2021 Oct 21
“නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡා මාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා දරනු ලබන වෑයමේ එක පියවරක් ලෙස පවත්වන ලද හයවන සාකච්ඡාවේදී, “විවාහ නීති” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්‍යවරියක ලෙස සේවය කරන නීතිඥ මයිසා අසාර් මහත්මිය සහභාගී විය.
1.මුස්ලිම් නීතිය පුද්ගලයෙකුට අදාළ වන්නේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?
මුස්ලිම් පුද්ගලයෙක් ලෙස අපි හඳුන්වන්නේ ඉස්ලාම් දහම අනුගමනය කරන පුද්ගලයෙක්වයි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (MMDA) 2 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනත අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම් ජනතාව හා සම්බන්ධ විවාහ හා දික්කසාද සහ ඒ හා සම්බන්ධ වෙනත් කාරණා සඳහා පමණයි. උපතින් මුස්ලිම් වූ හෝ පරිවර්තනයෙන් මුස්ලිම් වූ කෙනෙක් මුස්ලිම්වරයෙකු ලෙස පිලිගැනෙනවා.
2.මුස්ලිම් විවාහය සම්බන්ධයෙන් අදාළ වන නීතිය කුමක්ද?
මුස්ලිම් විවාහය සම්බන්ධයෙන් අදාළ වන්නේ, 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යි. එය කලින් කලට සංශෝධනය වී තිබෙනවා.
3.ඉස්ලාම් දහමේ නබිතුමා විසින් දෙන ලද විවාහ නීති මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මගින් පිළිබිඹු වෙනවද ද?
යම් දුරකට ඔව්. විවාහය වලංගු වීමට ෂරියා නීතිය යටතේ අඅවශ්‍යතා 5 ක් තිබෙනවා.
- පාර්ශවයන්ට විවාහ වීමේ හැකියාව හෝ විවාහ වීමට හැකියාව තිබිය යුතු යි.
- පාර්ශ්වයන් විවාහයට එකඟ විය යුතු යි. යෝජනාව /පිරිනැමීම සහ පිළිගැනීම තිබිය යුතු යි.
- විවාහයේ විධිමත්භාවය අනුගමනය කළ යුතු යි.
- විවාහයට නීතිමය බාධාවන් නොතිබිය යුතු යි
- මහර් සැපයිය යුතු යි.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 16 වන වගන්තියෙන් ප්‍රකාශ කරන්නේ මුස්ලිම් විවාහයක වලංගුභාවය ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචි නොකිරීම මත රඳා නොපවතින බවයි. එය තීරණය කළ යුත්තේ එවැනි විවාහයක පාර්ශවයන් අයත් නිකායන් ට අදාල වන මුස්ලිම් නීතියට අනුවයි.
මුල් මුස්ලිම් නීතියට පටහැනි ප්‍රතිපාදන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ තිබෙනවා. උදාහරණයක් ලෙස, බහු විවාහ සහ තලාක් ක්‍රියා පටිපාටිය දක්වන්න පුලුවන්. බහු විවාහ සම්බන්ධයෙන් ෂරියා නීතිය විසින් අවධාරණය කරන කොන්දේසි පනතට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි. දික්කසාදය සම්බන්ධව පනතේ නිශ්චිත විධිවිධාන නැති අවස්ථාවල තලාක් දික්කසාද වැඩිවීම බරපතල සමාජ ගැටලුවක් බවට පත්වී ඇති නිසා, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ඇති විධිවිධාන සලකා බැලීම ඉතාමත් වැදගත්.
4.මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව විවාහයට අවම වයස් සීමාවක් නොමැති නමුත්, වැඩිවිය පැමිණීමේ වයස ගැන මුස්ලිම් දහම අවධාරනය කරන අතර වයස අවුරුදු 12 ට අඩු නම් ක්වාසිගෙන් අවසර ලබා ගැනීමට මුස්ලිම් විවාහ හා දික්කසාද පනත විසින් ඉඩ දී ඇත. මෙය මුස්ලිම් විවාහ නීතියේ නිවැරදි පිළිබිඹුවක් ද?
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත, විවාහය සඳහා අවම වයසක් නියම කරන්නේ නෑ. වයස සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත තුල ඇති එකම විධිවිධානය වන 23 වන වගන්තියේ සඳහන් වන ආකාරයට, වයස අවුරුදු 12 සම්පූර්ණ නොවූ මුස්ලිම් ගැහැණු ළමයෙකුට විවාහයක් ලියාපදිංචි කිරීම තහනම් නමුත් දැරිය පදිංචිව සිටින ප්‍රදේශය භාර ක්වාසිගේ අභිමතය අනුව, ඊට අදාල නිවැරදි පරීක්‍ෂණයකින් පසු, විවාහය ලියාපදිංචි කිරීමට අවශ්‍ය අවසරය ලබා ගන්න පුලුවන්.
