හතර වටෙන් නීතිය එළියයි…

නීතිය එළියයි…

2021 Jul 16

‘නීතිය එළියයි’ යනු අපේ රටේ නීති පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසින් සංවිධානය කරන ලද ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාවකි. පහත ලිපිය පදනම් වී ඇත්තේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසලේ උපදේශක සහ අපරාධ නීතිඥ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාගේ, ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් හි කොන්සල් ජෙනරාල්වරයා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගේ සහ රාජ්‍ය හා ජාත්‍යන්තර නීතිය, අපරාධ නීතිය සහ මානව හිමිකම් නීතිය යන ක්ෂේත්‍රවල සේවයේ යෙදෙන, 2005 දී කොළඹ නීති සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණු නීතිඥ කනගසාබායි ෂන්මුගරත්නම් රත්නවෙල් මහතාගේ සහභාගීත්වයෙන් “අපරාධ හා නීතිය” පිළිබඳ සිදු කළ සාකච්ඡාව පදනම් කරගෙන ය.

අපරාධයක් යනු කුමක්ද?

අපරාධයක් යනු සමස්ත සමාජයටම එරෙහිව කරන ලද වරදක්. පුද්ගලයෙකු සමාජයක පවතින සමාජ පිළිවෙත (social order) උඩු යටිකුරු කළ විට එය අපරාධයක්.

අපරාධ වර්ග පිළිබඳව විස්තර කළ හැකිද?

පිළිගත් මූලික චින්තනය වන්නේ අපරාධයක් පුද්ගලික අපරාධ, දේපල අපරාධ, ව්‍යවස්ථාපිත අපරාධ, මූල්‍ය අපරාධ සහ අසම්පුර්ණ අපරාධ ලෙස බෙදිය හැකි බවයි.

පුද්ගලික අපරාධ නම්,පුද්ගලකුට බලපාන පහරදීම, පැහැරගෙන යාම යනාදී වූ පුද්ගලයන්ට එරෙහිව සිදු කරන අපරාධ යි.

දේපල අපරාධ ස්වභාවයෙන් වඩාත් බරපතලයි. උදාහරණයක් ලෙස, යමෙකු වෙනත් පුද්ගලයෙකුට අයත් දේපලක් සඳහා ව්‍යාජ ඔප්පුවක් ලියන්නේ නම් එයට අයිතියක් නැති පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ අයිතිය දක්වමින් ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම සිදුවන්නේ. සොරකම එක් පාර්ශවයකට පමණක් බලපෑම් එල්ල වන පුද්ගලික හානියක් ඇති කරන දෙයක් වුණත්, සමාජය එවැනි ක්‍රියාකාරකම් දෙස පහත් කොට සලකන්නේ, එය සමාජයට එරෙහිව සිදු වන දෙයක් වීමත්, එයට එරෙහිව කටයුතු නොකළොත් සොරකම් කිරීමට අවසර දීමේ මනෝභාවයක් ඇති වීමත් සිදු වෙන්න පුළුවන් නිසා. මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වඩාත් බරපතල දේපල අපරාධ ලෙස සැලකෙනවා.

