හතර වටෙන් ලංකාව තුළ මිනීමැරුමක් සිදුකර ඔබට එයින් ගැලවෙන්න පුළුවන්ද..?

ලංකාව තුළ මිනීමැරුමක් සිදුකර ඔබට එයින් ගැලවෙන්න පුළුවන්ද..?

2021 Sep 15

දැඩි චිත්තවේගීය කෝපයක් මිනීමැරීමකට මඟ පෑදිය හැක. එය පුද්ගලයෙකුගේ අභ්‍යන්තර කෝපය තෘප්තිමත් කරන නමුත්, එහි ප්‍රතිවිපාක ගැන සිතා තිබෙනවා ද? අපරාධකරුවන් සමාජයට තර්ජනයක් වන බැවින් ඔවුන්ට සමාජයේ නිදහසේ වාසය කිරීමට නීතියෙන් අවසර නැත. ශ්‍රී ලංකා නීති පද්ධතිය යටතේ මිනීමැරීමේ අපරාධය විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ මිනීමැරුමක ප්‍රතිවිපාක පිලිබඳව දැනුවත් කර මෙම අපරාධය කිරීමට පෙලඹෙන්නන්ව අධෛර්යමත් කිරීමයි.

 

“නීතිය එලියයි“යනු නීතිය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා පවත්වනු ලැබූ ත්‍රිභාෂික  නීති සාකච්ඡා මාලාවකි. ලතින් භාෂාවේ සඳහන් ” ignorantia legis neminem excusat ” යන කියමන, “නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ” යනුවෙන් පරිවර්තනය වේ. ශ්‍රී  ලංකා නීති ශිෂ්‍ය  සංසදයේ මහජන සුබසාධක කමිටුව, අප රටේ නීතිය සරල ලෙස අර්ථ නිරෑපනය කිරීම මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උත්සාහ දරයි. එහි 5 වන සාකච්ඡාවේ අවධානය යොමු වූයේ, “මිනීමැරුම” කෙරෙහිය.

 

මෙම සාකච්ඡාවට ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ද, නීතිඥ නයනත විජේසුන්දර මහතා ද,  නීතිඥ තිරුකුමාරන් විශ්වලිංගම් මහතා ද සහභාගී වූහ.

 

මිනීමැරීම කියන්නේ කුමක්ද?

 

මිනීමැරීම කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය අවසන් කිරීමේ චේතනාවෙන් පුද්ගලයෙකුව ජීවිතක්‍ෂයට පත් කිරීමේ ක්‍රියාවයි. උදාහරණයකට, යම් පුද්ගලයෙක් රෝගයකින් පෙළෙන අවස්ථාවක, චූදිතයා තම ක්‍රියාව ඔහුගේ මරණයට හේතු වන බව දැන දැනම ඔහුට හානියක් සිදු කරන්නේ නම්, එය මිනීමැරුමක් ලෙස සැලකෙනවා. මේ අවස්ථාවේ චූදිතයාට (මිනීමරුවා) ඒ පිළිබඳ දැනුමක් තිබිලා තිබෙනවා. ඒ නිසා මිනීමැරීමකදි “දැනුම”(Knowledge) ඉතාමත් වැදගත් අංගයක්.

 

යම්කිසි ක්රියාවක් මිනීමැරීමක් ලෙස බොහෝ විට සමාජය විසින් වටහාගෙන ඇත්තේ එයින් මෘත ශරීරයක් හටගෙන ඇති විටයි. නමුත් මළ සිරුරක් නොමැති විට මිනීමැරුම් වරදකට පුද්ගලයෙක් දඬුවමට ලක් කෙරෙන්නේ කොහොමද?

 

සාධාරණ සැකයකින් ඔබ්බට පුද්ගලයෙක් අපරාධයකට වැරදිකරු බව ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ නීතිපති වරයාට නොහොත් රජයටයි (පැමිණිලි පක්‍ෂයටයි). මිනීමැරීමක් තහවුරු කිරීම සඳහා කරුණු 3 ක් ඔප්පු කළ යුතුයි. 1) පුද්ගලයෙක් මරණයට පත්ව තිබිය යුතුයි 2) මරණයට හේතු වූ ක්‍රියාව චූදිතයා විසින් සිදු කර තිබිය යුතුයි 3) චූදිතයාට එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත් කිරීම පිලිබඳව දැනුම(knowledge) හෝ අභිප්‍රාය/චේතනාව(Intention) තිබිය යුතුයි. මිනීමැරුමක හොඳම සාක්ෂිය මෘත ශරීරයයි. මිනීමරුවාට මළ සිරුර විනාශ කළ හැකි නමුත් මළ සිරුරක් නොතිබීමෙන් මිනීමැරීමේ අපරාධය අවලංගු වන්නේ නැහැ. මිනීමැරුම සිදු වූ බව සනාථ කිරීමට ප්‍රබල වූ පරිවේශණීය (අවස්ථානුකූල) සාක්ෂි(circumstantial evidence) ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

 

චේතනාව තිබීම මත පමණක් පුද්ගලයෙක් මිනීමැරීමක වැරදිකරැවෙක් වෙන්නේ කොහොමද?

