හතර වටෙන් ගෙදර හැමෝටම ආසාවෙන් කන්න කෑම හදමු…

ගෙදර හැමෝටම ආසාවෙන් කන්න කෑම හදමු…

2021 Oct 28

ජීවිතය කියන්නේ අපි මොන ලිංගයේ කෙනෙක් වුණත් එකම ආනිසංසය වෙනස් වෙවී කැරකි කැරකි හැම කෙනාටම එකම මට්ටමින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර අයට කන්න වැඩි වෙලා කන්න බැරිව කෑම බීම විසි කරනකොට තවත් අය කන්න නැතිව මැටි වලින් හදාගත්ත මැටි රොටී කෑමට තරම් ජීවිතෙ අන්ත අසරණ වෙලා. මිනිස් ආත්මයක් ලබන්න සෑහෙන්න පින් කරන්න ඕන කියලා හිතුවාට මිනිස්සුන්ට එන ප්‍රශ්න දිහා බැලුවම මිනිස් ආත්මයක් ලබන්න කොච්චර පව් කරන්න ඕනිදත් කියලා හිතෙනවා. කෑම කියන්නේ ජීවිතේ ප්‍රධානතම අංගයක්. සමහර අය රහට බත්පතේ මාළුපිණි පහ හයකින් පුරෝගන කද්දි ලූණු කෑල්ලක් බත් එකට දාගෙන එදාවේල බඩ පුරෝගන්න ඈයෝ අපිට කොතරම් මුණ ගැසෙනවා ද? උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටිල. වේල් තුනම නැතත් එකක් කාල හරි බඩ පුරෝ ගන්න තරමටම මිනිස්සු අසරණයි. “ජීවත් වෙන්නනේ ඕන මහත්තයෝ “කියලා බත් නැතත් ගස් ගෙඩියක් හොයාගෙන කපාගෙන කාලා දවස ගත කරන පිරිසක් ගැන පහුගිය කාලේ අපිට දකින්නට ලැබුණා.

කියවන ඔබටත් සිතෙන්නට ඇති අපිට මොනාද අඩු කියලා? ඇත්තටම අපිට මොනවද අඩු? අපිට මෙහෙම හරි ඉන්නෙ වාසනාවක් බලපාල ඇති නිසැකයෙන්ම . ඒත් එක එක්කෙනාට වාසනාව බලපාන්නේ විවිධාකාරව. අද තියෙන දේ අපිට හෙට වෙද්දි අහිමි වෙන්න පුළුවන්. අද ලස්සනට ඇඳපු ඇඳුම හෙට වෙද්දි ඉරිලා යන්නට පුළුවන්. ඒ වගේම තමයි කෑම බීමත්. අපි අද චිකන් රයිස් එකක් කැවට හෙට අනිද්දා වෙද්දී සම්බෝලයි බතුයි කන ගානට ජීවිතේ වැටෙන්නත් පුළුවන්. ඒ තරම් ආර්ථිකය කඩන් වැටිලයි තියෙන්නේ. හිතනවාට වඩා අපෙ ජිවිතය හරි සංකීර්ණයි දැන් . යථා තත්ත්වයට ජීවිකාව ගෙනියන්න කවදා හැකි වේවිදැයි කියා කවුරුත් කියන්නට නම් දන්නේ නැහැ. covid මාරයා අපේ ජීවිතවල හොල්මන් කරන්න පටන් ගත්තට පස්සේ අපි කන කනබොන දේවල් වලට පවා එය තදින් බලපෑවා. අද මොකක්ද වෙලා තියෙන්නේ? හෙට රෑ කන බොන දෑ කෙසේ වෙතත් අද රෑ මොනාද අරපිරිමැස්මට හදාගන්නේ කියලා හිත දෝලනය වෙනවා. මවුපියන් සෑම විටම වෙර දරන්නේ දරුවන්ට කටට රසට කෑම හදලා දෙන්න. ඒ පුරුද්දටම දරුවනුත් ” අම්මෙ රහ දෙයක් උයන්න නැත්තං නම් මං කන්නේ නැහැ” මේක තමයි ඔවුන් කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒත් කෑම බීම වලටත් ලොකු බලපෑමක් උද්ගත වෙලා තියෙද්දි අම්මයි තාත්තයිත් අසරණ වෙනවා. දරුවෝ බඩගින්නේ තියන්න අම්මා තාත්තා කවදාවත් කැමති නැහැ. කනේ කරේ තියෙන දේ හරි විකුණලා බඩ කට පුරවන්න වෙර දරන රත්තරං අම්මලා තාත්තලා අපි හැමෝටම ඉන්නවා.