ව්‍යවස්ථාපිත අපරාධ යනු සාම්ප්‍රදායික අපරාධ නොව විද්‍යාවේ හා සමාජයේ දියුණුවත් සමඟ ඔබටඅසන්නට ලැබෙන අපරාධයි. විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනතේ ප්‍රතිපාදන යටතට වැටෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වන ඇතැම් රසායනික අන්තර්ගතයන් සන්තකයේ තබා ගැනීම ගැන මේ සංවර්ධනයට කලින් සමාජය දැන සිටියේ නැහැ. එවැනි දෙයක් සන්තකයේ තබා ගැනීමම අපරාධයක් ලෙස සැලකෙනවා. මෙම අපරාධ සමාජයේ සමස්ත ව්‍යුහයටම බලපානවා. ඒ වගේම තමයි මත්පැන් ආශ්‍රිත වැරදි වන බීමතින් රිය පැදවීම සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සහ ළඟ තබා ගැනීම වැනි වැරදිත් මේ කොටසට වැටෙනවා.
මූල්‍ය අපරාධවලට චංචල දේපළ සම්බන්ධ වෙනවා. යම් පුද්ගලයෙකු සන්තකයේ දේපළක භාරකාරීත්වය ඇති විටක එම භාරකාරීත්වය උල්ලංඝනය කරමින් එම පුද්ගලයා එම දේපල භුක්ති විදීම හෝ භාවිතා කිරීම කරන විට එය සාපරාධී විශ්වාසය කඩ කිරීම බවට පත් වෙනවා. සාපරාධී අයථා පරිහරණය, වංචාව, සිදුවන්නේ කිසියම් අසත්‍ය නිරූපණයක් සිදු කර යම් දේපලක් පවරා ගැනීමට යමෙකුව යොමු කිරිමේදියි. ඒවා පරණ කාලයට අදාළ මූල්‍ය අපරාධ. සමාජයේ හා ජාත්‍යන්තර වෙළඳාමේ දියුණුවත් සමඟ අපරාධ අන්තර්ජාතික වී තිබෙනවා. එනිසා මිනිසුන් අල්ලස්, දූෂණ හෝ විනිමය පාලන උල්ලංඝනය කිරීම් වැනි අපරාධ සිදු කර අයථා ලෙස උපයාගත් මුදල් වෙනත් රටක මූල්‍ය පද්ධතිය තුළ ආයෝජනය කරන ත්‍රස්තවාදී මූල්‍යකරණය හෝ මුදල් විශුද්ධිකරණය වැනි අපරාධ මේ වනවිට පවතිනවා. අද පරිගණක අපරාධ බහුලව වාර්තා වෙනවා. බැංකුවක හෝ සමාගමක දත්ත ගබඩාවකට අනවසරයෙන් ඇතුලත් වෙලා වෙනත් ගිණුමකට යම් මුදලක් මාරු කිරීමට අණ කිරීම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

අසම්පුර්ණ අපරාධ – කිසියම් ප්‍රධාන වරදකට ආධාර කිරීම සහ අනුබල දීම හෝ ඕනෑම ප්‍රධාන වරදක් කිරීමට කුමන්ත්‍රණය කිරීම අසම්පුර්ණ අපරාධ ලෙස හැඳින්වෙනවා. වැරදි කිරීමට උත්සාහ කිරීම මෙයට ඇතුළත්.

අප ජීවත් වන රාජ්‍යයට හෝ සමාජයට එරෙහි ඕනෑම ක්‍රියාවක් අපරාධයක් ලෙස සලකන්න පුළුවන්.

අත්අඩංගුවට ගැනීමක් කළ හැක්කේ කෙසේද?

අපරාධයක් සිදු වී ඇති බව දැනගත් විට අපි පොලිසියට යනවා. සාම නිලධාරීන් අතරින් අපි වැඩියෙන්ම දැනුවත් කොටස තමයි පොලිස් නිලධාරින්. සාම නිලධාරියෙක් කියන්නේ නීත්‍යානුකූලව පිළිගත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුටයි. පළමුව ඔබ පොලිස් නිලධාරියාට පැමිණිල්ලක් කළ විට, මෙම නිලධාරියා පවතින තොරතුරු අනුව වරදක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් තිබේදැයි විමසා බැලීමක් සිදු කරනවා. සාධාරණ සැකයක් පවතිනවා නම්, අදාළ වරද වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි වරදක් දැයි පොලිස් නිලධාරියා සලකා බලනවා. වඩා බරපතළ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී සලකා බැලෙන්නේ පොලිස් නිලධාරියාට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවක් ලබා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවන නිසා අත්අඩංගුවට ගැනීම සිදු නොකලොත් සමාජයට බරපතල හානියක් ඇති වන අවස්ථාවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛනයේ මෙම බරපතල වැරදි දක්වලා තිබෙනවා. එය සංඥය වරදක් (cognizable offence) නොවේ නම්, වරදට අදාළ කරුණු මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කළ යුතු වෙනවා වගේම ඇතැම් විටෙක මහේස්ත්‍රාත්වරයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට හේතුවක් තිබේද යන කරුණ තෘප්තිමත් කිරීමට සාක්ෂි දැක්වීමටත් සිදුවෙනවා. වරෙන්තුවක් නිකුත් කළ පසු අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකියි.

අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි ක්‍රම 2 ක් තිබෙනවා. එය සංඥය වරදක් නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පුද්ගලයා උසාවියට ​​ඉදිරිපත් කළ හැකියි. එය සංඥය නොවන වරදක් (non-cognizable offence) නම්, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්න අපට මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත්කළ යුතු වෙනවා .

පොලිසියට අමතරව අත්අඩංගුවට ගැනීමක් සිදු කළ හැක්කේ කා හටද?

