හතර වටෙන් ඔයාලා දෙන්නා අතර හැමදාම රණ්ඩුද..?

ඔයාලා දෙන්නා අතර හැමදාම රණ්ඩුද..?

2021 Aug 27

බැඳීම් කියන්නේ අපේ ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්. ඒ අතරින් ගැහැනු පිරිමි අතර ඇති වන බැඳීම අපේ ජීවිතේ විශේෂ අවස්ථාවක් ගොඩනගනවා. එහෙත් අපි ඇතිකරගන්නා මේ බැඳීම් මුළු ජීවිත කාලයම රැදෙන්නේ නැහැ. ඇතැම් ආදර බැඳීම් නොගැළපීම් නිසාම අතරමග නතර කරන්න සිදුවෙනවා. එසේ සිදුවන්නට බලපාන හේතුන් මොනවාද යන්න අපි කතා කළොත් එයින් ප්‍රධානතම හේතුව තමයි එකිනෙකා තේරුම් ගැනීමට අසමත් වීම. අවබෝධය කියන්නේ ආදරේ දී තිබෙන්නට ඕන එක් ප්‍රධාන අංගයක්. නිසි අවබෝධය හා තේරුම් ගැනීම අඩු වුවහොත් ඔබේ ආදර කතාව තුළ ඇති වන්නට පුළුවන් ගැටළු බොහොමයි. ඉතිං ඔබ ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය තේරුම් ගන්නේ කොහොමද?

අද ඉඳලා අපි දෙන්නා දෙදෙනෙක් නෙවෙයි කියලා පෝරුවක පොරොන්දු දුන්නට, ඔයයි මමයි දෙන්නම එක්කෙනෙක් කියලා ආදරෙන් සිප වැළඳ ගත්තාට ඇත්ත මිනිස් සිතුවිලි වලදී දෙදෙනෙක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් අනෙකාට සමාන වෙන්නේ නැහැ. එය ජීව විද්‍යාත්මකව නොවෙන්නට පුළුවන් දෙයක්. ඔබගේ සහකාරිය හෝ සහකරුවා එහෙමත් නැතිනම් ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ රුචි අරුචිකම් හෝ සමානතා, අසමානතා තේරුම් ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.සෑම කෙනෙක්ටම පාහේ වෙනස් ආකාරය පෞරුෂයක් පිහිටා තිබෙන බව ඔබ දන්නා කරුණක්. එබැවින් ඔබ කුමන ආකාරයේ කෙනෙකු සමඟ පෙමින් වෙළුණු ද දෙදෙනා එක වහලක් යටට යන විට පළමු කොට මේ පිළිබඳව අවබෝධ කරගත යුතු වනවා. ඔහුගේ හෝ ඇයගේ ආකල්ප මොනවාද? රුචි අරුචිකම් සහ ජීවත් වන්නට කැමති කුමන පරිසරයක ද? පෞරුෂ ලක්ෂණයන් සහ දුබලතා මොනවාද? යන්න කියන මේ කාරණා සියල්ල වටහා ගැනීමෙන් දෙදෙනාට සාර්ථක ජීවිතයක් ගත කරන්න පිටුවහලක් වනවා.

ඔබගේ සහකරුවා හෝ සහකාරිය හඳුනා ගැනීම එතරම් වැදගත් ද?

ඇත්තෙන්ම ඔව්. සරලව කිවහොත් එකිනෙකා තේරුම් ගැනීමෙන් ප්‍රීතිමත් සබඳතාවයක් ගොඩ නැ‍ගෙනවා . එකිනෙකාගේ සිත් තුළ ප්‍රේමය තව තවත් දළුලා වැඩෙන්නට පටන් ගන්නවා. දෙදෙනාට සැකසංකා දුරු කොට ගෙන ප්‍රීතිමත් ලෙස කාලය ගත කිරීමට වගේම එකිනෙකා තේරුම් ගැනීම ඒකට එක හේතුවක් වෙනවා. ඔබගේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගන්නට නම් ඔහුව හෝ ඇයව විනිශ්චයට ලක් නොකරන්න.