 

චේතනාව(Intention) මිනීමැරීමේ වැදගත් අංගයක්.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව, මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් හෝ තමා කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින් ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තෙක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරද සිදු කරනවා.

යම් පුද්ගලයෙක් මරණයට හේතු විය හැකි ශාරීරික තුවාලයක්/හානියක් කිරීමෙන් හෝ මරණය වීමට ඉඩ ඇති බව දනිමින් ම යම් ක්‍රියාවක් කිරීමෙන් ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක වැරදිකරු වෙනවා. මරණය සිදු කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කළොත් මෙය මිනීමැරුමක් බවට පත්වෙනවා.

තවද, ශාරීරික පාඩුවක් යම් තැනැත්තකුට කිරීමේ අදහසින් එය කරනු ලැබ, එසේ කිරීමට අදහස් කරනු ලැබූ ශාරීරික පාඩුව ස්වභාවික සංසිද්ධීන් අතර/සාමාන්‍ය ක්‍රියාමාර්ග තුළ දී මරණය සිදු කිරීමට ප්‍රමාණවත් නම් එයද මිනීමැරුමක් බවට පත්වෙනවා.

 

මිනීමැරුමක් කළ කෙනෙකුට ශ්රී ලංකාවේ නීතිය මගින් නියම කර ඇති දඬුවම කුමක්ද?

 

දඬුවම නම් මරණීය ඳණ්ඩනයයි. කෙසේ වෙතත් පසුගිය වසර 45 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ කිසිම පුද්ගලයෙක්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නැත.

 

මිනීමැරුම් චූදිතයෙකු අත්අඩංගුවට ගත් විට නීතිය යටතේ ඇති ක්රියා පටිපාටිය කුමක්ද?

 

පුද්ගලයෙක් මිනීමැරුමක සැකකරැවෙක් නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. ඇප ලබා දෙන්න පුලුවන් මහාධිකරණයට පමණයි.

 

මිනීමැරීමට තැත් කිරීම කියන්නේ කුමක්ද? එයට ලැබෙන දඬුවම කුමක්ද?

මිනීමැරීමට තැත් කිරීම කියන්නේ විත්තිකරු වින්දිතයා මැරීමට දැරෑ උත්සහයක් අසාර්ථක වීමයි. උදාහරණයකට, පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට තුවක්කුවක් එල්ල කල අවස්ථාවක ඔහුට එම පුද්ගලයාව මඟ හැරුණු විට, එය මිනීමැරීමට තැත් කිරීමේ අපරාධයකට සමාන වෙනවා.

මිනීමැරීමට තැත් කිරීමේ වරදට වසර 10 ක සිර දඬුවමක් සහ දඩයක් නියම කෙරෙනවා. පුද්ගලයාට ශාරීරික තුවාල සිදු කර තිබේ නම්, තුවාලවල බරපතලකම අනුව දඬුවම වසර 20 ක් දක්වා දීර්ඝ කෙරෙන්න පුලුවන්.

 

යම් පුද්ගලයෙක් මිතුරෙක් විසින් සිදු කල මිනීමැරුමක් පිළිබඳ සාක්ෂි විනාශ කරන්නේ නම්, එය අපරාධයක් ?

 

ඔව්. එය අපරාධයකට සමාන වන්නේ එය යුක්තියට බාධාවක් වන නිසායි.

 

පුද්ගලයන් කිහිපදෙනෙක් මිනීමැරීමක් සැලසුම් කරන විට, ඔවුන් සියල්ලෝම මිනීමැරුමට වගකිව යුතු වෙනවා ? ඔවුන් සියල්ලන්ම මිනීමැරීමට ඍජුවම සම්බන්ධ නොවී එම ස්ථානයේ රැඳී සිටියා පමණක් නම් කුමක් සිදුවේද?