මේ කාලයේ හැමෝම වගේ ගෙදර වැඩි හරියක් විවේකව ඉන්න වෙලාවේ කන්න මොනාහරි තිබ්බනං කියල හිතෙන වෙලාවල් එමටයි. මේ කාලයත් සමග හැමෝම කැමති විදියට රසට අරපිරිමැස්මෙන් කෑම හදාගන්නෙ කොහොමද? කෑම රුචිකත්වය වැඩි වෙන විදිහට කෑම වේල පිළියෙල කරන්නේ කොහොමද? ගෙදර දරුවන්ගේත් හිත සතුටු වෙන ආකාරයට කෑම පිස ගන්නේ කොහොමද? මේ ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැනයි . මේ දිනවල අප සියලු දෙනාටම ආර්ථික ගැටලු රැසක් පවතින නිසාම අරපිරිමැස්මෙන් කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම පවුලේ හැමෝම ගෙදර සිටින දිනයන් තමයි මේ කාලය. එම නිසාම කෑම නාස්ති වීම හෝ අහක දැමීම අනිත් දිනයන්ට සාපේක්ෂව වැඩියි. ඒ වගේම නිතර නිතර කෑම සැකසීමෙන් නොදැනුවත්වම කෑම නාස්ති වෙනවා. කෑම නාස්ති කරනවා කියන්නේ ලොකු අපරාධයක්. ඒ වගේම කුඩා කාලයේ පටන්ම අපේ අම්මලා තාත්තලා ආච්චිලා කියලා තියෙන්නේ ” පුතේ කෑම අහක දාන්න එපා ඒක ලොකු පාපයක්” ඒ වගේම මුදල් නාස්තියක්. ලෝකයේ දහදුක් විඳ කෑම අහිමි වීම නිසාම වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය යනවා. එම නිසාම කෑම නහස්තිය විශාල අපරාධයක්. ඇත්තටම මේ කෑම නාස්තියට විසඳුමක් නැද්ද ? නිතරම මෙලෙස කෑම අපතේ යනවා නම් මොකද කරන්නේ?

 

නාස්තිය අවම කිරීමට මොකක්ද කරන්න ඕන…

Leftover wasted spaghetti pasta thrown in a bin Free Photo

කෑම නාස්තියට ඒකාකාරී කෑම රටාවත් හරි හරියට බලපානවා. පුරුද්දක් විදිහට එකම දේම තුන්වේලම උයනවා නම් එළවළු තුනහතරක් මාරුවෙන් මාරුවට උයනවා නම් කෑම ආහාරයට ගැනීමට තියන ප්‍රිය ටිකෙන් ටික අඩු වෙන්න පුලුවන්. දරුවන් වුණත් එකම රටාවේ ආහාරවලට තරමක් අකමැති. එවිට ඔවුන් නිවසේ කෑම පිස තිබුණත් වෙනත් අලුත් කෑම රස බැලීමට පෙළඹෙනවා . කෑම සකස් කිරීම ද ඇත්තටම රටාවක්. එම රටාව සිත් ඇදගන්නා සුළු නොවුනොත් එයට තිබෙන කැමැත්ත ද ගිලිහෙනවා. එළවළු පිසීමේදී ඔබට අතට අහුවෙන ඕනෑම එළවළුවක් පිසින්නට යන්නට එපා. එකිනෙකාගේ රුචි අරුචිකම් වලට අනුව කෑම පිසීමට උනන්දුවක් දැක්වුවහොත් කෑම නාස්තිය අවම කරගත හැකියි .

 

