හතර වටෙන් ලස්සන වෙන්න මිනිස්සු කරන බය හිතෙන දේවල් …

ලස්සන වෙන්න මිනිස්සු කරන බය හිතෙන දේවල් …

2021 Sep 8

ලස්සන වෙනවානම් ඕනේ දෙයක් මුණේ උලාගන්න අපි ගොඩක් දෙනෙක් දෙපාරක් නම් හිතන්නේ නැහැ. මොකද ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනේ. කෙනෙක් කෑම බීම පාලනය කරලා කෙට්ටු වෙන්න උත්සහ කරනකොට තවත් කෙනෙක් දකින හැමදේම කාලා කොහොමහරි පොඩ්ඩක් මහත් වෙන්න උත්සහ කරනවා. ලංකාවේ කෙනෙක් මොනවහරි ආලේප කරලා සුදු වෙන්න උත්සහ කරනකොට විදෙස් රට වල අය එක එක දේවල් කරලා දුඹුරු සමක් ලබා ගන්න උත්සහ කරනවා.

ඉතින් මේ ලෝකේ හැමෝම රහසින් හරි මොනවම හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා ලස්සන වෙන්න. ලස්සන කියන දේ සාපේක්ෂ දෙයක් නිසා අපි කාටවත්ම කියන්න බැහැ මේ දේවල් කරන්න එපා, මේ විදිහ කැතයි කියලා. මේක තමයි ලස්සනම කියලා. ඔයාට කැතම දේ තව කෙනෙක්ගේ ලස්සනම දේ වෙන්නත් පුළුවන්.

එකී මෙකී නොකී ඕනෑම විදිහකින් ලස්සන වෙන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. මේ කියන්න යන දේවල් ඇහුවම ඔයාට නම් හිතෙයි ලස්සන වෙන්න මේ දේවල් කරන්න වෙනවා නම් සල්ලි දීල අවලස්සන වෙන එක හොදයි කියලා.

 

ආඳන් එක්ක නෑම

Eel exfoliation baths: what a raving mad idea | Beauty | The Guardian

හරිම අවුල් වගේ නේද?? ඔව් ඉතින් අවුල් තමයි. ලස්සන ගඟක මාළු එක්ක පීනනවා වගේ වැඩක් නම් නෙමෙයි මේක. ආඳා කියන්නේ සෙවල සහිත ලිස්සන සුළු මාලුවෙක්නේ. එහෙම මාළු ගොඩක් අස්සේ නාන එක කීයටවත් එච්චර සුන්දර අත්දැකීමක් නම් නෙමෙයි. චීනේ ඉන්න අය අතර ප්‍රසිද්ද තෙරපි ක්‍රමයක් වෙන මේ ආඳන් යොදාගෙන කරන සත්කාරයට පැන්සල් තරම් කුඩා ආඳන් ව තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම මේ ක්‍රමය ලස්සන පැහැපත් දීප්තිමත් හමක් ඇති කරගන්න ගොඩක් සාර්ථක ක්‍රමයක් කියල චීන්නු නම් කියනවා. හැබැයි මේ ක්‍රමයෙන් ටිකක් අවුල් ප්‍රතිපල ලබාදෙන්න වූනත් පුළුවන්ලු. ඒ කියන්නේ මේ මාළු ඉතා කුඩා සහ ලිස්සන සුළු නිසා සිරුර ඇතුලට යන්න උනත් අවස්තාව තියෙනවා. එහෙම අවස්ථා වාර්තා වෙලත් තියෙනවා. මේක රිස්කි ට්‍රීට්මන්ට් එකක් වූනාට ගාන නම් සෑහෙන්න වැඩියි කියල තමයි ආරංචිය. ඇත්තට ආඳන්ටත් ගිය කලක් නේද?

 

පටිපනුවන් ඇති කීරීම. (බඩවැල තුල)

tape worm weight loss ad FDA

An ad for tape worms promising weight loss. FDA/Flickr

ඊයා අනේ කියල තමයි හිතෙන්නේ. ඒත් කෙට්ටු වෙන එක අනික් හැම දේටම වඩා මුලට දාගත්ත අය නම් මේ වැඩේ කිසිම අපහසුවක් නැතුව කරනවලු. බර අඩු කරගන්න කොච්චර උනන්දු උනත් කෑම බීම පරිස්සමකින් තොරව භාවිතා කරද්දී අනිවාර්යෙන්ම දහනය වෙනවට වඩා කැලරි ප්‍රමාණයක් ඇඟ ඇතුලට යනවා. එත් ගොඩක් අය කම්මැලි කමටම එක්සසයිස් කරන්නේ නැතුව කෑම පාලනය කරලා කෙට්ටු වෙන්න තමයි ට්‍රයි කරන්නේ. ඔයත් කෙට්ටු වෙන්න උත්සහ කරලා තියෙනවා නම් මේක ඇත්ත කියල දන්නවනේ.

