හතර වටෙන් මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1

2021 Jul 21

ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. මාතෘකාව දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ කියන්න යන්නේ අපේ මනස ගැන කියලා. කතන්දරේ ටිකක් දිග නිසා මං හිතුවා කොටස් කීපයකින් මේක ඔයාලට කියන්න. ඉගෙන ගන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අද කියන්න හිතුවේ එක කරුණක් විතරයි. ඊලග ලිපි වලින් අනිත් ටිකත් ඔයාලට අනිවාර්යයෙන් කියනවා.

කතාව පටන් ගන්න කලින් මිනිස් මොලය ගැන ටිකක් ඉගෙන ගමු. ඔයාලා හැමෝම දන්නවනේ මොලය වම සහ දකුණ කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. වම් මොලය තාර්කික හැකියාවන්, ගණිතමය හැකියාවන් වලට විශේෂයෙන් උදවු වෙනවා වගේම දකුණු මොලය තමයි හැම සෞන්දර්යාත්මක සහ කලාත්මක හැකියාවන් වලට අපිට උදවු වෙන්නේ. මෙතැනදී කෙනෙක්ගේ දකුණු මොලය වඩාත් ක්‍රියාශීලි නම් ගොඩක් වෙලාවට ඒ අය සෞන්දර්ය අංශයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. වම් පැත්ත වැඩියෙන් වැඩ කරනවා නම් එහෙම අය තර්කන හැකියාව වැඩියෙන් භාවිතා වෙන අංශ වලින් ඉදිරියට යනවා. මේ කාරණාව ඒ ලෙවල් විෂයන් තෝරද්දී අනාගතයටම ගොඩක් බලපානවා.

මොලය ගැන කතා කරද්දී ගොඩක් බුද්ධිමත් අයගේ IQ අගය විශාල අගයක් ගන්නවා. ලෝකෙට අලුතෙන් දෙයක් ගෙනාව විද්‍යාඥයන්, සුපිරි කලාකරුවන්, දර්ශනවාදීන් වගේ අයගේ මේ අගය ඉහලයි. සාමාන්‍ය කෙනෙක්ගේ මේ අගය තියෙන්නේ 85ත් 115ත් අතර (හා දැන් කලබල වෙන්නෙපා ඔයාට මේ කියන දේවල් තේරෙනවා නම් ඔයා සාමාන්‍ය අගය පරාසය ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්නවා). මේ අගය මනින්නේ ඒ සදහා විශේෂිත වූ ගැටළු මාලාවකින්. මොලය ක්‍රියාකරන වේගය, තර්කනය, මතකය, කාර්යක්ෂමබව, නිරවද්‍යතාව, තීරණ ගැනීම වගේ ගොඩක් දේවල් මේ හරහා පරීක්ෂා කරලා බලලා තමයි ඕවරෝල් අගයක් අන්තිමට දෙන්නේ.

ඇත්තටම බුද්ධි මට්ටම ඒ විදිහට මැන්නත් අද මනින අගය හෙට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඕනෑම කෙනෙක්ට තමන්ගේ මනස දියුණු කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ක්‍රම අපි අදහන හැම ආගමක සදහන් වෙලා තියෙනවා, භාවනාව කියන්නෙත් මනස හැක් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. හැබැයි මේ ලිපියෙන් භාවනා ක්‍රම ගැන නම් කියලා දෙන්න යන්නේ නෑ. මේ කියන්නේ අපි අහලා නැති ටිකක් වෙනස් දේවල් ගැන. ඉතින් අපි බලමු කොහොමද මේ මෙන්ටල් පවර්ස් වැඩි කරන්නේ කියලා.

 

මයින්ඩ් පැලස් /Method of loci

Sherlock's Mind Palace Explained: Is It Really Possible? - Forbes Alert

Method of loci එහෙමත් නැතිනම් මයින්ඩ් පැලස් කියන්නේ මොකද්ද කියලා ෂර්ලොක් ටී වී සීරීස් එක එහෙම බලපු උදවිය නම් දන්නවා ඇති. මේ කියන්නේ අපේ මතකය අපිට අවශ්‍ය විදිහට ක්ෂණිකව ඕන දෙයක් ඕන පිළිවෙලකට එකිනෙක දත්ත සමග ගළපලා නිවැරදි නිගමනයක් ගන්න තියෙන හැකියාව ගැන. (හැබැයි ෂර්ලොක් වගේ ඇස් පියාගෙන අතපය විසි කර කර දගලන්න නම් ඕන නෑ මේක කරන්න). පොඩි කාලේ අපේ වීරයා ෂර්ලොක්ට විතරක් නෙමෙයි ඇත්තටම මේ හැකියාව අපි හැමෝටම තියෙනවා. නමුත් මේ හැකියාව අපිට තිබ්බට අපි ඒක අපිට අවශ්‍ය විදිහට සුසර කරගෙන නෑ. විශ්වාස කරන්නත් අමාරුයි නේද ?