අතීතයේදී ග්‍රාම සේවකවරුන්ට පොලිස් බලතල ලබා දී තිබුණා. වනජීවී ආඥා පනත (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත) යටතේ වනජීවී නිලධාරීන් පොලිස් රාජකාරි ඉටු කරනවා. රේගු ආඥා පනත යටතේ රේගු නිලධාරීන්, වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නිලධාරීන් සහ ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සාම නිලධාරීන් ලෙස දක්වා තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේදී එය සිදු කරන නිලධාරියා විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට ඒ සඳහා හේතු සඳහන් කළ යුතුද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අත්අඩංගුවට ගැනීම සිදු කල යුතුයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා තමාව අත්අඩංගුවට ගැනීමට හේතු දැන සිටීම එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකමක්. යම් පුද්ගලයෙකු තමාව අත්අඩංගුවට ගැනීම වළකන්න උත්සාහ කරන අවස්ථාවකදී, අත්අඩංගුවට ගැනීම සඳහා අවම බලය භාවිතා කරන්න පුළුවන්.

අවම බලය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බලයක් යොදවන්න හැකි නමුත් ඒ සඳහා සාධාරණ ලෙස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා කිරීමට නොහැකි බව මෙයින් අදහස් කෙරෙනවා.

පුද්ගලයෙකු විමර්ශනයකට ලක්වන අවස්ථාවක දී, එම පුද්ගලයා නියෝජනය කිරීමට නීතිඥවරයෙකු සිටිය යුතුද?

අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තියේ සඳහන් වන්නේ, ඕනෑම අධිකරණයක හෝ යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති ඕනෑම ආයතනයක තම සේවාදායකයා නියෝජනය කිරීමට පුද්ගලයෙකුට අයිතියක් ඇති බවයි.

පොලිස්භාරයේ සිටින පුද්ගලයෙකු පිළිබඳව පොලිසිය සතු යුතුකම කුමක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට අනුව ඔවුන් කුරිරු හා අමානුෂික, පහත් සැලකීමට ලක් නොවිය යුතුයි. තම භාරයේ පසුවන්නන්ට ශාරීරික හෝ මානසික හානියක් නොකිරීමට පොලිසිය බැඳී සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව නිර්දෝෂත්වයේ පූර්වානුමිතිය (presumption of innocence) ගැන කථා කළත් සාමාන්‍ය ජනතාව ප්‍රවෘත්තියක් ඇසූ මොහොතේම පුද්ගලයෙකු වරදකරුවෙකු ලෙස නම් කිරීමට පෙළඹෙනවා. නීතිය මේ දෙස බලන ආකාරය ඔබට පැහැදිලි කළ හැකිද?

13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පුද්ගලයෙකු වැරදිකරු බවට ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂී යැයි අනුමාන කරන බවයි. චූදිතයාට එරෙහිව නගා ඇති චෝදනාවට එම පුද්ගලයා වැරදිකරු බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුයි. අද සිදුවන්නේ, නඩු විභාගයකට පෙර මාධ්‍ය විසින් සිදු කරන ආනාවරණ තුලින් කිසිදු හරස් විභාගයකින් තොරව මතුපිට න්‍යායන් ඉදිරිපත් කිරීමයි. මෙවැනි අවස්ථාවලදී සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය ගැන පදනමක් නැහැ. යුක්තිය ඉටුවීම සඳහා සාක්ෂි නිසි ලෙස විමර්ශනය කළ යුතුයි.

උසාවියට ​​අපහාස කිරීම සාපරාධී වරදක්ද?

යුක්තිය පසිඳලීමට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු උසාවියට ​​අපහාස කිරීමේ වරද සිදු කරනවා. එය සිර දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදක්.

පොලිසිය ඔබ කරන පැමිණිල්ල පිළිගන්නේ නැත්නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පොලිසියට විමර්ශනය කළ හැක්කේ අපරාධ පැමිණිලි මිසක් සිවිල් පැමිණිලි නෙවෙයි. ඒ නිසා ඔවුන් අපරාධයක් පිළිබඳ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබට පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිශන් සභාවට පැමිණිලි කළ හැකියි, නැතහොත් ඔබට අභියාචනාධිකරණයට යා හැකියි.

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය:අංජලී උඩවත්ත (කමිටු සාමාජික, මහජන සුභසාධක කමිටුව 2020-2021)

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here