හතර වටෙන් සාමාන්‍ය නීතිය යටතේ විවාහය…

සාමාන්‍ය නීතිය යටතේ විවාහය…

2021 Oct 14

“නීතිය ඵළියයි” යනු, නීතිය පිළිබඳව මහජනයාගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව විසින් පවත්වනු ලැබූ ත්‍රීභාෂා නීති සාකච්ඡා මාලාවකි. ලතින් භාෂාවේ සඳහන් ” ignorantia legis neminem excusat ” යන කියමන, “නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ” යනුවෙන් පරිවර්තනය වේ.  ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව, අප රටේ නීතිය සරල ලෙස අර්ථ නිරෑපනය කිරීම මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උත්සාහ දරයි. ඵහි හයවන සාකච්ඡාව මගින් පුද්ගලයන්ට ඇති අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා “විවාහ නීති” කෙරෙහි අවධානය යොමු කළේය.

 

මෙම සාකච්ඡාවට වෙරිටාස් ඇකඩමියේ සභාපති, නීතීඥ නිසල් කොහොන මහතා සහභාගී විය.

 

  1. නීතියට අනුව විවාහය යනු කුමක්ද? විවිධ විවාහ වලට අදාළ නීති මොනවාද?

 

විවාහය කියන්නේ  නීතියට අනුකූලව සාදන ලද ගිවිසුමක්. එය නිදහස් පුරුෂයෙකු හා නිදහස් කාන්තාවක් ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර පවතින සමිතිය තුළ අන්‍යෝන්‍ය වශයෙන් ජීවත් වීමට එකග වීමයි.

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ නීතියට රෝම ලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතිය සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා. 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ (MRO) සාමාන්‍ය නීතිය යටතේ විවාහයට අදාළ නීති සඳහන් කර තිබෙනවා.  මෙම ආඥා පනත විවිධ ජනවාර්ගික හා ආගමික විශ්වාසයන්ට අයත් පුද්ගලයින් අතර විවාහයන් සඳහා අදාළ වෙනවා. උඩරට සිංහලයින්ට සාමාන්‍ය නීතිය හෝ උඩරට නීතිය මඟින් පාලනය වීමට තෝරා ගන්න පුලුවන්. මුස්ලිම්වරුන් අතර ගිවිසුම් ගත වූ විවාහයන් පිළිබඳ MRO හි විධිවිධාන අදාළ නොවන නිසා ඔවුන් එයින් පාලනය වන්නේ නෑ

 

  1. වලංගු විවාහ වර්ග මොනවාද?

 

ලියාපදිංචි විවාහ:

සාමාන්‍ය නීතියට අනුව MRO හි පූර්විකාවේ දක්වා ඇති පරිදි ඉස්ලාම් දහම අනුගමනය කරන පුරවැසියන් හැර සෙසු ඕනෑම පුරවැසියෙකුට මෙම ආඥා පනත යටතේ විවාහයක් කර ගන්න පුලුවන්.

විවාහයක් ලියාපදිංචි කිරීමේදී, MRO හි 23 වගන්තයේ  සිට 36 වගන්තියට දක්වා ඇති පියවර විවාහ රෙජිස්ට්‍රාර්වරයා  විසින් අනුගමනය කළ යුතුයි. විවාහ සහතිකය නිකුත් කිරීම පිලිබඳව MRO හි 26 වන වගන්තියේ දක්වා තිබෙනවා. ඊට අනුකූලව, MRO යටතේ විවාහයක් වලංගු යැයි තහවුරු කෙරෙනවා.

 

23 (1) – පාර්ශවයන් දින 10 ක් ලංකාවේ පදිංචිව සිට ඇත්දැයි සොයා බැලිය යුතු අතර එක් පාර්ශවයක් තමන් පදිංචි කොට්ඨාසයේ විිවාහ ලේකම්වරයාට දැන්වීමක් කළ හැක.

23 (2) – එකම කොට්ඨාශය තුළ නොමැති නම්, විවාහ ලේකම්වරයාට දැනුම් දිය යුතුය

23 (3) – එක් පාර්ශවයක් ශ්‍රී ලංකාවේ පදිංචි නැතිනම් අනෙක් පාර්ශවය විසින් දැන්වීම කළ යුතුයි.

