෙමත් නැත්නම් ජනාකීර්ණ මිනිස්සු ජීවත් වෙන තැනක. ඉතාලියේ San Fruttuoso වල තියෙන Christ Of The Abys පිළිමය නම් මීට හාත්පසින්ම වෙනස්. මොකද මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ සංචාරකයන්ට ලේසියෙන් බලන්න යන්න පුළුවන් තැනක නම් නෙමෙයි. ගයිඩෝ ගැලට්ටි හදපු මේ පිළිමය, මධ්‍යධරණී මුහුදේ මීටර් 17 යටට වෙන්න තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතාලියේ මුළින්ම ස්කුබා කිමිදුම් කරපු ඩාරියෝ ගොන්සැට්ට ගෞරවයක් විදිහට තමයි 1954 අගෝස්තු මාසයෙදී මේ වගේ තැනක මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ.
එල්ලෙන මිනීපෙට්ටි
සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාම අපි නම් කරන්නේ ඒ මිනිය පොළොව යට වළලනවා,එහෙමත් නැත්තනම් පුච්චනවා. හැබැයි කවදාහරි අහලා තියෙනවද මීනිය පෙට්ට්යක් ඇතුළට දාලා ඒ මිනී පෙට්ට්ය උස තැනක එල්ලනවා කියලා. ටිකක් අමුතුයි නේද? ඔව් අපි දැන් කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.පිලිපීනයේ සාගාඩා වල තමයි මේ අපුරු සුසාන චාරිත්‍රය සිද්ධ කරන්නේ. වැඩිහිටියන් තමන්ගේම මිනීපෙට්ටි ගහක කඳක් අරගෙන කැටයම් කරලා හදාගන්නවා. හැබැයි එයාලා ගොඩක් දුර්වල හරි රෝගී හරි නම් එයාලගේ පවුලේ අය එයාලගේ මිනිපෙට්ට්ය සකස් කරලා දෙනවා. එයාලා මැරුණායින් පස්සේ එයාලගේ ශරීරය ඒ මිනී පෙට්ටි වල තැන්පත් කරනවා. සමහර වෙලාවට එහෙම තැන්පත් කරද්දී එයාලගේ ඇටකටු පවා කුඩුවෙන අවස්ථාවල් තියෙනවලු. ඊටපස්සේ ඒ මිනීපෙට්ටි පොළව යට භූමදානය කරනවා වෙනුවට ගුහාවකට අරගෙන ගිහින් ගුහාව ඇතුලේ හෝ කඳු මුදුනේ, එයාලගේ මුතුන් මිත්තන්ගේ එල්ලෙන මිනී පෙට්ටි අසල එල්ලනවා. සාගාඩා වල මිනිස්සු අවුරුදු 2,000 කට වැඩි කාලයක් තිස්සේ මේ චාරිත්‍රය සිදු කරනවා. ඒ කියන්නේ සමහර මිනීපෙට්ටි සියවසකටත් වඩා පැරැණියි. ඉතින් කාලයත් එක්ක මේ මිනීපෙට්ටි පරණ වෙලා ගහින් සමහර මිනීපෙට්ටි බිමට කඩාගෙන වැටෙනවලු. කොහොම වුණත් සාගාඩා ජනතාව මේ චාරිත්‍රය සිද්ධ කරන්නෙත් හරි අපුරු විශ්වාසයක් නිසා. එයාලා කියන විදිහට නම් මේ මිනීපෙට්ටි ඉහළ තැනක එල්ලුවාම මියගිය අය ඉහළ මට්ටමක තියනවා. ඒ නිසාම ආත්මයන් මරණින් පස්සේ ජීවිතයේදීත් ඉහළ තත්වයකට ළඟාවෙන්න තියෙන ඉඩකඩ වැඩි බව තමයි එයාලාගේ විශ්වාසය. මේ ගොඩක් මිනීපෙට්ටි තියෙන තැන් වලට ලඟා වෙන්න අමාරු වුණත් ඒවා දුර ඉදන් බලන්න පුළුවන්.
