2021 Sep 13
2021 වසර පටන් ගත්තේ බොහෝ අභියෝගයන් සමගයි .විශේෂයෙන්ම මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය ඔබට, මට හරිම වෙහෙසකරයි. කෝවිඩ් 19 වෛරසය අපේ ජීවිතයත් සමග හොල්මං කරන්නට පටන් ගත්ත දවසෙ ඉඳන් අපිට නිවනක් නැහැ.
බොහෝ දෙනෙකුට ප්‍රියයන්ගෙන් වෙන් වීම්, ප්‍රියයන් මරණයට පත්වීම්, හදිසි අනතුරකින් ආබාධයට ලක්වීම්, දික්කසාද ,එදිනෙදා ජීවිතයේ වියදම් ,නිවාස ණය ගෙවන්නේ කොහොමද? මේ ආදීන් හේතුත් මත කෙනකු දැඩි සේ දුකට පත් වන්නට පුළුවන්. අපේ සිතට දුක ,සතුට ,ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය ,සාංකාව සියල්ල ඇතුළු වන්නේ නිරායාසයෙනි. එහෙමත් නැතිනම් අප නොදැනුවත්වය. දුක යනු මෙම හැඟීම් වලින් එකක් වුවත් බොහෝ වෙලාවට අප දුක සිතට හැංගෙනවා වැඩි . ජීවත්වීමේදී බොහෝ විට සතුටට සාපේක්ෂව දුක සමඟ කාලය ගත කරන්නට වෙනවා වැඩි. සතුට සහ දුක මේ හැඟීම් දෙක තමයි ජීවිතේ බොහෝ වෙනස්කම්වලට මුලපුරන හේතූන්. දුක නිසාම බොහෝ අයවලුන් මානසික පීඩාවන් අත්විඳිනවා. එහෙත් ඒ ගැන වැඩි දෙනා අවධානය යොමු කරන්නේ නැත . එවැනි තත්වයකදී යළි ජීවිතය ගොඩ නංවා ගන්න ඔබ කළ යුත්තේ කුමක්ද? අද මම ඔබට කියන්න යන්නේ ඒ පිළිබදවයි.
දැඩි මානසික පීඩනයකි දී මනස ක්‍රියා කරන හැටි
Denial pace බොහෝ දෙනා මේ තත්ත්වය ගැන අසා නොතිබෙනවා වෙන්න පුළුවන්.මොකක්ද මේ denial pace කියන්නේ? විශාල කම්පනයක් හෝ දුකක් ඇති වුනහම එය ශාරීරිකව හා මානසිකව විවිධ ආකාරයට බලපායි. හිතන්න රිය අනතුරකින් හෝ කිසියම් ලෙඩක් වැලදි ඔබේ සැමියා ,බිරිඳ, දරුවා ,හෝ මව පියා නැති වුවහොත් ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? දරාගත නොහැකි දුකක් සහ කළකිරීමක් නේද? මේ අවස්ථාවේදී සිදුවූ දෙය මනස විසින් පිළිනොගන්නා අවස්ථාවක් ඇති වේ. මේ ප්‍රතික්‍රියාව සිදුවෙන්නේ පුද්ගලයා නොදැනුවත්වයි. උදාහරණ ලෙස දැක් වුවහොත් තම ආදරවන්තයා හෝ සිය සැමියාගේ වියෝව තමා පිළිගන්නේ නැහැ. මෙයට හේතුව මනසේ ඇතිවෙන විශාල කම්පාවයි. නැති වූ පුද්ගලයා තමා අසල සිටින බව දැනේ . ඔහු යළිත් තමා වෙත එයි යැයි බලාපොරොත්තුවෙන් සිටි. මේ තත්ත්වය සති තුන හතරක් පමණ කාලයක් මනසේ රැඳී තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය නිසාම සෑම මොහොතකම මියගිය පුද්ගලයා සිහියට නැඟේ. එම නිසා නිතර හඬා වැළපෙයි ,අධික ලෙස කේන්ති යයි , කෑම අරුචිය, බොහෝ වෙලා නිදා ගැනීම ,අසල තිබෙන බඩුමුට්ටු පොළොවේ ගැසීම වැනි මේ ආදී තත්ත්වයන් මතු වන්නට පුළුවන්. එහෙත් මෙය මානසික රෝගී තත්ත්වයක් නොවේ. හදිසියේම දරාගැනීමට වූ වියෝව මනසට දරාගන්නට බැරි වීමෙන් මෙවන් ගැටලු මතුවේ. එය දුක නැමැති ප්‍රතික්‍රියාවේ කොටසක්.
එම දුකෙන් අත් මිදීමට නම් කළ යුත්තේ කුමක්ද?
