හතර වටෙන් මොළයට හානි කරන මේ පුරුදු වලට ඔයත් ඇබ්බැහි වෙලාද..?

මොළයට හානි කරන මේ පුරුදු වලට ඔයත් ඇබ්බැහි වෙලාද..?

2021 Jan 20

පුරුද්දක් කියන්නේ අපි හැමදාම කරන ක්‍රියාවකට, පුරුදු කියනදේ හොඳ හෝ නරක වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්න පුළුවන් දෙයක්. කොහොම වුණත් අපි නොහිතා ඉබේටම වගේ කරගෙන යන සමහර පුරුදු නිසා අපිට ඇතිවෙන බලපෑම සුළුපටු නැහැ. මේ කියන්න යන්නේ ඒ වගේ නොසිතා සිද්ධ කරන පුරුදු නිසා අපි නොදැනුවත්වම අපේ මොළයට වෙන හානි කිහිපයක් ගැන.

 

අපි මොළය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

මොළය කියන්නේ මිනිස් ශරීරයේ තියෙන ඉන්ද්‍රිය පද්ධතියේ ඉන්ද්‍රියයන් අතරින් වැදගත්ම ඉන්ද්‍රියය කිවුවොත් හරි. නමුත් අනෙකුත් ඉන්ද්‍රියයන් වලට වගේම මේ මොළයත් හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් ව්‍යායාම,පුහුණුව සහ පෝෂණය අවශ්‍ය වෙන බව අවාසනාවකට වගේ අපි කවුරු කවුරුත් වැඩිය අවධානය යොමු නොකරන කාරණාවක්. ඉතින් හොඳ පුරුදු ඇති කරගෙන අපි මේ කියන්න යන නරක පුරුදු වලින් වැළකිලා හිටියොත් මොළයට සිද්ධ වෙන හානිය වළක්වාගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අපි කාටත් පුළුවන්.

මොනවද මේ මොළයට හානි වෙන හේතු.

1 ) උදේ ආහාරය මග හැරීම.

Young caucasian man eating a waffle dessert isolated being shocked, she has remembered important meeting. Premium Photo

අපේ මොළයට උපරිම ලෙස ක්‍රියා කරන්න සුදුසු වේලාවට සුදුසු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා. අද අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව නිසා අපි බොහෝ දෙනෙක් දවසේ උදේ පාන්දරින්ම යම් කාලයක් ඉතුරු කරගන්න අපේ උදැසන ආහාරය මඟ හරින්න පුරුදු වෙලා ඉන්නවා. මේක මොළයට අඩු සීනි වගේම දුර්වල පෝෂක සැපයුමකට හේතු වෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වයට පිරිසිඳු ග්ලුකෝස් අවශ්‍ය වෙනවා. දුර්වල පෝෂණය, මොළයේ සෛල පිරිහීම වගේ දිගු කාළීන හානිකර බලපෑම ඇති කරන්න හේතුවක් වෙනවා.

 

 

2) ඕනෑවට වඩා ආහාර ගැනීම.

Portrait of cheerful young european overweight obese male with curly ginger hair consuming junk good, stuffing marshmallow into mouth and holding tight large glass jar, full of colorful sweets Free Photo

” ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ” කියන්නේ ප්‍රසිද්ධ කියමනක් නේ. ඉතින් අපේ මොළයටත් ඒක එහෙම්මම තමයි. මොළය සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ගොඩක් කෑම කන්න යොමුවෙනවා. ඉතින් මේ පමණට වඩා කෑම ගන්න එක මොළයට හානි කරනවා. මෙහෙම ඕනෑවට වඩා ආහාර ගැනීම මොළයට හානි කරන්නේ කොහොමද ? කොලස්ටරෝල් තැන්පත් වීම හා මොළයේ රුධිර නාල ඝන වීම මොළයේ සෛල වලට රුධිර සැපයුම අඩු කරනවා. මේක මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බරපතල හානියක් සිද්ධ කරනවා.ප්‍රමාණයට වඩා කෑම ගැනීම ඇල්සයිමර් රෝගයට හේතු වෙන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම ඒක තරබාරු කමට හේතුවෙන නිසාම සමහරුන්ට මේ නිසා ආත්ම ප්‍රතිරූපයට හා අතම විශ්වාසයට හානි වෙලා මානසික අවපීඩනය හා වෙනත් මානසික ගැටළු ඇතිවෙන්න ඉඩක් තියෙනවා.