ඔයා ඔයාට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා පිළිගන්නේම නැත්තන් අපි මෙහෙම ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට ඔයාගේ ප්‍රදේශයේ ස්ථාන කියක් මතකද කියලා. ඔයාට හරියටම ගානක් කියන්න බැරි වුණත් ස්ථාන ලැයිස්තුවක් දෙන්න වගේම ඕනෑම තැනකට යන පාර කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් පැලස් එකේ පොඩි හැකියාවක් තියෙනවා ක්ෂණිකව දත්ත ප්‍රොසෙස් කරන්න, හැබැයි ඔයාගෙන් ඇහුවොත් අදාළ ස්ථානය තියෙන ගොඩනැගිල්ලෙ අංකය? ඔයාට මතක නෑ, තව උදාහරණයක් දෙන්නම් ඔයාට ඔය මොන මොන ගොඩනැගිලි, තැන් මතකේ තිබුනත් හදිසියේ අම්මා කඩෙන් ගේන්න කියලා දෙන බඩු ලිස්ට් එකේ එක බඩුවක් හෝ අමතක වෙලා අනිවාර්යයෙන්ම බැනුමක් අහලා ඇති. ලිස්ට් එකේ 7ක් 8ක් වගේ නම් ඔයා හරියට අරන් එයි, ඊට වැඩියෙන් වුණොත් නම් ගොඩක් වෙලාවට එකම එක දෙයක් හරි අමතක වෙනවා නේද. ඔයාගේ ගෙදර බඩුමුට්ටු ගැන ඇහුවොත් තියෙන තැන නම් කියයි නමුත් තියෙන ඔක්කොම ලිස්ට් එකක් දෙන්න බැහැ නේද? දැන් පැහැදිලිද ඔයාටත් සුපිරි මයින්ඩ් පැලස් එකක් තියෙනවා නමුත් ටියුන් කරලා නෑ කියලා ?

 

ඉතින් කොහොමද අපි මේ මයින්ඩ් පැලස් එක ටියුන් කර ගන්නේ.

From the archives #1: How to build your “Mind Palace” | by Content for Pragyan | The Pragyan Blog | Medium

මේක අද රෑ නිදියන් ඉඳලා හෙට උදේ වෙද්දී කරන්න නම් බෑ. උවමනාව තියෙන කෙනෙක්ට තමන්ගේ ආවේනික ක්‍රමයකටම මේක හදාගන්න පුළුවන්. කොයි ක්‍රමයට හැදුවත් මේකට නිරන්තර අභ්‍යාසය කියන එක අත්‍යවශ්‍යයි. කලින් කිවුවා වගේ ඔයාගේ ප්‍රදේශයේ හැම තැනම මතක වුණත් ගොඩනැගිලි අංකයි, සම්පුර්ණ බඩු ලිස්ට් එකයි මතක නෑ. ඇත්තටම මෙතැනදී වෙලා තියෙන්නේ ඔයා නොදැනුවත්වම නිතර අභ්‍යාස වෙලා. ඒ කියන්නේ ඔයාගේ මොලෙන් ඔයා නිතර යන එන පාරවල් සිතියම්ගත කරගෙන. ඒ වගේම ඔයාට ඔයාගේ ගෙදර බඩුමුට්ටු තියෙන තැන මතක හිටලා තියෙන්නෙත් ඔයා නිතර ඒ බඩුමුට්ටු පාවිච්චි කරන නිසා ඔයාගේ මොළය දන්නවා ඒවා තියෙන්නේ කොතනද කියලා.

දැන් ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මේ මොකද්ද මේ කියලා. ඔයාට ගෙදරට ගේන්න තියන බඩු ලිස්ට් එකත් මේ විදිහට මෙහෙම මතක් කර කර ඉන්න ඕනද කියලා. නෑ ඇත්තෙන්ම නෑ. ගෙදර බඩු ලිස්ට් එක ලියාගෙන ගිහින් ගන්න. හැබැයි මේ කියන දේවල් කරලා මොලය ට්‍රේන් කරාම ඔයාට දවසක පුළුවන් වෙනවා කිසි දෙයක් ලියාගෙන යන්නේ නැතුවම වගේම අමුතු ආයාසයකුත් නැතුවම මනසේ තැන්පත් කරගන ඒ දේවල් ගන්න. මයින්ඩ් පැල්ස් එකක් කියන්නේ මතක් කර කර ඉන්න එක නෙමෙයි. මතකය ඕන වෙලාවට තමන්ට ඕන විදිහට තමන්ගේ සිස්ටම් එකට අනුව හැන්ඩ්ල් කරන්න පුළුවන් හැකියාව.