 

දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් මිනීමැරුමක් කිරීමට සැලසුම් කරන්නේ නම් එය මිනීමැරීමේ කුමන්ත්‍රණයක් වෙනවා. මංකොල්ල කල්ලියක් බැංකුවකට ගොස් ආරක්ෂක නිලධාරියා අභිභවා එම ක්‍රියාවලියේදී එක් පුද්ගලයෙක් පිහියෙන් ඇන ඇත්නම්, පොදු මිනීමැරැම් චේතනාවක් ඇති සෑම කෙනෙකුම එම මිනීමැරුමට වගකිව යුතු වෙනවා.

 

නීතිපතිට එරෙහිව පොට්ට නව්ෆර්  නඩුවේදී, මිනීමැරුම මෙහෙයවල තිබෙන්නේ බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙක්. මිනීමැරුම ක්‍රියාත්මක කර තිබෙන්නේ සිරගෙයින් පිටත සිටි පිරිසක්. දුරකථන ඇමතුමක් මගින් කුමන්ත්‍රණය සිදු වූ බවට සාක්ෂි හමු වී තිබුනා. කුමන්ත්‍රණයට සහභාගී වූ අය සියලු දෙනාම මිනීමැරීමේ වරදකරැවන් බවට පත් වුනා.

 

නීතිය, පාර්ශවයන්ගේ චේතනාව සෝදිසි කර බලනවා. උදාහරණයකට, එක් පුද්ගලයෙක් ගසක මුදුනේ සෝදිසියෙන් සිටියදී, තවත් අයෙක් වින්දිතයා පැහැරගෙන ගොස් තවත් දෙදෙනෙකු ඔහුට පිහියෙන් ඇන මරා දමන ලෙසට සංවිධානය වී කටයුතු කලොත්; ඊට සම්බන්ධ සෑම කෙනෙකුම සමානව වගකිව යුතු වන අතර සියලු දෙනාටම නීතියෙන් දඬුවම් ලැබෙනවා. නීතිය බලන්නේ “ක්‍රියාකාරී සහභාගීත්වය” දෙසයි.

 

හානි කිරීම සහ බරපතළ තුවාල සිදු කිරීම මිනීමැරීමට සමානද? මොකක්ද වෙනස?

එය සමාන නැහැ, අවසාන ප්‍රතිඵලයේ වෙනසක් තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 310 කොටසට අනුව, යම් තැනැත්තකුට කායික වේදනාවක්, රෝගයක් හෝ දුර්වලතාවයක් සිදු කරන තැනැත්තා “තුවාල සිදු කළ ලෙස” සලකනු ලබනවා.

311 කොටසට අනුව, පුරුෂ ශක්තිය නැති කිරීම(අපෞරැෂායණය), එක් ඇසක පෙනීම නිත්‍ය ලෙස නැති කිරීම, එක් කනක ඇසීම නිත්‍ය ලෙස නැති කිරීම, යම් අවයවයක් හෝ ග්‍රන්ථියක් විනාශ කිරීම, යම් අවයවයක හෝ ග්‍රන්ථියක බලය විනාශ කිරීම හෝ නිත්‍ය ලෙස දුර්වල කිරීම, හිස හෝ මුහුණ නිත්‍ය ලෙස විරූප කිරීම, ඇටයක් හෝ දතක් බිඳීම හෝ ගැලවීම, ජීවිතය අන්තරාදායක තත්ත්වයකට පමුණුවන්නා වූ හෝ වේදනා විඳින්නා දවස් විස්සක කාලයක් තුළ බරපතළ කායික වේදනාවකින් සිටීමට හේතු වන අන්දමේ හෝ තමාගේ පුරුදු රැකිරක්ෂාවකට යාමට නො හැකි වන අන්දමේ යම් තුවාල සිදු කිරීම “බරපතල තුවාල” ලෙස  හඳුන්වා තිබෙනවා.

 

තම ශරීරයට හෝ වෙනත් කෙනෙකුගේ ශරීරයට හෝ තම දේපළට තර්ජනයක් ඇති අවස්ථාවක, ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්රියා කිරීම මිනීමැරීමේ වරදකට සමාන වෙනවාද?

 

ඔබේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කෙනෙක් මරණයට පත් කල හැකි නමුත් එයට සීමාවන් තිබෙනවා; ආරක්‍ෂාව සඳහා බලධාරීන් වෙත යාමට ප්‍රමාණවත් කාලයක් ඔබට තිබුනේනම්, පුද්ගලික ආරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට ඔබට හැකියාවක් නැහැ. ඒ හා සමානව ඔබට අවශ්‍ය ප්‍රමාණයට  වඩා හානියක් සිදු කරන්නත් හැකියාවක් නැත. ඔබව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බලය යොදවා ක්‍රියා කරන්න ඔබට පුලුවන්. ඔබ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා ඇති අයිතිය ඉක්මවා කටයුතු කලොත් ඔබ මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක වැරදිකරුවකු බවට පත්වෙන්න පුලුවන්.