චෝදනා හෝ බැණවැදීම් වලට අපි කොයි කවුරුත් කැමැති වන්නේ නැත. බැඳීමක් හැමදාම සතුටින්ම ගලාගන යන්නේ නැත. අඬදඹර, ආඩම්බර කම් හෝ සිත් රිදවීම් ඇති වීමට පුළුවන්. මෙවන් අවස්ථාවලදී ඔබගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාට චෝදනා කරන්න පුළුවන්. බැන වදින්න පුළුවන්.එමගින් දෙදෙනාගේ බැඳීමට හානි සිදු වෙන්න පුළුවන් . ඕනෑම ප්‍රශ්නයක් විවෘත ලෙස කතාකර විසඳගන්න. ප්‍රශ්න ඇසීමෙන් තොරව විනිශ්චයකට ලක් නොකරන්න. ඔහුට හෝ ඇයට හොඳින් සවන් දෙන්න.

ඔබගේ සහකරුවා හෝ සහකාරිය අවබෝධ කරගන්න නම් හොඳ සවන් දෙන්නකු බවට පත් වෙන්නට ඔබට සිදු වෙනවා .හොඳින් සවන් දීමෙන් එකිනෙකාගේ හදවත් තුළ දෝලනය වන හැඟීම්, සිතුම් පැතුම් නිරායාසයෙන් තේරුම් ගැනීමට හැකි වෙනවා. එමගින් එකිනෙකාගේ සිතේ ගලායන ප්‍රේමය ද නිරායාසයෙන් එකිනෙකාට වැටහී යනවා. එමගින් තව තවත් බැඳීම ශක්තිමත් බැඳීමක් බවට පත්වෙනවා.

අනෙකාගේ දුක් වේදනාවන් අවබෝධ කරගන්න.

වර්තමානයේ දී දුක සහ වේදනාව අවබෝධ කරගන්නට හැකියාව ඇති අය දකින්නට ලැබෙන්නේ බොහෝම අතළොස්සයි. ඔබගේ ආදරවන්තියගේ හෝ ආදරවන්තයාගේ සිතෙහි ඇතිවන දුක සහ දෙගිඩියාව අවබෝධ කරගන්නට බලන්න. ඔබට ඔහුගේ හෝ ඇයගේ දුක තේරුම් යන බව දන්වන්නට හරින්න .එමගින් ඔබේ ආදරණීය බැඳීම් වඩ වඩාත් ශක්තිමත් වේවි .

ඔහුගේ හෝ ඇයගේ උවමනාවන් පිළිබඳව විමසන්න.

ඔබ නිහඩ වීම හෝ සන්නිවේදනය නොකිරීම ශක්තිමත් බැඳීමකට බාධාවක් වෙන්න පුළුවන්. තමන්ට කිසියම් හෝ වුවමනාවක් තිබෙනවා නම් එය පවසන්නට කිසිසේත්ම නොපැකිලෙන්න.

මට උණු තේ එකක් හදල දෙනවද?
මට කටට රසට කෑම ටිකක් හදලා දෙනවද?
එහෙමත් නැතිනම් මට හාද්දක් දෙනවද ?

පිරිමි පාර්ශවය අදහස් විවෘතව ප්‍රකාශ කළ ද ගැහැණු පාර්ශවයන් සෑම විටම තමන්ගේ උවමනා එපා කම් ඉඟි කිරීමට පෙළඹෙයි .එම ඉඟිය තේරුම් ගන්නට අසමත් වුවහොත් අඬදබරයන් ,බහින්බස් වීම් ඇති වන සෑම මොහොතකම “ඇයි ඔයාට මාව තේරුම් ගන්නට බැරි? ” වගේ දේවල් ඇයගේ කටින් පිට වන්නට පුළුවන්.

මේ නිසා ආදර බැඳීමකදි දෙදෙනා තුළම දෙදෙනා කෙරෙහි නිසි අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. තේරුම් ගැනීම නිසාම දෙදෙනා අතර රන්ඩු සරුවල් ඇතිවීමට ඇති ඉඩකඩ අවම වෙනවා.

-මන්දාකිණි පතිරණ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here