ඉතින් ඔයාට මයින්ඩ් පැලස් එකක් හදාගන්න නම් කරන්න තියෙන්නේ නිතර ඔයාගේ මතකේ හාරලා බලන එක. ඒ කියන්නේ ඔයාට මොනවත් මතක නැති වුනත් ඔයා එදිනෙදා කරන දේවල්, දවසේ වෙච්ච ගනුදෙනු, කරන්න හිතා ගෙන ඉන්න වැඩ, සරලව කිව්වොත් හැමදෙයක්ම නිකන් මතකද බලන්න. එක අමතක වුනත් ඔයාට මනස හුරු වෙනවා ඔයාගේ මතකයේ තියෙන දේ පරික්ෂා කරන්න. ඒවා ඇනලයිස් කරන්න. සාමාන්‍යායෙන් මාස දෙකක් මෙහෙම කරද්දී මේ දේ ඉබේට සිද්ද වෙන්න ගන්නවා. ඒ වගේම ඔයා ගනුදෙනු හවස ලියනවා නම් පුරුද්දක් විදිහට ඔයාට පුළුවන් බිල් දිහා නොබලා ට්‍රයි කරන්න. ඊට පස්සේ පුළුවන් බිල් දිහා බලල ඔයා කොච්චරක් මතක තියන් ඉදලද කියලා බලන්න. ඒ වගේම ගණන් හදද්දී කැල්කියුලේටර් එකක් නැතුව හිතින්ම හදන්න බලන්න. මේ දේවල් ට්‍රේන් වෙද්දී ඔයාට ටික දවසක් යනකොට දැනෙයි ගොඩක් දේවල් ඉක්මනට මතකෙට එනවා කියලා. ඒ කියන්නේ සිහි මදි ගතියක් තේරෙන සිංහලෙන් කිවුවොත් ටියුබ්ලයිට් ගතියක් එහෙම තිබ්බ නම් දැන් එහෙම නෑ වගේ ඔයාට දැනෙයි.

ඒ වගේම මයින්ඩ් පැලස් එකක් හදාගෙන යන ඔයාගේ ගමනට ඔයා ඉන්න පරිසරය ගැන අවදානෙන් ඉන්න එක අනිවාර්ය දෙයක්. පොඩ්ඩක් වටේ පිටේ වෙන දේවල්, නිව්ස්, ලෝකේ වෙන දේවල් එහෙම දැනන් ඉන්න එක අමතර වාසියක් වෙයි. මේ කිවේ ගොසිප් ගැන නම් නෙමෙයි. වැදගත් දේවල් ගැන. ඒ වගේම පොත් පත් කියවන එකත් ලොකු වාසියක්. මොකද පොත් කියවද්දී ඔයාගේ මනස පුරුදු වෙනවා වේගයෙන් දත්ත ඇතුලට ගන්න. ඒ වගේම නොදන්නා දේවල් ඔලුවට වැටුනම ඔයාට ඔයාගේ ජීවිතේ කවදාහරි එහෙම අත්දැකීමක් ආවොත් ඔයාගේ මනස ක්ෂණිකව ක්‍රියාකාරී වෙලා ඒ අත්දැකීම ඔයා පොතෙන් ගත්ත දැනුම එක්ක සංසන්දනය වෙලා ඔයාගේ පෞර්ෂයට හොද දෙයක් එකතු කරනවා. ඉතින් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථා මග හැර ගන්න එපා. මේ කීව අමතර කරුණු ටික ඔයාගේ මයින්ඩ් පැලස් එකට එකතු වූනොත් ඔයාගේ මනසෙත් මොන තරම් දියුණු තත්වයක් ඇති වෙයිද කියල හිතන්නවත් බැහැ නේද.

මේක ඔයාගේ ඇබ්බැහියක් වෙනකන් පුරුදු කරන්න. ඇබ්බැහියක් වෙනකන් තමයි මේක කරන්නත් අමාරුම. මොකද මොලය කියන්නේ වැඩ ගොඩක් කරන දෙයක් නිසා අපි ගොඩක් මේවා කරන්න කම්මැලි වෙනවා. හැබැයි මේ දේවල් වලින් ඔයාට ලැබෙන වාසිය ගැනවත් හිතලා මේක පුරුදු පුහුණු කරන්න උත්සහ ගන්න.

අපේ මේ මනුෂ්‍ය ශරීරයත් පුදුම වැඩ කරනවා නේද. ඉතින් ඔයාගේ ජීවිතේට මයින්ඩ් පැලස් එක හදාගන්න උත්සහ කරන ගමන්ම මේ ගැන ඔයාගේ යාලුවෙක්ටත් කියලා දෙන්න. ඒක එයාලගේ ජීවිතයටත් ගොඩක් වැදගත් වේවි. මේ ගැන තව විස්තර ටිකක් අපි දෙවෙනි ලිපියෙන් කතා කරමු.

-සචිනිකා තත්සරණී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here