ෂරියා නීතිය මඟින් අවම විවාහ වයස් සීමාවක් නියම කර නැතත්, විවාහයේ වයස පිළිබඳ සංකල්පය ෂරියා සහ ෆයිග් නීතීන් වල සඳහන් වී තිබෙනවා. කුරානයෙහි විවාහය හෝ වැඩිවිය පැමිණීමේ සහ අභිමතයේ වයස පිළිබඳව පැහැදිලි සඳහනක් දකින්නට පුලුවන්. මේ පිලිබඳව සංකල්ප දෙකක් තියෙනවා.
1) විවාහ වීමේ හෝ වැඩිවිය පැමිණීමේ වයස
2) අභිමතයේ වයස.
වැඩිවිය පැමිණීම කියන්නේ ශාරීරික ධාරිතාවය සහ පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව ඉහළ යන කාල පරිච්ඡේදයක්. මෙය සාපේක්ෂ සංකල්පයක්. ඉස්ලාමීය නීතිවේදීන් කියා සිටින්නේ විවාහයක වගකීම් ඉටු කරන්නට පුද්ගලයෙකුට ශාරීරික හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, හොඳ/මනා විනිශ්චයක් (අභිමතය) ඇති කරගැනීමේ හැකියාව ද සමානව පිහිටීම වැදගත් බවයි.
විවාහ විය හැකි වයස තීරණය වන්නේ වැඩිවිය පැමිණීම සහ අභිමතයේ වයස (නිවැරදි විනිශ්චය) සම්පූර්ණ වීමෙන්. කෙසේ වෙතත් මෑත අතීතයේ සිදු වී ඇති අපයෝජන ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සඳහා අවම විවාහ වයස් සීමාවක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යවක් තිබෙනවා.
5.අබේසුන්දර එරෙහිව අබේසුන්දර නඩුවේදී සිදුවූ දේ අපි සාකච්ඡා කරමු ද?
ක්‍රිස්ටෝපර් අබේසුන්දර විවාහ ආඥා පනත (MRO) යටතේ නටාලි අබේසුන්දර සමඟ විවාහ වුනා.
ඉන් පසුව ඔහු කාන්ති එදිරිසිංහ සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ඔහු ඔහුගේ බිරිඳ (නටාලි අබේසුන්දර) ට එරෙහිව දිසා අධිකරණයට පැවරෑ දික්කසාද නඩුව ප්‍රතික්‍ෂේප වුනා. පසුව, ක්‍රිස්ටෝපර් සහ කාන්ති ඉස්ලාම් ආගමට හැරී මුස්ලිම් නීතිය යටතේ විවාහ වුනා. ඉන් පසුව ඔහුගේ පළමු බිරිඳ ඔහුට විරුද්ධව ද්විවිවාහයට ඵරෙහිව නඩුවක් ගොනු කළා. ශ්‍රේෂ්‍ඨාධිකරණය කියා සිටියේ විවාහ ආඥා පනත (MRO) ඒකවිවාහක විවාහයන් පමණක් පිළිගන්නා බවත් ක්‍රිස්ටෝපර් සාමාන්‍ය විවාහ ආඥා පනතට සම්බන්ධ ව්‍යවස්ථාපිත වගකීම්වලින් බැඳි ඇති බවයි. ඒ අනුව, ඒකපාර්ශ්වික පරිවර්තනයකින් ඉස්ලාම් ආගමට හැරීමෙන් ඔහුට පළමු විවාහ ගිවිසුමේ ව්‍යවස්ථාපිත බැඳීමෙන් මිදෙන්නට බැහැ.
අද නීතියට අනුව, සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයෙක් විවාහ ගිවිසුමක් ඇති කර ගෙන තිබේ නම්, එවැනි විවාහයක් විසුරුවා හැරීමකින් තොරව, ඒකපාර්ශ්වික පරිවර්තනයක් මගින්, මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහයක් ගිවිසුම් ගත කළ නොහැකියි.
6.දෑවැද්ද මුස්ලිම් විවාහයක් සඳහා නීත්යානුකූල අවශ්යතාවක්ද? (මහර් සහ දෑවැද්ද)
මුස්ලිම් නීතියට අනුව දෑවැද්ද හඳුන්වන්නේ “මහර්” ලෙසයි. සාමාන්‍ය නීතිය යටතේ දෑවැද්ද ලෙස අප දන්නා සංකල්පය මුස්ලිම් නීතියෙන් වෙනස්. ෂරියා නීතියට අනුව, දෑවැද්ද හෝ මහර් යනු විවාහ වන අවස්ථාවේ මනාලයා විසින් මනාලියට පිරිනමන මුදලයි. මහර් ගෙවීම මුස්ලිම් නීතිය යටතේ අනිවාර්යයි. වලංගු විවාහයක් සඳහා ෂරියා නීතිය යටතේ, දෑවැද්ද අත්‍යවශ්‍යයි.
