හතර වටෙන් අම්මා කියනවා ඇහිලාම එපා වුණ දේවල්…

අම්මා කියනවා ඇහිලාම එපා වුණ දේවල්…

2021 Oct 27

මේ රටේ අම්මලාටයි නැන්දලාටයි විශේෂ වුණ කියමන්, කතා, තර්ජන ගර්ජන වගේම අපි ගැන හොයලා බලන විධි තියනවා. ඒවාගෙන් බොහෝමයක්…. අපිට තියන ආදරේට කියන දේවල්. අපි අම්මලා එක්ක කතා කරද්දි කොහොමත් පොඩි බයක්, නුරුස්සනා ගතියක් වගේම ආදරයක් හැංඟිලා තිබුණත් සමහර කතා නම් දවසකට හරි අහන්න නොලැබෙනවා නම් හොඳයි. මේ ඒවාගෙන් සමහරක්.

 

“පුතේ! ඇයි හොඳට කන්නේ නැත්තේ?, තව බෙදාගෙන කන්නකෝ”

මුලින්ම කෑම බෙදද්දි වගේම දෙවනි පාරටත් මේක නම් අනිවාර්‍යයෙන්ම අහන්න ලැබෙනවා. ශ්‍රී ලංකාවට බත් වගේ අපේ අම්මලාට නැන්දලාට මේ කතාව බද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් එක්ක කළවම් කරලා ටිකක් දරුණුවට ආපහු ආපහු කියන මේ කතාව පවුලේ අය කෑමකට එකතු වුණහම, එදිනෙදා කෑම ගනිද්දි වගේම යාළුවෝ ගෙදර ආවහමත් අනිවාර්‍යයෙන්ම අහන්න ලැබෙනවා. තවත් කන්න බැරි තරම්ම බඩ පිරිලා කියලා අපි කියනකම් මේ කතාව නවතින්නේ නෑ. මේ කතාවේ විහිළු බව නිසාම සමාජ මාධ්‍ය වල විහිළු කතා ගණනාවකට මේක මාතෘකාවක් වෙලා.

මෙන්න වැඩක්, ඔයාටයි යාළුවන්ටයි ඕන ඕන වෙලාවට ඇවිත් යන්න මේක හෝටලයක් කියලා හිතුවාද?/ මම නේ උයන්නයි අස් කරන්නයි ඕන/ හැමදෙයක්ම කරන්න ඕන මම නේ!

අපේ අම්මලා ඉදලා හිටලා කාගෙන් හරි තමන්ගෙ කෑම ගැන ගෙදර ගැන හොඳක් අහන්න කැමතියි. ඒත් ඔයාට පොඩ්ඩක් සමාජශීලී වෙන්න හිතුණම, යාළුවන්ව ගෙදරට ගෙන්නගෙන බයිලා සද්දේ එහෙම පොඩ්ඩක් වැඩි වුණහම, එහෙමත් නැත්තම් ඔයා නැති සති අන්තෙක එහෙම ඔයාගේ කාමරේ අම්බලමක් වුණහම ඔයාගේ අම්මා වගේම තාත්තා මේ සාම්ප්‍රදායික වාග් ප්‍රහාරේ දියත් කරනවා.

 

අනේ මොන කරදරයක්ද අනේ!… පොඩ්ඩක් ඉන්නකෝ, පුතාට පුළුවන් ඔයාට ඕකට උදවු කරන්න.

නෑදෑයන්ට හරි පවුලේ හිත මිත්‍රයන්ට හරි උදවුවක් කරනවා කියන එක මහ දෙයක් නෙමේ. (විශේෂයෙන්ම ඔයාම උදවු කරන්න ඉදිරිපත් වෙද්දි) ඒ වුණාට ඔයාට තනියම ගෙදර ඇතුළට වෙලා ඉන්න ඕනකම තියෙද්දිත් කී දවසක් ඔයාගේ සති අන්තේ පැය ගාණක් නැන්දාට මාමාට උදවු කරන්න හරි ඔයාගේ ඥාති සහෝදර සහෝදරියෝ එක්ක ගත කරන්න හරි ඔයාට සිද්ධ වෙලා ඇතිද? අපේ අම්මලා අපි ගැන විශ්වාස කරලා අපිට කාවහරි ඇරළවන්න, කඩෙන් බඩු ගේන්න උදවු කරන්න, ඕන කරන ටෙක් සපෝර්ට් එක සපයන්න, පවුලේ පාර්ටි වලදි කේටරින් එකේ වැඩ කරන්න වගේ දේවල් බාර දුන්නා කියන එක එක්තරා විදිහක සතුටක්. ඒත් ඒ ගැන කලින් දැනුවත් කළා නම් වඩා වටිනවා. මොකද පොරොන්දු වුණ දෙයක් නොකර බැහැ වගේම ඒ වගේ වැඩ වලට හිතනවාට වඩා දෙගුණයක් වෙලාව යනවා)