Veijo Rönkkönen මූර්ති උද්‍යානය
Veijo Rönkkönen කියන්නේ ෆින්ලන්තයේ ජීවත් වුණු ගොඩක් ජනප්‍රිය,දක්ෂ කලාකාරයෙක්. හැබැයි එයාගේ විශේෂත්වය තමයි එයා අකමැති වුණා ප්‍රසිද්ධ මිනිස්සු නිතර ගැවසෙන තැනක තමන්ගේ කලා නිර්මාණ ප්‍රදර්ශණය කරන්න. ඒ වෙනුවට එයා තමන්ගේ මිදුලේ කොන්ක්‍රීට් රූප 500 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා තමාගේම මූර්ති උද්‍යානයක් නිර්මාණය කළා. කොන්ක්‍රීට් වලින් හදලා තියෙන මේ පිළිමවල මුහුණේ ඉරියව් මේ ප්‍රතිමා මේ තරම් බියජනක වෙන්න එක හේතුවක්. සමහර ප්‍රතිමා වලට මිනිස්සුන්ගේ ඇත්ත දත් එකතු කරලා තියෙනවා වගේම උද්‍යානයෙන් ඇතිකරන ශබ්ධ නිසා මේ උද්‍යානය තවත් බියකරු වෙලා තිබෙනවා. රොන්කොනන් යෝගා වෘත්තිකයෙකු වුන නිසාම එක එක යොගා ඉරියව් වලින් ඉන්න තමන්ගේම රුපය තියෙන පිළිම 200 ක් විතර මේ උද්‍යානයේ අඹලා තියෙනවා. කිසිම ප්‍රසිද්ධියකට අකමැති වුණු රොන්කොනන් තමන්ගේ උද්‍යානය බලන්න එන කිසිම කෙනෙක්ව හම්බවෙන්න කැමති වුණේ නැහැ. අඩුම තරමේ මේ උද්‍යානය වෙනුවෙන් ඔහුට ලැබුණ සම්මානය ගන්න යන්න වුණෙත් එයාගේ සහෝදරයට. රොන්කොනන් කියලා තියෙන විදිහට ,මේ උද්‍යානය තමන්ටම ස්මාරකයක් විදිහට තමයි එයා නිර්මාණය කරලා තියෙන්නේ.කොහොම වුණත් මෙතනට යන සංචාරකයන්ට නම් දවස් කිහිපයක් යනකන් හිතේ භයක් නැති සුව නින්දක් ලබාගන්න නම් අමාරු වෙයි.
smoking ghost නගරය
1800 ගණන්වල අග භාගයේ ඉදන් 1960 දශකය දක්වා සෙන්ට්‍රලියාවේ ගල් අඟුරු ආකර පිහිටලා තිබුණ නිසාම සෙන්ට්‍රලියාව පෙන්සිල්වේනියාවේ තිබුණ සුන්දර, නමුත් අවුල් සහගත නගරයක්.කොහොම වුණත් 1962 දී පතලක අභිරහස් ගින්නක් හටගත්තා. ඒ ගින්න ඒ පතලට සම්බන්ධවෙලා තිබුණ අනිත් උමං වලටත් භූගතව පැතිරෙන්න පටන්ගත්ත. 1979 දී ගෑස් මධ්‍යස්ථාන හිමිකරුවෙක් තමන්ගේ භූගත ටැංකි වල අසාමාන්‍ය ලෙස ඉහළ පෙට්‍රල් උෂ්ණත්වයක් වාර්තා කරනකන් වගේම පොඩි පිරිමි ළමයෙක් තමන්ගේ වත්ත පිටිපස්සෙම අඩි 150 කට ආසන්න ප්‍රමාණයක් ගිලෙනකන් සෙන්ට්‍රලියාවේ මිනිස්සු මේ ගැන වැඩිය ගණන් ගත්තේ නැහැ. මේ ප්‍රශ්න නිසාම නගරයේ ජනගහනය ගොඩක් අඩුවුණා. 2014 ගණනය කිරීම් වල විදිහට නම් පවුල් 7ක් විතරයි මේ නගරේ ජීවත් වෙන්නේ. ඉතින් මේ සෙන්ට්‍රලියාවේ සංචාරකයන්ට පෙන්නේ නම් සම්පුර්ණයෙන්ම අවතාර නගරයක් විදිහට.ඔයා කවදාහරි අතඇරලා දාපු පාළු නගරයට ගියොත් ඉරිතලලා ගියපු ගොඩනැගිලි,කඩා වැටුණු පදික වේදිකා සහ ඉරිතලා තියෙන,ග්‍රැෆිටිවලින් පිරුණු 61 මාර්ගය ඔයාට හම්බවෙයි. ඒ වගේම මේ නගරය පාළු වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයාට අමතක වූනොත් ඔයාට ඉඳලා හිටලා දුමාරයක් දැකගන්න පුළුවන් වෙයි.