කම්මැලි කමට ඉදල කෙට්ටු වෙන්නත් හිතේ තියන් ඉන්න අයගේ හොදම ඔප්ෂන් එකක්ලු තමන්ගේ බඩවැල ඇතුලේ පටිපනුවෙකුට නවාතැන් පහසුකම් සපයන එක. හැම පටිපනුවම මේ වැඩේට හරියන්නෙත් නැහැලු. කොහොමහරි මේ අදාළ වර්ගයෙන් එක්කෙනෙක් හුරතලේට ඇති කරනවා වගේ බඩ ඇතුලේ ඇති කරන්න ගත්තොත් ඒ පනුවා අපි කන කෑම වලින් කොටසක් එයාගේ පරිභෝජනයට ගන්නවා. එතකොට කෙට්ටු වෙනවා කියල තමයි කියන්නේ. ඒ වුණාට කල් යද්දී මේ පණුව ඕනෑවට වඩා ලොකු වෙනවා. මේ වැඩේ ඉස්සර මිනිස්සු කරපු වැඩක්. මෙච්චර ෆැට් බර්නර්ස් තියෙන ලෝකේ පටිපනුවෝ හුරතල් කරන්න තරම් මෝඩ වෙන්නේ මොකටද නේද.

කොහොම වුණත් ඔයත් ව්‍යායාම නොකර නිකන්ම කෙට්ටු වෙන්න කැමති කෙනෙක් නම් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. හෝව් හෝව් මම පොඩි විහිළුවක් කළේ . ඒක එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි . මොකද මේ පටිපනුවෝ නිසා ආහාර අරුචිය, ඇඟ කෙට්ටු වීම, පාචනය, පෝෂණ ඌනතා, අන්ධ බව, වගේම මරණය වුණත් අත්වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කිවුවේ ඔයාගේ දැනගැනීම පිණිස පමණයි.

 

 

වැදැමහ යොදාගෙන හදන ආලේපන

34000mg Sheep Placenta Capsules Nutra Life Women Beauty Health Supplement Vitality Anti Aging Rejuvenate Jing Immunity Libido|Sets| - AliExpress

බයෝ කරපු අය දන්නවනේ මේ මොකක්ද මේ කියලා. මේ තමයි ගැබිණි ක්ෂීරපායි සතුන් තුල වැඩෙන කලලයට ඔක්සිජන්, පෝෂ්‍ය කොටස් පෙරලා ලබා දෙන්න වගේම කලලයේ බහිශ්‍රාවී කටයුතු වලට පිහිටලා තියෙන අවයවය. ජීවියෙක් බිහි වූනායින් පස්සේ මේ අවයවය වැඩක් නෑ. නමුත් මේ අවයවය තුල විවිද පෝෂක කොටස් අන්තර්ගත වෙලා තියෙනවා කියල ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විවිධ ආලේපන වර්ග හදන්න යොදාගන්නවා. මේකට බහුතරයක් සමාගම් යොදාගන්නේ බැටළු වැදැමහ. සමහර විට මිනිස් ඒවත් භාවිතා වෙනවලු. කොහොම භාවිතා වූනත් මේක ලස්සන වෙන්න සුදුසු ක්‍රමයක් කියල නම් තවම කිසිම පරීක්ෂණයකින් හොයාගෙන නෑ. මේ තුල අන්තර්ගත හෝමෝන නිසා මේවා යොදාගෙන හදන ආලේපන වලින් මිනිස් සිරුරේ හෝමෝන වෙනස් වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියල නම් අනතුරු අගවල තියෙනවලු. කෝකටත් හොඳයි මේ වගේ දේවල් භාවිතා කරන්නේ නැතුව එළවළුවක් පළතුරක් කාල ලස්සනට ඉන්න එක.

