හතර වටෙන් මහපොළවට ඔබෙන් ලැබිය යුතු දේ දුන්නාද …?

මහපොළවට ඔබෙන් ලැබිය යුතු දේ දුන්නාද …?

2022 Jun 5

අපට සන්තෝෂ විය හැකි එක වැදගත් කාරණයක් නම්, මිනිසා  සහ සොබාදහම අතර ඇති සම්බන්ධතාව තවමත් නොබිඳී පැවතීමයි. එහෙම කිවුවේ ලියෝ තෝල්ස්තෝයි. මට කේන්ති යන එකම කාරණය මිනිස්සු තවමත් අපට පාවිච්චි කරන්න  පුළුවන් මට්ටමේ දේවල් කසළ විදිහට බැහැර කරනවා දැකීම, එහෙම කියන්නේ දයාවේ දෙවඟන වූ තෙරේසා මව්තුමිය. මේ එකිනෙකාට වෙනස් නමුත් ලෝක පූජිත වූ පුද්ගලයින් දෙදෙනෙක් කළ ප්‍රකාශයන් දෙකක්. ඇයි අපි මේවා නැවත කියන්නෙ..? හේතුව ඉතාම සරළයි. මේ කියන කතාවන් ඇතුලේ හිතන්න, දකින්න සහ ක්‍රියාත්මක වෙන්න බොහෝ දේ තියෙන නිසා වගේම ඒ සියල්ල එදාටත් වඩා අද දවසට වලංගු වන නිසයි.

මේ කරුණු ගැන නැවත කතාබහ කරන්න සුදුසුම සහ හොඳම දවස අද. හේතුව, අද ලෝක පරිසර දිනය.ජුනි  05  වැනිදා ලෝක පරිසර දිනය සැමරෙනවා. 1974 ජුනි මාසේ 05 වැනිදායින් මේ සැමරුම ආරම්භ වනවා. ඇමරිකානුවන් තමයි මුලින්ම ලෝක පරිසර දිනය සැමරීම ආරම්භ කරන්නෙ. එදා පටන් අද දක්වාමත් ලෝක පරිසර දිනයේ පොදු තේමාව විදිහට “Only one earth” කියන තේමා පාඨය භාවිත කෙරෙනවා. පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් ලෝකය පුරා විවිධ පරිසර ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට අවධානය යොමු කිරීම ආරම්භ වුනා. ඒ එක්කම විවිධ පාරිසරික කොටස් සහ ඒවාට අවේනික වන ගැටළු පිලිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වන්නට වුනා. සාගරය, මහපොලව, වායුගෝලය, වනාන්තර, තෙත්බිම්, වගුරුබිම්, කඩොලාන, වනජීවීන්, ඇතුළු විවිධ පරිසර පද්ධතීන්ට අවේනික ගැටළු තාක්ෂණික දියුණුවත් සමග සිදුවූ මානව ක්‍රියාකාරකම් නිසාම පැනනැගී තිබෙනවා. මානව වර්ගයා, ගහකොළ සත්ව ප්‍රජාව මේ සියල්ල එකතුවී සකස් වුනු පරිසරයේ පවතින අර්බුධ කිහිපයක් පිළිබඳව පසුගිය දශක දෙක ඇතුළත වඩා වැඩි ගෝලීය අවධානයක් යොමුවුනා. සාගර දුෂණය, ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම, ගෝලීය උණුසුම, වායු දූෂණය, ශාඛ ගහණය විනාශ වීම, සත්ව වර්ග මිහිමතින් වඳවී යාම වැනි ගැටළු රැසක් මේ යටතේ හඳුනා ගැනීමෙන් පසුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන මගින් සිදු කෙරෙනවා. මිහිතලය ආරක්ෂා කිරීමට, තිරසාර භාවිතයට සහ නැවත ස්ථාපනය කිරීමට ගෝලීය මට්ටමේ සාමුහික මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කිරීමින්ම 2022 වසරේත් ලෝක පරිසර දිනය සැමරෙනවා.