අනෝන්‍ය එකඟතාවයකින් පාර්ශවයන්ට මහර්ගේ ප්‍රමාණය නියම කළ හැකි අතර මනාලියට දෑවැද්දට ඇති අයිතිය අත්හැරීමට පැහැදිලිවම එකඟ වන්න පුලුවන්. මහර් හෝ දෑවැද්ද කියන්නේ මනාලිය සතු අයිතියක්.
කෙසේ වෙතත්, මහර් සැපයීමේ වගකීම ගිවිසුමෙන් පැහැදිලිවම බැහැර කර නැති විට, දෑවැද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් පාර්ශ්වයන් එකඟ වී නැති නම්, කාන්තාවගේ සුන්දරත්වය, වාසනාව, අවබෝධය, ගුණවත්කම, සමාජ තත්වය සහ ඇගේ අධ්‍යාපනය වැනි කාරණා සලකා ගණනය කල නිසි දෑවැද්දකට ඇය හිමිකම් කියනවා.
මහර් සමහර විට කඩිනමින් ලබා ගැනීමට හෝ කල් දමන්න පුලුවන්. කඩිනම් දෑවැද්දක් නම් විවාහය සිදු වූ වහාම සහ ඉල්ලුමට අනුව ගෙවිය යුතුයි. ලේඛකාධිකාරී එය විවාහ සහතිකයේ සටහන් කළ යුතුයි. මහර් කල් දමා ඇත්නම්, කාන්තාවට දෑවැද්ද ලැබෙන තුරු සංජානනීය සම්බන්ධතාවයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට ඇයට හැකියි.
7.සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ පුද්ගලයෙකුට නැවත මුස්ලිම් නීතිය යටතේ විවාහ විය හැකිද?
සාමාන්‍ය නීතිය යටතේ විවාහ ගිවිසුමක් ඇති පුද්ගලයෙකුට දිසා අධිකරණයෙන් දික්කසාදයක් ලබා නොගෙන ඒකපාර්ශ්වික පරිවර්තනයක් මගින් මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහයක් ගිවිසුම්ගත කිරීම තහනම්. දික්කසාදයකින් පසුව ඔහුට මුස්ලිම් බවට පරිවර්තනය වී මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහ ගිවිසුමක් ඇති කරගන්ට පුලුවන්.
8.මුස්ලිම් විවාහයකදී මනාලියගේ කැමැත්ත බලහත්කාරයෙන් ලබාගෙන තිබේ නම්, එම විවාහය මුස්ලිම් නීතිය යටතේ වලංගු වේද?
ඔව්, ඒ මනාලිය වෙනුවෙන් වාලිගේ කැමැත්ත සන්නිවේදනය කර ඇති නිසායි. විවාහ වන අවස්ථාවේ වාලිගේ කැමැත්ත මනාලියගේ කැමැත්ත ලෙස සැලකෙනවා.
ඒ අතරම, විවාහය ඇයගේ අභිමතය පරිදි ගිවිසුම්ගත වී නැති බවට අවශ්‍ය සාක්‍ෂි සපයමින්, විවාහ ගිවිසුම පසු දිනෙක ප්‍රතික්ෂේප කිරීමට මනාලියට අයිතියක් තිබෙනවා.
9.මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් පුරුෂයෙකුට කී වතාවක් විවාහ වීමට අවසර දී තිබේද සහ මුස්ලිම් කාන්තාවකට කී වතාවක් විවාහ විය හැකිද?
මුස්ලිම් පිරිමියෙකුට ඕනෑම කාන්තාවන් ගණනක් විවාහ කරගන්න පුලුවන්. නමුත් එය ඵක් වරකට 4 නොඉක්මවිය යුතුයි. ගැහැනු කෙනෙකුට එක් වරකට එක් ස්වාමිපුරුෂයෙකු පමණක් සිටිය යුතුයි. ඇය වලංගු දික්කසාදයක් ලබාගෙන ඇත්නම් හෝ සැමියාගේ මරණයෙන් පසුව ඉද්දා චාරිත්‍රය නිවැරදිව අනුගමනය කිරීමෙන් පසුව ඇයට දෙවන විවාහයක් සිදු කරන්න පුලුවන්.
කාන්තාවන් බහුතරයක් සමඟ විවාහ වීමට පිරිමි මුස්ලිම්වරයෙකුට පැහැදිලිවම අවසර දී තිබුනත් වැදගත් දෙය නම් පුරුෂයාට තම භාර්‍යාවන් සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කිරීමට නොහැකි නම් (කුරානයෙහි සඳහන් වන පරිදි), ඔහු ඵක් භාර්‍යාවක් පමණක් තබා ගත යුතුයි. භාර්යාවන් 4ක් සමඟ විවාහ වීම උපරිම සීමාවක් මිස ඔහු සතු අයිතියක් නොවේ.
සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)
පරිවර්තනය: අවිශ්ක ප‍්‍රනාන්දු( ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක)
ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.