2021 Aug 30
දරාගන්න බැරි කේන්තියක් ආවම, ඒ කේන්තිය පාලනය කරගන්න අපි එක එක විදිහේ ක්‍රියාකාරකම් කරනවා. මේ හුඟක් දේවල් අපි කරනවාට වඩා “කෙරෙනවා” කිවුවොත් නිවැරදියි. මොකද හේතුව ඇත්තටම ඒ හුඟක් අවස්ථාවල අපි කරන්නෙ මොකක්ද කියන දේ ගැන අවබෝදයක් නැහැ. කේන්ති නිවිලා ගිහින් සන්සුන් වුනාට පස්සෙයි බොහෝවිට ඒ මොහොතේ කළ කි දේවල් ගැන අවබෝද වෙන්නෙ. මේ තත්වය ඉතාම බරපතල අවස්ථාවන් පවා ඇතිකරවිය හැකියි. පවුල් ජීවිත ඇතුලේ, ගෙදර බහින්බස්වීම් වලදී වගේම ගෙදරින් පිටත සමාජයේදී, කාර්යාලයේදී, මිතුරන් සමග සමාගමේදී පවා මේ විදිහට කේන්තිය පාලනය කරගන්න නොහැකි පුද්ගලයින් අපේ සමාජයේ ඕනෑ තරම්. මේ අයගේ ක්‍රියාකාරකම් අතර සුලබම දෙයක් තමයි බඩු පොළවේ ගැසීම, නැතිනම් විසි කිරීම. තමන්ගේ ලඟපාත සිමාවේ තියෙන ඕනෑම දෙයක් කැඩී බිඳී යන විදිහට පොළවේ ගැසීම හෝ විසි කිරීම මෙතැනදී ඔවුන් සිදුකරනවා. හැබැයි මේ විදිහට බඩු පොළවේ ගහල කුඩු කරලා, කේන්තිය නැතිනම් ආතතිය සමනය කරගන්න වෙනමම “බඩු පොදිකරන තැන්” හදල තියෙනවා කිවුවොත් ඔබ තරමක් පුදුම වෙන්න පුළුවන්.
ලෝකයේ හුඟක් අලුත් දේ සොයා ගනිමින් ඉදිරියට යනවා. මේ සිද්දියත් එවැන්නක්. කේන්ති ගියහම හුඟක් දෙනෙක් කරන මේ බඩුමුට්ටු පොඩි කිරීමේ ක්‍රියාකාරකම නිවැරදිව කරමින් තමන්ගේ ආතතිය කළමනාකරණය කරගන්න ජනතාවට අවස්ථාව ලබාදීම වෙනුවෙන් වෙනමම සකස් කළ ස්ථාන නිර්මාණය වෙන්නෙ 2008 හෝ ඊට ආසන්න කාලයක සිට බවයි තොරතුරු වාර්තා වන්නේ. Rage room, Smash room නැතිනම් Anger room කියලත් මේ ස්ථාන හඳුන්වනවා. මුලින්ම ජපානයෙන් මේ සංකල්පය ආරම්භ වූ බවට තොරතුරු වාර්තා වුනත් මේ වෙනකොට ලෝකය පුරා විවිධ රටවල ව්‍යාපාරයක් විදිහට මේ සංකල්පය ක්‍රියාත්මක වනවා. ඒ වගේම මේ Rage room කළමනාකරණය කරන ව්‍යාපාරික ස්ථානවලට හොඳ ඉල්ලුමක් තියෙන බවත් අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා.