හැම දෙනාගෙම කැමැත්තට ඉඩ දෙන්න…

Talk by breakfast Free Photo

නිවසට එළවළු කෑම බීම රැගෙන ඒමේදී හැමෝගෙම හිතේ කැමැත්තට අනුව එළවළු කෑම බීම සියල්ල රැගෙන එන්න. එවිට කෑම නිස්කාරණේ නරක් වී යාමට ඉඩක් නැහැ.ගෙදර අයගේ රුචි අරුචිකම් වලට අනුව ලැයිස්තුවක් හදාගන්න. කොතරම් ඇඟට ගුණ දායක වුණත් ගෙදර අය එය ආහාරයට නොගන්නේ නම් ඒ අපතේ යා හැකියි. එම නිසාම ඔබ සතියේ මැද රොටී ,පස්ටා, නූඩ්ල්ස් , ආප්ප, තෝසේ වැනි වෙනත් කෑම වේලක් රාත්‍රියට එකතු කරගන්න. මේ ආකාරයට කෑම රටාව අලුත් වීමෙන් කෑම නාස්තිය අවම කරගත හැක. ඒ වගේම සෑම දෙනාම කැමති ආකාරයෙන් කෑම සැකසෙන විට සියලු දෙනාම ඒ රටාවට හුරු වෙනවා. ඊට අමතරව හෙට දිනයේ කෑමට අවශ්‍ය කෑම අද දිනයේ දී සාකච්ඡා කර ගන්න. එවිට කලින් සූදානම් වූ නිසාම වෙනත් කෑම වර්ග සැකසීමට මහන්සි විය යුතු නැත.

 

උදේට උයන ගමන් දවල්ටත් උයනව ද?

Woman chef cooking vegetables in pan Free Photo

කෑම බීම දීම සම්බන්ධයෙන් දරුවන්ගේ රුචි අරුචිකම් විවිධාකාර නිසා මවගේ සිත් රිදීම් වැඩි වෙනවා. අපි බොහෝ දෙනා ප්‍රිය කරන්නේ උදේ ආහාරයට ගත්තට වඩා වෙනත් රස දෙයක් දවල්ට කන්නයි . එහෙත් සමහර ගෘහණියන් වැඩි වෙලාවක් මුළුතැන්ගෙයි රැදෙන්නට අකමැති. දවසේ වැඩ ගොඩ ගැහිලා නිසා උදේ ආහාර පිසින ගමන්ම දවල්ටත් ඒ ගමන්ම ආහාර සකසයි . වෙහෙස මහන්සි වී කෑම වේල සකසා දුන්නත් උදේට කාපු දේ දවල්ට කන්න බොහෝදෙනා අකමැතියි. නිවසට වී නිදහසේ කෑම කන විට කෑම පිඟානට තිබෙන අවධානය වැඩියි. එම නිසාම උදේ කෑම එකම දවල්ටත් කන්න ගියාම සාමාන්‍යයෙන් කන ප්‍රමාණයට වඩා අඩුවෙනුයි කැවෙන්නේ. එම නිසාම මේ වගේ වෙලාවට ගෙදර කෑම පිස තිබුණත් දවල්ට කෑම ගන්නා වෙලාවට ක්ෂණිකව මොනව හෝ සකසා ගන්න දරුවෝ පුරුදු වී සිටිනවා. බිත්තර බැදුම, අල බැදුම්, ක්ෂණික නූඩ්ල්ස් සකසා එය ආහාරයට ගන්න පුරුදු වීමෙන් නිවසේ තිබෙන ආහාරපාන විශාල වශයෙන් අපතේ යා හැකි.

 

සතියට කෑම ලැයිස්තුවක් සකසා ගන්න …

Focused housewife planning weekly menu in her kitchen, writing down grocery list in notebook. cooking at home concept Free Photo

බොහෝ වේලාවට කෑම නාස්ති වෙන්නේ පවුලේ දරුවන් සැමියන් සහ අනෙක් අය විවිධාකාරයෙ කෑම වලට ප්‍රිය කරන නිසයි. එම නිසාම සතියට පිසින කෑම වෙනස් විදියට තීරණය කරන්න. උදාහරණයක් ලෙස තුන්වේලම බත් කන්න අකමැති අයට ,රස්නෙට කන්න කැමති අයට ,අලුත් කෑමක් සොයන අයට මේ හැමෝටම ගැළපෙන විදියට සතියෙ කෑම වේල සැලැසුම් කරගන්න..

ඉහත සඳහන් කළා වගෙ කොහොමද මේ හැමෝම ප්‍රිය කරන විදියට කෑම සකසා ගන්නේ? ගෘහණියකට නම් මෙය තමයි අමාරුම කටයුත්ත . ඒත් තම දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන හිතලා මේ කාර්යය අමාරුවෙන් හරි කරන්නට සිදු වෙනවා.

මම කැමති කිරට කන්න
මම කැමති මිරිසට කන්න
හැමදා හැමදාම මිරිසටයි කිරටයි කාලා එපා වෙලා තෙලට මොකුත් නැද්ද ?