 

 

3) ප්‍රමාණවත් නින්දක් නොලැබීම

Man sleeping on bed in the morning Free Photo

ප්‍රමාණවත් නින්දක් නොලැබීම අපේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරනවා. ඔයාට කවදාකහරි වාහනේ යතුර කොහෙද තිබ්බේ කියලා අමතක වෙලා තියෙනවනම් , එහෙමත් නැතිනම් නිතරම යන එන පුරුදු පාරක් අමතක වෙලා තියෙනවා නම් කලින් දවසේ ප්‍රමාණවත් නින්දක් ලැබිලා නැතිකම මේ තාවකාලික මතක නැතිවීම පිටිපස්සේ ඉන්න වැරදිකාරයා වෙන්න පුළුවන්. නින්ද නොමැතිකම සංජානන ගැටළු වලට හේතු වෙනවා. නිසි නින්දක් නොලැබී තිබීම නිසා සමහර මොළයේ සෛල මිය යනවා ඒ නිසාම ඔයාට දේවල් මතක තියාගන්න දුෂ්කර වෙනවා. අඩු නින්ද හෝ නින්දට බාධාවක් ඇතිවීම මානසික ගැටළු වර්ධනය වෙන්නත් හේතුවක් වෙනවා. ඉතින් මේ හැම ගැටලුවකින්ම බේරිලා ඉන්න ඕනේ නම් දවසට පැය 7 ක පමණ හොඳ නින්දක් ලබා ගන්න වගබලා ගන්න.

 

4) සීනි සහිත අහාර ගැනීම

Fancy cakes on banquet table Free Photo

දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි බොහෝ දෙනෙක් අපේ ආහාර පාන වලින් ශරීරයට සීනි එකතු කරගන්නවා. මේ සීනි නිසා ඇතිවෙන දියවැඩියාව වගේ රෝග නම් දැන් ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන සාමාන්‍ය රෝගයක් වෙලානේ. හැබැයි කවදාවත් හිතුවද පිරිපහදු කළ සීනි විශාල ප්‍රමාණයක් පරිභෝජනයෙන් ප්‍රෝටීන හා පෝෂ්‍ය පදාර්ථ උරා ගන්න මොළයට හා ශරීරයට ඇති හැකියාව විනාශ වෙනවා කියලා. ඉතින් මේ දුර්වල පෝෂණය, මන්ද පෝෂණයට වගේම මතක තබාගැනීමේ ශක්තිය හීන වීම, ඉගෙනීමේ ආබාධ, අධි ක්‍රියාකාරිත්වය හා මානසික අවපීඩනය වගේ මොළයේ අබාධ ගොඩකට හේතු වෙනවා. ඉතින් මීට පස්සේ ඔයාගේ කෑම වේලට සීනි හැඳි 20ක් විතර දාලා තියෙන කෝක් වගේ පැණි බිම එකක් එකතු කරගන්න කලින් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා.

 

5) දුම්පානය

No smoking realistic cigarette sign Free Vector

“දුම්පානය කරන්නේ මෝඩයන්” කියලා දුම්බිමට විරුද්ධ අය කොච්චර කිවුවත් කවුද හිතුවේ ඒ කතාව ඇත්ත වෙයි කියලා. දුම්පානය පෙනහළු රෝග හා හෘද රෝග ඇති කරන බව අපි කවුරුත් දන්නා කරුණක්. හැබැයි මේ දුම්පානය මොළයේ සෛල කිහිපයක් හැකිලෙන්න හේතුවක් වෙනවා වගේම ඩිමෙන්ශියාව, ඇල්සයිමර් වගේ රෝග රැසකට හේතුවක් වෙන අතරම මරණයට පවා හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. අධික ලෙස දුම්පානය කිරීම වක්‍රාකාරයෙන් ස්නායු දැවිල්ල ඇති කරනවා. ස්වයං ප්‍රතිශක්තිකරණ අබාධයක් වෙන multiple sclerosis (MS) මේ අධික දුම්පානය නිසා සිද්ධ වෙන්න පුළුවන්.

 

 

6 ) හිස ආවරණය කරගෙන නින්දට යාම.

Lady cover her head by pillow on a bed Free Photo

හිස ආවරණය කරගෙන නිදා ගැනීම කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරන්න හේතු වෙනවා සහ ඒක රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු කරන්න හේතුවක් වෙනවා. ඔක්සිජන් සැපයුම දුර්වල වෙද්දී මොළයේ ක්‍රියාකාරී බව අඩුවෙනවා . ඉතින් ඒක ඔයාගේ හුස්ම හිරවීම, නින්ද නොයෑම, තෙහෙට්ටුව සහ නිදිබර ගතියට හේතු වෙන්න පුළුවන්.

 

 

7 ) අසනීපයෙන් ඉන්න විට වැඩ කිරීම.

Sick man with handkerchief sneezing blowing nose while working in office, businessman caught cold, seasonal flu. Free Photo

ඕනෑවටත් වඩා මහන්සිවෙලා වැඩ කරද්දී අසනීප වෙන එක අපි හැමෝම අත්විඳලා තියෙන දෙයක්. හැබැයි අපි දන්නේ නැති දෙයක් තමයි එහෙම අසනීප කාල වලදී අපි දිගටම වැඩ කළොත් මොළයේ කාර්යක්ෂමතාවය අඩුවෙන්න ඒක හේතුවක් වෙනවා කියන කාරණාව. මේක ආතතිය ඇතිවෙන්නත් හේතුවක් වෙනවා. අපි අසනීප වුණාම අපේ ශරීරය විතරක් නොවෙයි මොළයත් රෝගය එක්ක සටන් කරමින් ශරීරයේ කටයුතු කරගෙන යන්න සාමාන්‍ය වෙහෙසට වැඩිය වැඩි වෙහෙසක් ගන්නවා. ශරීරය වගේම මොළයත් වැඩිපුර මහන්සි වෙනවා. අසනීප දවසක වැඩ කරද්දී අපි නොදැනුවත්වම ශරීරයට වගේම මොළයට තියෙන මහන්සිය, බර වැඩි කරනවා. ඉතින් ඔයාගේ ශරීරය වගේම මොළය ගැනත් හිතලා අසනීප දවසට විවේකයක් ගන්න.