 

තාත්තා ගෙදර එනකම් ඉන්නකෝ!

මේක ඇහෙද්දීම අපිට අපේ පොඩි කාලේ මතක් වෙනවා. වැඩිමහල් වයසේ ඉන්න අපෙන් සමහරක් අයට නම් මේක අම්මා කියපු විදිහටම අම්මාගේ කට හඩෙන්ම මතක් වෙනවා. පොඩි කාලේ එපා කරපු දවසක ඔයා අතින් සිද්ධ වෙච්ච වරදක් ගැන අම්මා මුලින්ම දැනගත්තහම මේක අහන්න ලැබෙනවා. මේක අහන්න ලැබෙන හේතුව ඉස්කෝලේ ප්‍රින්සිපල් ගෙන් ලැබුණු අභිරහස් කෝල් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරවිට අපිට එළවළු කවාගන්න කරපු බොරු තර්ජනයක් වෙන්නත් පුළුවන්. තරුණ වයසෙදි ගොඩක් වෙලාවට මේක අහන්න ලැබෙන්නේ ඊයේ රෑ යාළුවෝ එක්ක තිබුණ ප්‍රිය සමාගමේ දී වැඩ වැරදිලා කරපු පවු සෝදා හරින්න තාත්තා ගෙදර එනකම් බලාගෙන ඉදිද්දී යි. කවදා කොයි මොහොතේ හරි ඔයා මේ තර්ජනය එක්ක මුහුණට මුහුණ හැප්පිලා පණ බේරගෙන ඒ සිදුවීම ඉදිරි පරම්පරාව එක්ක බෙදාගන්න ඇති.

 

අයියෝ! අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට ඇහුණොත්/ දැක්කොත්/ දැනගත්තොත්? එහෙම නැත්තම්, චී, මිනිස්සු මොනවා හිතයිද/ කියාවිද?

කියන විදිහ අදාළ සිද්ධිය සහ සිද්ධියේ බරපතලකම මත වෙනස් වුණත් මේක කියන සාම්ප්‍රදායික නාට්‍යානුසාරී ශෛලිය අපේ හිත් ඇතුළේ කිඳා බැහැලා තියෙන්නේ. අද වෙද්දී ඉන්න තරුණ පරම්පරාව මේ කියමන නැත්තම් සංකල්පය තමන් මත පීඩනයක් ඇති කරන්න යොදන නරක ක්‍රමවේදයක් කියලා සැළකුවාත්, මේක ඉදිරි පරම්පරාවන් එක්ක නැති වෙලා යාවිද, එහෙම නැත්තම් කෑම මේසේ කට්ලට් වගේ එතනින් මෙතනට පාස් වෙවී යයිද?

 

ආහ් හරි හරි, මම කියන දේ අහන්න එපා, හැබැයි මොනවහරි වුණාට පස්සේ අඬාගෙන මගේ ළඟට එන්න එපා.

මේක කාලය තරම්ම පරණ වාක්‍යයක්. ඔයා හවසට මොන වැඩේ දාගෙන තිබුණත්, ඒකට අම්මා කැමති නැත්තම් ඔයාටත් බෑ තමා.
මේක මතුවෙන්නේ අම්මා කැමති නැති එකඟ නොවෙන විරුද්ධ වෙන දෙයක් ඔයා කරන්න යන්න ඔන්න මෙන්න තියෙද්දියි. ඒත් ඒ තර්ජනයෙන් ඔයා පහු බහින්නේ නෑ. හැබැයි මතක තියාගන්න, මොකක්හරි වැරදුණොත්, ඔන්න ඔයාට අනතුරු අඟවලායි තියෙන්නේ. අම්මා තමා මුලින්ම හිනාවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here