මේ සෑම පවුලකම අඬවැඩියාවයි .පවුලේ සෑම අයෙකුම එකම කෑම රටාවකට අකමැති නිසා පවුලේ කෑම වේල කිරට ,මිරිසට, තෙලට මේ සියලුම ආකාරයට පිස ගත යුතු නැත. අවශ්‍ය වනුයේ හොඳ කළමනාකරණයක් . පවුලේ හැමෝගෙම සිත සතුටු වෙන ආකාරයෙන් අරපිරිමැස්මෙන් කෑම සෑදීම අසීරුය. එහෙත් මේ ටික තිතටම කළමනාකරණය කර ගත්තොත් ගෘහණියක් හැටියට ඔබ දිනුම්. එසේනම් ව්‍යාංජන සුළු ප්‍රමාණයක් මේ සියලු දෙනාම කැමති හැටියට පිසගන්නෙ කොහොමද?

 

කිරට, දිය රහට හා තෙලට කැමති අයට

ඔබේ පවුලේ තෙලට කිහිපදෙනෙකු හා කිරට දිය රසට කන්න අයෙකු කැමති නම් ඔබ එලවළු තෝරාගතදී මේ සියලු ආකාරයෙන් පිසගත හැකි එළවළු තෝරාගන්නට කල්පනාකාරී වන්න. එවැනි එළවළු මේ තුන් ආකාරයට ම සකසා ගත හැක. කිරට සහ තෙලට සකසා ගත හැකි නිසා ඔබට හැමෝම කැමති විදිහට ආහාර සකසා ගත හැක. ඒ සඳහා පළමුව අවධානය දෙමු කිරට සකස් කරගත හැකි එළවළු ගැන

බෝංචි
පිපිඤ්ඤා
කැරට්
පතෝල
රාබු
බීට්රූට්
ගෝවා

මෙවැනි එළවළු වර්ග අනිවාර්යෙන්ම කිරට සකස් කරන එළවළු නිසා මේවා පිස ගන්නා විට උකු කිරි යොදා පිසගෙන අවසානයට තෙල් ස්වල්පයක් රත් වෙන්නට හැර අබ සුදුලූනු රම්පෙ කරපිංචා ආදිය දමා මේ වෑංජනයට හොඳ තෙම්පරාදුවක් දමාගන්න . සමහර අය කිරි යෙදූ පසු නැවත තෙල් යෙදීමට අකමැතිය. ඒත් කිරි යොදා සැකසූව ද නැවත අබ ස්වල්පයක් බැදෙන්නට හැර තෙම්පරාදුවක් දමා ගැනීමෙන් වෙනම රසයක් ඇති කරගත හැකිය. මේ විදියටත් පිසගත් පසු තෙල් දමා කෑමට කැමති අයත් කිරි දමා කෑමට කැමති අයත් වගේම පවුලේ අනෙක් උදවියත් මේකට බොහෝ කැමති වේවි. ඉතින් මේ අතර දිය රසට කැමති කෙනෙක් ඉන්නවා නම් ව්‍යංජනයට උකු කිරි වෙනුවට තරමක් වතුර ගතිය වැඩියෙන් තිබෙන ලෙස කිරි දාගෙන ඉහත ආකාරයට පිස ගන්න .

 

කිරට මිරිසට කන්න කැමති අයට

High angle chicken meal Free Photo

මේ ක්‍රමය හඳුන්වන්නේ කිරි මිරිසට සකස් කරන වෑංජන ලෙසය. අපේ ගෘහණියන් බොහෝ පිරිසක් නොදැන සිටියත් එළවළු සුළු ප්‍රමාණයක් හැරුණු විට කිරි මිරිසට සකස්කරගන්නා වෑංජන බොහෝ ඇත .අපි නිතර සකස් කරගන්නා ව්‍යංජන තුළින් බොහෝ ප්‍රමාණයක් ඇත්තේ කිරි මිරිසට සකසා ගත හැකි වෑංජනයි . ඒවා නම්