මේවා නිර්මාණය කරද්දී ගෙදර සාලය, පැන්ට්‍රි එක, නැතිනම් සම්පූර්ණ හිස් කාමරයක් මේ නොයෙක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඇති තරම් කෑ ගසමින් කුඩුපට්ටම් කරන්න අවශ්‍ය බඩුත් මේ කාමර වල තබා තිබෙනවා. ඊටත් අමතරව කාටහරි ගණුදෙනු කරුවකුට තමන්ට කුඩු කරන්න අවශ්‍ය භාණ්ඩ ගෙදරින් අරගෙන යන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙනුත් පහසුකම් සලසා තිබෙනවා. මේ Range room එකකට යන ඕනෑම කෙනෙකුට ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක්, සහ හිස ආවරණය කරගන්න හෙල්මට් එකක් ලැබෙනවා. ආරක්ෂාව තහවුරු කිරීම මේ සංකල්පයේ වැදගත් අංගයක්. ඊට පස්සේ ඇතුලට ගිහින් තමන්ගේ කේන්තිය, ආතතිය නිවෙන තෙක් බඩුමුට්ටු පොඩි කරන්න ගණුදෙනු කරුවන්ට අවස්ථාව ලැබෙනවා. ලෝකය පුරාම මේ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් පවතින බව සඳහන් වනවා. නමුත් මෙතැනදී බොහෝ විට වැඩිහිටි නැතිනම් වයස අවුරුදු 18ට වැඩි පිරිසට තමයි මේ කටයුත්ත කළ හැකි වන්නේ. ඊට අඩු කෙනෙකුට අවශ්‍ය නම් වැඩිහිටියකු සමග ඔවුන්ගේ එකඟතාව මත පමණක් Rage room එකක් භාවිතා කළ හැකියි.
මේ සංකල්පය මනෝ විද්‍යාත්මකද..? මේ ගැටළුව තවමට් නොවිසඳී පවතින්නක්. ආතති කළමනාකරණය සම්බන්ධයෙන් පර්යේෂණ කරන මනෝ විශේෂඥයින් පවසන්නේ මෙය නොකළ යුතු ක්‍රියාවක් බව. ආතතිය හෝ ඉක්මනින් කේන්ති යාම පවතිනවා නම්, ඔබ අනිවාර්යෙන්ම නිසි උපදේශන සේවා ලබාගත යුතු බව ඔවුන් අවධාරණය කරනවා. එසේ නොමැතිව මෙවැනි ස්ථානයකට යාමෙන් පමණක් ආතති කළමනාකරණය කළ නොහැකි බවත් එය වෙනම විෂයක් නිසා විෂය දැනුම සහිත පුද්ගලයන්ගේ උපදෙස් මත පියවරෙන් පියවර නිසි අධීක්ෂණයකින් යුතුව කළ යුතු බවත් ඔවුන් පවසනවා. කෙසේ නමුත් ආතති කළමනාකරණය පිලිබඳ නිසි විශේෂඥ උපදෙස් ගන්නා අතරතුර මෙවැනි Rage room එකක ක්‍රියාකාරකම් සඳහාත් යොමු වීම ප්‍රථිපලදායක විය හැකි බව තවත් විශේෂඥ පිරිසකගේ මතය වී තිබෙනවා.
ඒ කෙසේ වෙතත් මේ වනවිට ලෝකය පුරා මේ සංකල්පය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රහසක් නොවෙයි. දිනපතා කාර්ය බහුලව ගෙවන ජීවිතය නිසාත්, ගෘහස්ත ජීවිතයේ යම් ගැටළු නිසාත් ආතතියට පත්වෙන බොහෝ දෙනෙක් තමාගේ ආතතිය නිදහස් කරගැනීමට මෙවැනි ස්ථානයකට යාමට පුරුදු වී ඇති බවයි අන්තර්ජාල තොරතුරු වලින් කියවෙන්නෙ. කෙසේ නමුත් ලංකාවේ අපිට මෙවැනි ස්ථානයක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙන බවට නම් තොරතුරු දැනගැනීමට නැහැ. වඩා වැදගත්ම කාරණය නිවැරදිව ආතතිය නැතිනම් කේන්තිය කළමනාකරණය කරගැනීම බව අපි ඔබට කිව යුතුමයි. තමන් ඒ මොහොතේ මුහුණදෙන හැඟීම මොකක්ද කියන දේ නිවැරදිව තෝරාගෙන අවබෝදයෙන් එය කළමනාකරණය කරගැනීමට තරම් හැකියාවක් පුරුදු පුහුණු කළ යුතුමයි. කේන්ති ගිය නිසා ගේදොර බඩුමුට්ටු කුඩුපට්ටම් කරන්න කලින් නැවත වරක් සිතා බලන්න පුරුදු වීම වඩාත් සුදුසුම වන බවත් මතක් කළ යුතුමයි.
-එන්.වෙහෙරදූව-