23 (4) – කිසිදු පාර්ශවයක් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු නොවේ නම්, දැන්වීම ලබා දෙන පාර්ශවය විවාහයට පෙර දින 4 කට නොඅඩු කාලයක් ලංකාවේ පදිංචි ව සිටිය යුතුයි.

 

25 වන වගන්තියට අනුව, එවැනි දැන්වීම් ලැබීමෙන් පසව,  විවාහ ලේකම්වරයා විසින් “විවාහ දැන්වීම් පොතේ” එම විස්තර ඇතුළත් කරයි. එවිට එම දැන්වීම ප්‍රකාශනයක් ලෙස සලකනු ලැබේ. ඉන් පසුව විවාහ ලේකම්වරයා විසින් 26 වන වගන්තියට අනුව විවාහ සහතිකය නිකුත් කරයි.

 

චාර්ත්රානුකූල විවාහ;

 

සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව සිදු කරන ලද විවාහයන් උසාවිය විසින් පිලිගනු ලබනවා. චාරිත්‍රානුකූල විවාහයේ සියළුම අවශ්‍යතා අනුගමනය කර තිබේ නම්, ආඥා පනතේ සීමාවෙන් බැහැරව වලංගු විවාහයකට එළඹෙන්න පුලුවන්.

 

  1. විවාහය ලියාපදිංචි කිරීම අත්යවශ් ?

ආඥා පනතට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. නමුත්, විවාහය සිදුවූ බවට සහ එහි වලංගුභාවය සඳහා ඇති හොඳම සාක්ෂිය, විවාහ ලේඛනයේ ඇති සටහනයි. අධිකරණය විවාහ රෙජිස්ට්‍රාර්වරයා විසින් විවාහ ලේඛනයේ  දක්වා ඇති තොරතුරු සලකා බැලීමක් සිදු කරනවා. (විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ MRO අංක 41).

 

සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් ඇතිවන  විවාහය (cohabitation) පූර්ව නිගමනයක්ව  පවතින අතර එය ප්‍රතික්‍ෂේප විය හැකි උපකල්පනයක් ලෙස නීතිය විසින් පිළිගෙන තිබෙනවා.  ලියාපදිංචි නොවූවත්, විවිධ ජනවාර්ගික ජාතීන් සහ ඔවුන් අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව සිදු කර ඇති චාරිත්‍රානුකූල විවාහ වලංගු යැයි නීතිය විසින් පිළිගෙන තිබෙනවා.

 

  1. විවාහ ගිවිසුමක් ඇති කර ගත හැක්කේ කාටද? එයට අදාල වයස, හැකියාව සහ තහනම් ඥාති සබඳතා පිලිබඳව සැලකිය යුතු කරැණු මොනවාද?

 

MRO හී 15 වන වගන්තියට අනුව 1995 ට පෙර පිරිමින්ට අවුරුදු 16 ක් ද කාන්තාවන්ට අවුරුදු 12 ද සම්පුර්ණව තිබිය යුතු වුණා. කෙසේ වෙතත්, 1995 අංක 18 දරණ සංශෝධන පනතෙන් පසු දෙපාර්ශවයටම අවුරුදු 18 සම්පූර්ණව තිබිය යුතුය. තියගරාජා එරෙහිව  කුරුක්කල් (1923) 25 NLR 69 නඩුවෙන් මෙය තහවුරු වුණා.  මෙම නඩුවේදී, විවාහයට ඇතුළු වන විට දැරියගේ වයස අවුරුදු 11 යි මාස 1 ක්. ඒ අනුව, විවාහය අවලංගු බවට උසාවිය තීන්දුව ලබා දී තිබෙනවා . (ගුණරත්නම් එරෙහිව රෙජිස්ටාර් ජෙනරාල්).

 

16 වගන්තියට අනුව තහනම් ඥාති සබඳතා පිළිබඳව පහත සඳහන් අවස්ථා ගැන සඳහන් වේ.