පරිප්පු
මස් මාළු
බිම් මල්
අල
සොයා මීට්
කොස්
සුදු ලූනු
කරවිල හා හාල්මැස්සන්
කොහිල

කිරි යොදා තෙලෙන් තෙම්පරාදු කර ගන්නා එළවළුවලට අපි මිරිස් කුඩු භාවිතා කරන්නේ නැත. එහෙත් අපේ පවුලේ මිරිස් කන්න ආස කරන අය වගේම ඒ තරම් සැරට කන්න අකමැති පිරිසකුත් සිටින බැවින් ඒ අය සඳහා එක් ව්‍යංජනයක් කිරි මිරිසට සකස් කරගන්න. ඒ සඳහා අවශ්‍ය කැම ප්‍රමාණයට මිරිස් යොදා ගෙන අවසානයේ උකු මිටි කිරි ස්වල්පයක් එකතු කර ගන්න. එවිට ඔබ මිරිසට සැකසූ ව්‍යංජනය සැර අඩු වී දෙපාර්ශවයටම කෑමට ගැනීමට හැකිවන සේ පිස ගත හැකිය. බොහෝවිට මස් මාංශ වැනි දේවල් මිරිසට පිසගත් අද ඔබේ පවුලේ මිරිසට කෑම ගත නොහැකි අය සිටින්නේ නම් ඒ සෑම දෙනාටම කෑමට ගතහැකි පරිදි මෙවැනි ආහාර කිරි මිරිසට සකස් කරගෙන රස බලන්න. දැන් කිරි සහ තෙලට සැකසූ ව්‍යංජනයක් ද හා කිරි මිසර සැකසූ ව්‍යංජනයක් තිබෙන නිසා පවුලේ උදවියගේ රුචිකත්වය පරිදි මෙයට තව බැදුමක් වැනි දෙයක් එකතු කර ගත හැකි. එවිට බොහෝ ව්‍යංජන සකස් කිරීමට අවශ්‍ය නැත .

 

ආර්ථිකය ගැනත් හිතන්න.

Serious young couple standing in aisle with alcohol drinks Free Photo

මේ දවස්වල කෑම කෑවාම නිවාඩු පාඩුවේ රූපවාහිනිය සහ අන්තර්ජාලය පුරා තිබෙන කෑම වට්ටෝරු සකස් කර බලන්න ගොඩක් අය පෙලබෙනවා . එහෙත් එය මුදල් පසුම්බියට එතරම් ගුණදායක නැත. මේ දිනවල අප සියලු දෙනාටම ආර්ථික ගැටලූ රැසක් පවතින නිසා අරපිරිමැස්මෙන් තමයි සෑම කටයුත්තක්ම කරගත යුත්තේ. බොහෝ නිවෙස්වල ඉතිරිවෙන එළවළු ඉවත දමනවා .කෑමට ගත් පසු එළවළු කූඩයේ කැරට් අලයක් ලිස් ගහක් වගේ ඉතිරිව තිබෙනවා .එය කෑමට ගතනොහැකි වන තාක්ම ශීතකරණයේ තබා පසුව විසික් කරනවා. ඇත්තටම එය අපරාධයක්. කැරට් ගෙඩියක් නිවුස් ගහක් ඉතිරිව ඇත්නම් එය හීනියට ලියා පොල් රොටි සාදන මිශ්‍රණයට එකතු කර සතියේ දිනක රාත්‍රී ආහාරයට වගේ පොල් රොටි සකස් කරගන්න. එය ඔබේ ශරීරයටත් ගුණයි. ඒ වගේම කෑම අහක යන්නෙත් නැහැ .මේ ආකාරයෙන් නිවසේ එලවළු ඉතිරි වන්නට පුළුවන්. එවැනි එළවළු වර්ග කිහිපයක් එකට එකතු කර පිස ගැනීමට ද පුළුවන් . එලෙස පිස ගැනීමට හැකි එළවළු,

බෝංචි සමග අල
අල සමග කැරට්
දඹල සහ අල
චිකන් සහ ආල

මේ ආකාරයට ඉතිරි වෙන එළවළු ඉවත නොදා ව්‍යංජනයක් සකසා ගන්න. මේ එළවළු ඉතිරි වන්නට නොදී එළවළු බත් ,සුප් වැනි දේත් සාදාගත හැකි. කුඩා දරුවන් වුණත් එවැනි කෑම කන්න බොහෝ විට ප්‍රිය කරයි.

මුළුතැන්ගෙයි ඉතිරි වෙන කිසිම දෙයක් අපතේ නොයවා ඒවා වෙනස් ආකාරයකට සාදා රස බලන්න. මේ ආකාරයට පවුලේ අරපිරිමැස්ම කළමනාකරණය කරගන්න. එය ඔබේ මුදල් පසුම්බියටත් හිතටත් ගතටත් සුබදායකයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි.

-මන්දාකිනි පතිරණ –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here