කෙසේ නමුත් ඉහත තත්ත්වයට මුහුණ දුන් හෝ මුහුණ දෙන අය අප අතර ඕනෑ තරම් සිටී. එහෙත් තම සමීපතයින්ගේ වියෝව කොතෙක් විඳ දරා ගැනීමට අපහසු වුවත් ඊට මුහුණ දුන් කෙනෙකුට ඒ ශක්තිය නිසාම ජීවිතය නැතිකර ගැනීමට නොහැකිය. ඔවුන්ට එහෙම සිදුකරගන්න සිතන්නේද නැහැ. කෙසේ නමුත් මනෝ විද්‍යාවේ පවසන ආකාරයට මෙවැනි සිදුවීමක් වූ පසු මාස හයක පමණ කාලයක් යන විට ටිකෙන් ටික පුද්ගලයා යථා තත්ත්වෙට පත් වෙයි. ඒ ඔබ නොදැනුවත්වම මනස විසින් ජීවිතය ගෙන යාමට අරමුණු සොයා දෙන නිසයි. එහෙත් මාස හයක කාලයක් කියන්නේ සුළුපටු කාලයක් නොවෙයි. මේ තත්ත්වයට පත්වෙන ඕනෑම කෙනෙකු ඉතා දුක්බරව තමයි කාලය ගෙවන්නේ . හිතන්න ඔබට මේ සිදුවීම අත් වූවා කියා. ඔබට මියගිය පුද්ගලයාව සෑම මොහොතකම සිහියට නැගී දෙනෙතට කඳුළු උනන්නට පුළුවන්. එහෙත් හැමදාම මියගිය පුද්ගලයා ගැන සිතමින් කාලය ගෙවන්නටද බැහැ. ඔබට අලුතින් ජීවිතය ආරම්භ කරන්නට වෙනවා. ඒත් ඒක සිතන තරම් සුළුපටු කාර්යයක් නොවේ. බොහෝ වේලාවන්වලදී පරිසරය අපගේ මනසේ තිබෙන පීඩාව දුරලන්නට සමත් වෙනවා.
ඔබ දන්නවාද යන්තම් බිම් කරුවල බිඳගෙන ඉර නැගගෙන එද්දී පරිසරයේ තිබෙන අපූරුව. ඒ අපූර්ව විඳමින් නිහැඬියාවේ පොඩ්ඩක් දෑස පියාගෙන හිත එකග වන භාවනාවකට විනාඩි කිහිපයක් වෙන් කරන්න. ඔබට නිරායාසයෙන් හිතට පහසුවක් දැනේවි. ඒ මොහොතෙම සිතන්න ඔබට දැනටමත් උරුම වෙලා තියෙන දේවල් ගැන . සිතට සතුටක් දැනෙනවා නේද? ඒ දේවල් වලට හදවතින්ම ස්තුති වන්න . ඔබට කිසියම් ආදායම් මාර්ගයක් තිබෙනවා, හිසට සෙවණක් තිබෙනවා ,කුසට ආහාරයක් සහ අදින්න ඇඳුම් බොහෝ තිබෙනවා. මේ දේවල් ගැන සිතා තමාට නැති වූ දේට වඩා තමාට තිබෙන දේ ගැන සිතා සතුට කියන කාන්දම සිතට ළං කරගන්න. ඔබට සතුටුදායක සිතුවිලිම ගලා ඒවි. ඒ වගේම ඔබට අහිමි වූ දේවල් ගැන සිතමින් තැවි තැවි කාලය ගත කරන්නට යන්නට එපා . පසුගිය අතීතය ගැන හිතලා තැවෙන්නට ද එපා. ඒක අපිට වෙනස් කරන්නට බැහැ. කතාවක් තියෙන්නෙ “උන දේ උනා වුනා, ගිය දේ ගියා, ඉස්සරහට මුහුණ දෙන්න” මේ වැකියේ තිබෙන්නේ ද මා ඔබට කියන්නට තනන දෙයයි.
අපිට ඇත්තටම උරුම වෙලා තිබෙන්නේ අපි ගෙවන මේ නිමේශය පමණයි නේද?
හදවතින්ම රැඳෙන්න, සතුට හිතෙන ධනාත්මක සිතුවිලි වලින් සිත පුරෝගන්න. පරිසරයට සොබාදහමට ලෙන්ගතුව ආදරය කරන්න. එහෙව් ආදරේකට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරන්න. එවිට මම කිව්ව සතුටු කාන්දම තව තවත් සතුටුදායක සිතුවිලි ඔබේ සිතට සමීප කරවයි.ඔබ සිතනවාට වඩා ඔබ හරිම වාසනාවන්තයි.
-මන්දාකිනි පතිරණ –