 

  1. එක් පාර්ශවයක් ඍජු ලෙස අනෙක් පාර්ශවයෙන් පැවත එන විට

 

  1. එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් අතර (තමාගේම හෝ අර්ධ සහෝදර සහෝදරියන් අතර)

 

  1. c) දෙමාපියන් සහ ඔවුන්ගේ සුළු දරුවන් අතර

 

18 වගන්තියට අනුව, කිසිඳු පාර්ශවයක් පෙර එක විවාහයක් සිදු කර ඇති අවස්ථාවක එවැනි විවාහයක් නීත්‍යානුකූලව විසුරුවා හැරීමකින් හෝ අවලංගු කිරීමකින් තොරව  ගිවිසුම්ගත කරන කිසිදු විවාහයක් වලංගු නොවන බව සදහන් කර තිබෙනවා. (හෙට්ටිආරච්චි එරෙහිව  හෙට්ටිආරච්චි) (2004) 3 SLR 116 නඩුවෙන් මෙය තහවුරු වුණා.

MRO හි 17 වගන්තියෙන් සඳහන් කරන්නේ තහනම් ඥාති සම්බන්ධතාවයක් තුල වන ඕනෑම විවාහයක් හෝ එකට ජීවත්වීම  වරදක් ලෙස සැලකෙන අතර වසරකට නොවැඩි කාලයක් සිර දඬුවම් ලැබිය හැකි බවයි.

 

  1. එකට ජිවත් වීම (cohabitation) කියන්නේ කුමක්ද?

 

සංවාසය කියන්නේ පාර්ශව දෙකක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වීමත් ඔවුන්ගේ ඥාතීන් හා හිතවතුන් විසින් ඔවුන්ව විවාහක යුවළක් ලෙස පිලිගෙන ඇති අවස්ථාවකටයි. එය සහමුලින්ම උපකල්පනයක් නොහොත් පූර්ව නිගමනයක් මත පදනම් වූවක්. නමුත් එම උපකල්පනය ප්‍රතික්‍ෂේප වන්නට පුලුවන්. සංවාසය යනුවෙන් අදහස් කරන්නේ දෙදෙනෙක් යම් කාලයක් සැමියා සහ බිරිඳ ලෙස එකට ජීවත් වීමයි. ප්‍රසිද්ධිය කියන්නේ විවාහක යුවළක් ලෙස සමාජය විසින් ඔවුන් පිළිගැනීමයි. පුරුෂයෙකු හා ස්ත්‍රියක් සැමියා සහ භාර්යාව ලෙස එකට ජීවත් වී ඇති විට නීතිය ඊට අනුරූපව එසේ නොවන බව ඔප්පු වන තුරු ඔවුන් එකට ජීවත් වූයේ අනියම් සබඳතාවක ප්‍රතිපලයක් ලෙස නොව විවාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස බව පිලිගන්නවා.

 

සංවාසය පදනම් වන්නේ හුදු උපකල්පනයක් මත පමණක් බවත් ඔවුන් එකට ජීවත් වන බව සාධාරණීකරණය කිරීමෙන් පමණක් වලංගු විවාහයක් සිදු නොවන බවත් සැලකිල්ලට ගත යුතුයි. (ඔවුන් යුවලක් ලෙස ජීවත් වූ බවට වැඩි ඇඟවීමකින් පෙන්විය යුතුයි). උපකල්පනය ප්‍රතික්ෂේප කිරීමේ භාරය පැවරී ඇත්තේ නීත්‍යානුකූල විවාහයක් සිදු නොවූ බවටත් ඔවුන් අවිවාහකව  සිටින බවටත් චෝදනා කරන පුද්ගලයාටයි. ප්‍රනාන්දු එරෙහිව දාබරේරා නඩුවේ දෙපාර්ශවයම සංවාසයෙන් සිට මියගොස් සිටි අතර ඔවුන්ගේ විවාහය ලියාපදිංචි වූ බවට සාක්ෂි නොමැති හෙයින් එවැනි පාර්ශවයන් විවාහ වී සිටියද යන්න සොයා බැලිය යුතුව තිබුණා. පැවති එකම සාක්ෂිය වූයේ ඔවුන් එකිනෙකාට සලකා තිබූ ආකාරයයි. උසාවිය කියා සිටියේ සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් විවාහය පැවති බව නීතියෙන් පිළිගත හැකි බවයි.