 

මිනීමැරීමේ සිදුවීමක් දුටු අයෙකු කල යුතු දේ කුමක්ද?

 

මිනීමැරීම සිදු වූ ස්ථානයේ ඔබ දුටු සියලු විස්තර සටහන් කරගන්න. ඔබට ඒ මොහොතේ ඇතිවන කම්පනය නිසා වැදගත් තොරතුරු මග හැරීමේ ප්‍රවණතාවක් පවතිනවා. එම සියලු තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට ලබා දෙන්න.

 

මිනීමැරීමක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක්ව නීතිමය රාමුව මගින් ආරක්ෂා කරන්නේ කොහොමද?

 

වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනත මඟින් සාක්‍ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා අයිතිවාසිකම් දක්වා තිබෙනවා. ඔබට යම් තර්ජනයක් තිබෙනවා නම්, පොලිසියෙන් හෝ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අධිකාරියේ සහාය ලබා ගන්න පුලුවන්.

 

“Alibi” නොහොත්අන්යස්ථානිකභාවයකියන්නේ කුමක්ද? මිනීමැරුම් නඩු විභාගයකදී එය කෙතරම් වැදගත් ?

 

Alibi (නොතැනියාව) කියන්නේ පුද්ගලයෙක් අපරාධය සිදු වූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයේ නොව වෙනත් තැනක සිටි බව පැවසීමයි. එය අධිකරණයේදී ඔප්පු කර පෙන්වා දිය හැකිනම් පුද්ගලයාට එම අපරාධය කිරීමට ඇති හැකියාව එයින් බැහැර වෙනවා.

 

දරුවෙක් හෝ යෞවනයෙක් මිනීමැරුමක් සිදුකරන තත්වයක් පිළිබඳව නීතිය බලන්නේ කොහොමද? වැඩිහිටියෙකු විසින් දරුවෙක් යොදවා දරැවා නොදැනුවත්ව මිනීමැරුමක් සිදු කරන විට, එවැනි තත්වයක් පිළිබඳව නීතිය බලන්නේ කොහොමද

 

දරුවා ව්‍යවස්ථාපිත වයස් සීමාවට වඩා අඩු නම් ඔහු ව‍රදකරැවෙක් වෙන්නෙ නෑ. වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමයින් වගකිව යුතු නමුත් මිනීමැරුම සම්බන්ධයෙන් දරුවෙකුට මරණීය ඳණ්ඩනය නියම කරන්නෙ නෑ. වැඩිහිටියෙක් දරුවෙකුව භාවිතා කරන විට, වැඩිහිටියා වරදකරු වෙනවා.

 

වින්දිතයාගේ පවුලට වන්දි ඉල්ලන්න පුලුවන්ද සඳහා ඔවුන් සිවිල් නඩුවක් ගොනු කළ යුතුද?

 

ඔව්, ඔවුන් සිවිල් නඩුවක් ගොනු කළ යුතුයි. සෑම අපරාධයක්ම සමාජයට එරෙහි වරදක්.

 

මිනීමැරුම් නඩු බොහෝවිට මාධ්යයේ මැදිහත්වීමට ලක්වන අතර විත්තිකරු අධිකරණ තීන්දුව ප්රකාශයට පත් කිරීමට පෙර වැරදිකරු යැයි විනිශ්චය කරනු ලැබෙනවා. මෙහිදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

 

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය බොහෝ විට වාර්තා කරන්නේ පියවි ඇසට පෙනෙන දෙයයි. අධිකරණය සොයා බලන්නේ විත්තිකරු නීතියේ රාමුව තුළ කටයුතු කර තිබේද යන්න සහ එම පුද්ගලයා මිනීමැරුමක වැරදිකරු බවට සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී තිබේද යන්න යි. මුලදී ඇසි දුටු සැනින් යමක් විනිශ්චය කිරීම මිනිස් ප්‍රවණතාවක් වුනත් උසාවියේදී මෙය සිදු වෙන්නේ නෑ.

 

මෙම නීති ව්යවස්ථාදායකයේ වර්ධනයත් සමඟ අනාගතයේ දී වෙනස් වීමට ඉඩ ඇත.”

 

 

ඹබට සම්පූර්ණ සාකච්ඡාව ‘Law Students Association of Sri Lanka’ YouTube නාළිකාව ඔස්සේ, භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

 

පරිවර්තනය – අවිශ්ක ප‍්‍රනාන්දු.

ශ්‍රී  ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here