Beelitz-Heilstätten රෝහල
මේ කියන්න යන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය ඉස්පිරිතාලයක් ගැන නම් නෙමෙයි. මේ කතාව හමුදා රෝහලක් ගැන. 1898 සිට 1930 දක්වා කාලය තුළ බෙලිට්ස්-හයිල්ස්ටැටන් සංකීර්ණය ක්ෂය රෝග සනීපාරක්ෂක මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කළා. පළමුවන ලෝක සංග්‍රාමයේදී අබ ගෑස් සහ මැෂින් තුවක්කු වලට ගොදුරු වුණ අය මේකේ හිටියා, කකුලේ තුවාල ලබාපු ඇඩොල්ෆ් හිට්ලර් නම් තරුණ සොල්දාදුවත් ඒ අතර හිටියා. පස්සේ මේ රෝහල දෙවන ලෝක යුද්ධ කාලයේ නාසි සොල්දාදුවන්ගේ ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් වුණා. 1945 ඉදන් බර්ලින් තාප්පය කඩා වැටෙනකන්ම සෝවියට් හමුදා රෝහලක් ලෙස මේ රෝහල භාවිතා කළා. සංකීර්ණයේ තියෙන ගොඩක් වාට්ටු අතහැර දමා තිබුණත් අද රෝහල් වාට්ටු කිහිපයක් ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරනවා. ශල්‍යකර්ම සහ මනෝචිකිත්සක වාට්ටු දෙකම දිරාපත් වෙන්න සොබාදහමට අතැරලා දාලා තියෙනවා.ඉතින් ඇමරිකාවේ හොල්මන් චිත්‍රපටියක පෙනුමක් මෙතනට ඇවිත් තියෙන නිසාම සංචාරකයන්ට මේ ගමන ගොඩක් විනෝදකාමී තැනක් වෙන එකක් නම් නැහැ.
Capuchin Catacombs
සල්ස්බර්ග් ඉදන් පැරිස් දක්වා ලෝකයේ ඇති සියලුම කැටකොම්බයන් අතුරින් කිසිවක් සිසිලියේ කැටකොම්බේ ඩී කපුචිනි තරම් අත්භූත නැහැ. Capuchin Catacombs කියන්නේ පුජකවරයන් භූමදාන කරන්න හදලා තියෙන සරල සුසාන භූමියක්.1534 දී පැලර්මෝ හි සැන්ටා මාරියා ඩෙලා පේස් දේවස්ථානයේ දී කපුචින් ඉදිකෙරුණා. ඔවුන් ශාන්ත ආනාගේ පූජාසනය යට ටැංකියක් මෙන් විවර වූණු සමූහ මිනීවළක් හාරමින් මියගිය සගයන් එකේ වැළලුවා. වැඩි කාලයක් යන්න කලින් කපුචින් ප්‍රජාව වර්ධනය වුන නිසාම 1597 වෙද්දී සුසාන භූමියේ පළවෙනි කාමරය වුණ වළ එහෙමත් නැත්නම් ටැංකිය ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුව නිසාම පුරාණ ගුහා වල ක්‍රම උපයෝගී කරගෙන ප්‍රධාන පූජාසනය පිටුපස්සේ විශාල සුසාන භූමියක් නිර්මාණය කරන්න කැණීම් ආරම්භ කළා. වසර දෙකකට පස්සේ අලුත් සුසාන භූමිය සුදානම් වූණා. ඉතින් පරණ ටැංකියේ තිබුණු මළසිරුරු එයාලා අලුත් ගුහාවට මාරු කරන්න තීරණය කළා. කොහොම වුණත් මේ මළසිරුරු අලුත් තැනට මාරු කරද්දී මල සිරුරු 45ක් විතර මුහුණු දිරාපත් වෙලා තිබුණේ නැහැ වගේම එයාලා හදුනා ගන්න පුළුවන් තත්වයෙන් තිබුණා. ඉතින් මේ අවස්ථාව දෙවියන්ගේ ක්‍රියාවක් බව කපුචින්වරු විශ්වාස කළා, දේහය භූමදානය කරනවා වෙනුවට,එයාලගේ සොහොයුරන්ගේ දේහයන් ධාතු විදිහට ප්‍රදර්ශනය කරන්න වගේම අලංකාර කරන්න එයාලා තීරණය කළා. අලුත් සුසාන භූමියේ පළවෙනි කොරිඩෝවේ බිත්ති දිගේ ඒ මළසිරුරු රදවලා තියෙනවා.අළුතින් හදපු කැටකොම්බය තුළ මුලින්ම තැන්පත් කරපු සිරුර වූණේ ෆ්‍රා සිල්වෙස්ට්‍රෝ ඩා ගුබ්බියෝගේ සිරුරයි. ඒක තවමත් සරල දුඹුරු පාට සිවුරකින් හා හිස් වැස්මකින් ආවරණය කරලා තියෙනවා. හරි අමුතු අත්දැකීමක් වෙයි වගේ නේද ?
කොහොම වුනත් මේ වගේ අත්භූත අපුරු තැන් ගොඩක් අපි නොදන්නවා වුණාට ලෝකයේ සැඟවිලා තියෙනවා. ලෝකයේ අනිත් සංචාරක තැන් වලට තරම් මේ තැන් වලට ප්‍රසිද්ධියක් ලැබිලා නැත්තේ ඇත්තටම සංචාරකයන් මේ තැන් වලට යන්න අකමැත්තක් දක්වන නිසා වෙන්න පුලුවන්ද?
-එස්. එස් . තත්සරණි-