 

උඩරට පාර්ශවයන් සම්බන්ධයෙන් සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් හෙවත් සහජීවනයේ උපකල්පනය වලංගු නොවේ. උඩරට විවාහ සහ දික්කසාද පනත (KMDA) විශේෂයෙන් සඳහන් කරන්නේ එවැනි පනතක් යටතේ ලියාපදිංචිය අනිවාර්ය වන අතර MRO හෝ KMDA යටතේ ලියාපදිංචි නොවන විවාහයක් වලංගු නොවන බවයි.

 

  1. චාරිත්රානුකූල විවාහයක් (customary marriage) කියන්නේ කුමක්ද?

 

චාරිත්‍රානුකූලල විවාහයක් කියන්නේ යම් රටක හෝ ප්‍රදේශයක සිරිත් විසින් පිලිගනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකූලව ගිවිසුම්ගත කරන විවාහයකටයි. MRO හි මේ සම්බන්ධයෙන් නිශ්චිත නීති විධිවිධාන දක්වල නෑ. ඒවා බොහෝ දුරට නඩු තීන්දු අනුසාරයෙන් පිලිගනු ලැබේ. සාමාන්‍යයෙන් එකම ජනවාර්ගික, ආගමික හෝ ප්‍රදේශවල චාරිත්‍ර වාරිත්‍ර  වලට අනුව චාරිත්‍රානුකූල විවාහයන් සිදු කරන්න පුලුවන්.

චාරිත්‍රානුකූල විවාහයන් පාලනය කරනු ලබන්නේ ලංකාවේ ස්ථාපිත කර ඇති චාරිත්‍රානුකූල නීතින් විසින් වන අතර, උඩරට වැසියන් සඳහා KMDA ද, මුස්ලිම් වැසියන් සඳහා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ද යාපන දෙමළ ජනයා සඳහා තෙසවලමෛ නීතිය ද අදාල වෙනවා. වෙනත් ඕනෑම ජන වාර්ගිකයෙකුට MRO යටතේ විවාහයකට ඇතුළත් වන්න පුලුවන්.

 

  1. ලංකාවේ දැනට තිබෙන විවිධ විවාහ නීති මොනවාද?

 

කිසියම් පාර්ශවයක් චාරිත්‍රානුකූල විවාහයේ සීමාව තුලට වැටේ නම්, ඔවුන්ට එවැනි චාරිත්‍රානුකූල නීති යටතේ විවාහයක් සිදු කළ හැකි අතර, එම චාරිත්‍ර වලට අදාළව එවැනි විවාහයක් පාලනය වෙනවා. එසේ නැත්නම් යම් පාර්ශවයකට සාමාන්‍ය නීතිය යටතේ MRO ට අනුව විවාහයකට පිවිසෙන්න පුලුවන්.

 

උදාහරණයක් ලෙස, ඕනෑම පාර්ශවයකට MRO යටතේ ද ලියාපදිංචි වීමට KMDA අවසර දී ඇති නමුත් එවැනි පනතක් යටතේ විවාහයක් ලියාපදිංචි වන තුරු විවාහයක් වලංගු වන්නේ නෑ.

 

  1. පුද්ගලයෙකුට විවාහ වීමට කැමති නීතියක් තෝරා ගන්න පුලුවන්ද?

 

ඔව්, යම් පුද්ගලයෙකුට තමා අනුගමනය කරන ඇදහිල්ලට අනුව විවාහ වීමට සහ එවැනි චාරිත්‍රානුකූල නීති හැර වෙනත් ඕනෑම නීතියක් යටතේ ලියාපදිංචි වීමට චාරිත්‍රානුකූල පනත මඟින් ඉඩ ලබා දේ නම්, ඔවුන්ට එය කරන්න පුලුවන්.

විවාහයකට එළඹෙන එක් පාර්ශවයක් එවැනි චාරිත්‍රානුකූල නීතියට යටත්  නොවන අවස්ථා තිබෙන්න පුලුවන්. එම නිසා  ඕනෑම පුද්ගලයෙක් තම විවාහය ලියාපදිංචි කළ යුත්තේ කුමන නීතිය යටතේ ද යන්න තෝරා ගැනීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුයි.