 

ගොලුබෙල්ලෝ ෆේෂල්

Top 10 weird spa treatments

මේ ෆේෂල් එක ගැන නම් දැන් අවුරුදු කිහිපයකට කලින් සෑහෙන්න කතා වූනා. සමහර විට ඔයා මේ ගැන නම් දන්නවත් ඇති. ගැහැණු පිරිමි අපි හැමෝටම කරන්න පුළුවන් එක එක ජාතියේ ෆේෂල් ඕනෑතරම් තියෙනවනේ. එත් ගොළු බෙල්ලෝ? ගොළු බෙල්ලෝ කිව්වම ඉතින් ස්ත්‍රී පාර්ශවයට තමයි වැඩිම පිළිකුලක් එන්නේ, හැබැයි මේ ට්‍රීට්මන්ට් එක වැඩියෙන් කරගන්න උනන්දුත් එයාලම තමයි. ඉතින් තේරෙනවනේ නේද ලස්සන වෙන්න තියෙන වුවමනාව.

මේ ක්‍රියාවලියේදී වෙන්නේ ඔයාව හාන්සි කරවලා ගොලුබෙල්ලෝ සෙට් එකක් මුණ උඩින් තියනවා. එයාලට පොඩ්ඩක් ජොගින් කරලා වොර්ම් අප් වෙන්න. අපිට කොහොම මේක බලපෑවත් ගොළු බෙල්ලන්ට නම් හොදයි. මොකද සෑහෙන වෙලාවක් ඇවිදින්න හම්බවෙනවනෙ. හැබැයි මෙයාල එහෙම හෙමින් හෙමින් මුණ පුරා ඇවිදගෙන යනකොට ශ්‍රාවය වෙන සෙවල වලින් වයසට ගිය ලක්ෂණ හංගන්න පුළුවන් කියල තමයි විශ්වාස කරන්නේ. ස්ට්‍රෙච් මාක්ස්, කුරුලෑ, ලප කැළැල් ඔය මුණේ තියෙන හැම ප්‍රශ්නෙකටම හොදයි කියල තමයි කියන්නේ. (නෑ නෑ ගොලුබෙල්ලෝ නෙමෙයි කියන්නේ මේ ට්‍රීට්මන්ට් එක හොයාගෙන තියෙන අය) හැබැයි විද්‍යාවෙන් නම් මේ මොනවත් ඔප්පු කරලා නෑ.

ගොලුබෙල්ලෝ මුණ පුරා දුවන එක අප්පිරිය අය වෙනුවෙන් ගොලුබෙලි ශ්‍රාවය අන්තර්ගත නිෂ්පාදන වෙලදපොලේ තියෙනවා. කැමති අය ඔය මල් ගස් අස්සේ එහෙම ඉන්න ගොලුබෙල්ලෙක් දෙන්නෙක් අල්ලන් මුණ උඩ තියන් ඉදල බලන්න. වයස යන එකට හොදද කියල බලන්න ගෙවල් වල ඉන්න ආච්චි අම්මලාගේ මූණු උඩ එහෙම ගොලුබෙල්ලෝ තියනවා එහෙම නෙමෙයි ඔන්න.

 

ගව ශුක්‍රානු

BULL SPERM: Scientific Breakthrough Shows Why It Helps In Rapid Hair Growth - MojiDelano.Com

අප්පිරියයි කියල නිකං ඉන්නද. ලස්සන වෙන එක ඊට වඩා ලොකුයිනේ. ඔයත් එහෙම හිතනවා නම් අත්හදා බලන්න. මේවා හෙයා මාස්ක් වලටයි තව කොණ්ඩෙට කරන එක එක සත්කාර වලටයි යොදාගන්නවා.

ගව ශුක්‍රානු වල අධික ප්‍රෝටීන් සංයුතියක් තියන නිසා කොණ්ඩෙට හොදයි කියල තමයි මේ ට්‍රීට්මන්ට් කරන අය කියන්නේ. දැන් ඉතින් ගොවිපලවල් ලග බෝඩ් එහෙම දායි සුමුදු දිගු රන්වන් කෙස් කලබකට වෘෂභ තෛලය කියල එහෙම. ඒ නිසා පරිස්සමෙන්.

සැ.යු – මේ කොරෝනා ජර මර අස්සේ ගෙදරට කොටු වෙලා ඉන්න ඔයාලට මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියල කරපු පොඩි දැනුවත් කිරීමක් විතරයි මේ. මේවා කරන්න කියල නම් අපි කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේම ලංකාවේ නොවුණට මේ වගේ ගොඩක් දේවල් ලෝකේ පුරාම සිද්ධ වෙනවා. මේ වගේ තවත් බියුටි සීක්‍රට්ස් ඔයත් දන්නවා නම් ඒ ගැන පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

එස් . තත්සරණී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here