 

 

සමස්ථ ලෝකයම එකට පරිසර දිනය සමරන මොහොතක ශ්‍රී ලංකික පුරවැසියන් වශයෙන් අපි අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරවීම වැදගත් වනවා. පරිසර දුෂණයට අපේ දායකත්වය කෙලෙසද කියන කාරණය අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවුනත් බොහෝ දෙනෙක් තවමත් ඒ පිළිබඳව නොසලකා හරින්නේ ඇතිවිය හැකි විනාශය පිළිබඳව වූ අනවබෝධය නිසා විය හැකියි. මෙරට බොහෝ කර්මාන්ත පරිසර හිතකාමී නොවන අයුරින් ක්‍රියාත්මක වන බව ඔබ දැක ඇති. කර්මාන්ත ඔස්සේ වායු දූෂණය සහ ජල දුෂණය සිදුවීම අපේ රටේ තවමත් සුලභයි. මේ සම්බන්ධයෙන් අධිකාරී බලය පවතින ආයතන සහ පුද්ගලයින්ගේ අවධානය යොමු කරවීමත් පුරවැසියන් විදිහට සිදුකළ යුත්තක්. ඒ වගේම පෞද්ගලික මට්ටමින් අපට පරිසර තුලනාත්මක බව වෙනුවෙන් දායක විය හැකි ආකාර බොහෝයි. ගස් කපා දැමීම විවිධ හේතු නිසා සිදුවනවා. විශේෂයෙන් ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත රැසකට දැව භාවිතය අපේ රටේ සුලභ කාරණයක්. නමුත් තාක්ෂණිකව ඉතා දියුණු ලෝකයක විකල්ප ඕනා තරම් පවතින නිසා ඒවා භාවිතයට හුරුවීමෙන් අධික වනාන්තර විනාශය අවම කරගැනීමට හැකියාවක් ලැබේවි. ඒ වගේම අධි පරිභෝජනය නතර කිරීම පරිසර තුලනාත්මක බව පවත්වා ගැනීමට අතිශය වැදගත් සාධකයක්. මුලින් සඳහන් කළ විදිහටම තෙරේසා මව් තුමියගේ ප්‍රකාශයෙන් පවා කියවෙන පරිදි අධි පරිභෝජනයෙන් වැළකීම සහ නැවත පරිභෝජනයට හුරුවීම පරිසරයේ පැවැත්මටත් වැදගත් වේවි.

 

මහපොළව ඔබට මට පමණක් අයිති වන්නක් නොවන බවත් මෙලොව උපත ලබන ගහකොළ සතුන් ඇතුළු සමස්ථයටම සිය පැවැත්ම වෙනුවෙන් වූ ස්වභාවික අයිතියක් ඇති බවත් වටහා ගැනීම මේ පරිසර දිනයේදීවත් මිනිසුන් ලෙස අප කළ යුත්තක්. සොබාදහමේ නිමවුම් භාවිතයෙන් අපේ ජීවන රටාවන් පවත්වා ගන්නවා වගේම පෙරළා මහපොළවට සොබා දහමට අපෙන් ලැබිය යුතු කොටස ලබාදීම අත්‍යවශ්‍යයි. තිරසාර භාවිතය ලෙසින් අපි හඳුන්වන්නේ මේ සරළ සිද්ධාන්තය බව ඔබට සිහිපත් කළ යුතුමයි. ආරක්ෂා කිරීම, තිරසාර භාවිතය සහ නැවත ප්‍රතිනිර්මාණය කිරීම යන ක්‍රියාවලින් නිසි පරිදි සිදුකිරීමෙන් පමණක් පරිසරය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අපට හැකිවේවි. ඒ නිසා දෛනික ජිවිතයේ සියලු ක්‍රියාකාරකම් වලදීත් පරිසරය පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීම මේ පරිසර දිනයේ සිට හෝ ඇරඹීමට හැකි නම්, ගෝලීය මට්ටමින් පරිසර සුරක්ෂිතතාව පිලිබඳ සිදුකෙරෙන මහා පරිමාන ව්‍යාපෘතීන්ට පුද්ගල දායකත්වය එක් කිරීමට ඔබට හැකිවේවි.

 

නිසංක වෙහෙරදූව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here