 

උඩරට විවාහය

 

  1. උඩරට විවාහ නීතිය ගැන සාකච්ඡා කරමුද? පුද්ගලයන් දෙදෙනාම උඩරට විය යුතුද?

 

පූර්විකාවේ දක්වා ඇති පරිදි උඩරට විවාහ හා දික්කසාද සඳහා අදාළ වන්නේ උඩරට විවාහ හා දික්කසාද පනතයි (KMDA). 1850 වන විට උඩරට පළාතේ පදිංචි ව සිටි ඕනෑම උඩරට ජාතිකයෙකුට හෝ ඉහත කී කාණ්ඩයෙන් පැවත එන ඕනෑම අයෙකුට මෙම නීතිය යටතේ විවාහයක් කර ගැනීමට KMDA ඉඩ සලසා දී තිබෙනවා.

 

එම නිසා KMDA යටතේ විවාහයකට අයදුම් කිරීම සඳහා දෙපාර්ශවයම උඩරට වැසියන් විය යුතුයි. කෙසේ වෙතත්, තම කැමැත්ත පරිදි විවාහය KMDA හෝ MRO යටතේ ලියාපදිංචි කර ගැනීමට පාර්ශවයන්ට බලය ලබා දී තිබෙනවා.

 

  1. උඩරට විවාහයක් ලියාපදිංචි කිරීම අනිවාර්යද?

 

KMDA 3 (1) (අ) වගන්තියට අනුව උඩරට නීතියට යටත් වන පුද්ගලයෙකුගේ විවාහය මෙම පනත යටතේ හෝ MRO යටතේ හෝ ලියාපදිංචි කළ යුතු බවත් 3 (1) (ආ) වගන්තියට අනුව එවැනි විවාහයක් ලියාපදිංචි නොකළ ඇත්නම් එම විවාහය වලංගු නොවන බවත් සඳහන්ව තිබෙනවා.

 

එම නිසා KMDA යටතේ ඕනෑම පාර්ශවයක් විවාහයක් සිදු කරන්නේ නම් ලියාපදිංචිය අනිවාර්යයි. කෙසේ වෙතත්, උඩරට වැසියෙකුට වුවද KMDA ඉඩ සලසා දී ඇති ආකාරයට MRO යටතේ ලියාපදිංචි වී ඇති අවස්ථාවක වූවද තවමත් KMDA සීමාව තුළ පැවතිය හැකියි.

 

  1. උඩරට නීතිය යටතේ එක් කාන්තාවක් එක් පුරුෂයෙකුට වඩා විවාහ කර ගැනීමේ ස්වභාවයක් තවමත් තිබෙනවාද?

 

උඩරට නීතිය බහු විවාහය සහ බහු පුරැෂ සේවනය පිළිගන්නේ නෑ. සාමාන්‍ය නීතිය යටතේ ද්වී විවාහය සාපරාධී වරදක් වනවා සේම මෙයද ඒ හා සමාන වරදක් ලෙස සැලකෙනවා.

 

  1. උඩරට විවාහ නීතියෙන් උඩරට වැසියෙකුට ඉවත් වී සාමාන් නීතිය යටතේ විවාහ විය හැකිද?

 

ඔව්, ඔවුන්ට MRO යටතේ ලියාපදිංචි වන්න පුලුවන්. එවිට ඔවුන් MRO යටතේ විවාහ හා දික්කසාදයට අදාළ නීතිය මඟින් පාලනය වේ.

 

මෙම නීති ව්යවස්ථාදායකයේ වෙනස්වීම් සමඟ අනාගතයේ දී වෙනස් වීමට ඉඩ ඇති බව සලකන්න

 

 

ඹබට සම්පූර්ණ සාකච්ඡාව ‘Law Students Association of Sri Lanka’ YouTube නාළිකාව ඹස්සේ, නැරඹිය හැකියි.

 

පරිවර්තනය: අවිශ්ක ප‍්‍රනාන්දු සහ අමන්දා විජේසිංහ

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here