 

 

8) දුෂිත රසායන ද්‍රව්‍ය වලට/ වායු වලට නිරාවරණය.

Air pollution with two girls in dirty smoked city Free Vector

 

අපේ මොළය සම්පුර්ණයෙන්ම ඔක්සිජන් මත රදා පවතිනවා. හානිකර රසායන ද්‍රව්‍ය, දුෂිත වායු වලට ඔයා නිරාවරණය වීම වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාගේ මොළයට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩුවෙනවා. ශරීරයේ ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබීම මොළයේ සෛල මිය යන්න හේතුවක් වෙනවා. මීයන් යොදාගෙන කරපු පරීක්ෂණයකින් පෙන්නලා දීලා තියෙනවා දීර්ඝ කාලයක් දුෂිත වාතයට නිරාවරණය වුණු මීයන්ගේ මොළයට භෞතිකවත් හානි සිදුවෙලා තියෙන බව. ඉතින් හැම වේලාවකම ගස් පිරුණු උද්‍යානයටකට ගිහින් පිරිසිඳු වාතය ආශ්වාස කරන්න ඔයත් අමතක කරන්න එපා.

 

9) සිතුවිලි නැතිකම.

Serious redhead bearded caucasian hipster student dressed in gray t-shirt standing in classroom pointing at blank copy space wall with his finger, showing something on it. Free Photo

වැඩිය සිතන්නේ නැති පුද්ගලයන්ගේ මොළය හැකිලෙනවා කියලා පරීක්ෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසාම මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්න විතරක්ම නෙමෙයි මොළය පුළුල් කර ගන්නත් මේ හිතන එක ගොඩක් වැදගත් වෙනවා. මේ සිතුවිලි නැතිකම නැති කරගෙන සිතුවිලි ඇති කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ ? සිතීම, ලිවීම, කියවීම මගින් මොළයට හානි වෙන එක වළක්වලා මොළය හොඳින් ක්‍රියාත්මක වෙන්න පුරුදු පුහුණු කරනවා.

 

10 ) ව්‍යායාම නොකිරීම.

A front view young male in white t-shirt just posing Free Photo

නිකමටවත් හිතලා තියෙනවද ශරිරියට ව්‍යායාම නොකිරීම මොළයටත් බලපානවා කියලා ?. “All work and no play makes Jack a dull boy” කියනවා වගේ කිසිම සෙල්ලමක්, ව්‍යායාමයක් නැතිව වැඩ කර කර හිටියොත් ඒකෙන් ඔයා අලස කම්මැලි පුද්ගලයෙක් බවට පත්වෙනවා. ව්‍යායාම මගින් ඔයා ගොඩක් නම්‍යශීලි පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් ව්‍යායාම නැතිකම ඔයාගේ මොළයේ චලනය වීමේ බලය අඩුවෙලා ඔයාගේ කුසලතා අඩුවෙනවා. ප්‍රීතිමත් හෝමෝන වෙන එන්ඩෝර්ෆින් මුදා හැරලා අපිව තරුණ වියට පත් කරන්න මේ ව්‍යායාම උදවු කරනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මොළය විතරක්ම නෙමෙයි ව්‍යායාම වලින් ඔයාගේ හදවත හා පෙනහළුත් ශක්තිමත් වෙනවා. ඉතින් අද ඉදන්ම ටික ටික හරි ව්‍යායාම කරන්න පටන්ගන්න ඔයාට වෙන මොන හේතුද අවශ්‍ය නේද ?.

 

අපි මේ කිවුවේ මොළයට හානි වෙන හේතු කිහිපයක් ගැන විතරයි. සමාජශීලි මදිකම, මත්ද්‍රවය භාවිතය, ආතතිය වගේ හේතු කාරණාත් ඔයාගේ මොළයට හානි වෙන සාධක විදියට හඳුන්වන් පුළුවන්. අපි බොහෝ දෙනෙක් පොදුවේ සෞඛ්‍ය ගැන කතා කරද්දී, මොළය ගැන කතාකරන්න අමතක කරනවා. ශරීරයේ අනෙක් කොටස් ගැන හිතලා අහිතකර දේවල් වලින් වැළකිලා හිටියත් මොළයට අහිතකර දේවල් ගැන දැනුවත්භාවයක් නැතුව වැඩ කරනවා. ඉතින් අද ඉඳලා ඔයත් ශරීරයේ වැදගත්ම අවයවය වෙන මොළයට හානි කරන මේ දේවල් වලින් වැළකිලා ඉන්න හැමවිටම උත්සහ කරන්න. ඔබට නිරෝගිමත් දිවියක් ලැබේවා!.

-එස් තත්සරණි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here