හතර වටෙන් ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කළ හැකිද?…

ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කළ හැකිද?…

2022 Sep 29

ජලභීතිකාව නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට පිස්සු බලු රෝගය කියන්නෙම 100% මාරාන්තික රෝගයක්. ඒ වගේම 100%ක් වළක්වාගත හැකි තත්වයක්. නමුත් ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් වූ මට්ටමට පැමිණීමට ලංකාව මේ වනවිටත් සමත්වී නැහැ. ලෝක ජලභීතිකා දිනයට ( World Rabies Day) සමගාමීව ලෝක මට්ටමින් ජලභීතිකාව තුරන් කිරීම පිණිස විවිධ ව්‍යාපෘතීන් දියත් කෙරෙනවා. ජලභීතිකා රෝග මර්ධන කටයුතු වල ඉතිහාස 1893 – 1904 අතර කාලය දක්වා දිවයන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ශ්‍රී ලංකාවේද ජලභීතිකා පනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත ක්‍රියාත්මක කෙරුණු කාල වකවානුව ගැන සළකා බැලුවොත් මෙරට ජලභීතිකා රෝගය පැතිර යාමටත් එවැනිම ඉතිහාසයක් ඇති බව තහවුරු වනවා.

 

ජලභීතිකා රෝගය ලෝකය පුරා ව්‍ යාප්තව පවතින්නක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මානව ජලභීතිකාව සතුන් මගින් බෝවන රෝගී තත්වයක්. ක්ෂීරපායි සත්වයන් ජලභීතිකා රෝගයේ රෝග වාහකයින් වන අතර ගෘහස්ත බළලුන් සහ සුනඛයින් මෙහිදී මූලික රෝග වාහකයින් ලෙස සැලකෙනවා. ඊට අමතරව ලේනුන්, දඬු ලේනුන්, රිලවුන්, මුගටියන්, වඳුරන් සහ හාවුන් වැනි සතුන් මගින්ද ජලභීතිකා රෝගය ව්‍යාප්ත විය හැකි බවට තොරතුරු තහවුරු කොටගෙන තිබෙනවා. සතෙකු සපාකෑම මගින් වගේම විවෘත තුවාලයක් ආසාදිත සතෙකු විසින් ලෙවකෑමක් හෝ නැතිනම් සමේ මෘදු සහ සංවේදී ස්ථානයක් ආසාදිත සතෙකුගේ ලෙවකෑමකට ලක්වුවහොත් මෙම රෝගය ආසාදනය වීමේ අවදානමක් පවතිනවා.

 

රෝගය වැලැක්වීම පිණිස ලෝක මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙහි මූලික පියවරක් ලෙස ගෘහාශ්‍රිත සතුන් වෙත එන්නත් ලබාදීම සිදුවනවා. වයස සති තුනත් පහත අතර වන ගෘහාශ්‍රිත බළලුන්, බල්ලන් ඇතුළු ක්ෂීරපායි සුරතලුන් එන්නත්කරණයට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා. මේ මූලික පියවරට අමතරව වීදි සතුන් ගහනය පාලනය කිරීම සඳහා වන්ධ්‍යකරණ සැත්කම් ක්‍රියාත්මක කිරීම සහ එවැනි අයිතිකරුවන් නොමැති සතුන්ට අදාළ එන්නත් ලබාදීමේ ව්‍යාපෘති ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වනවා.

 

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝග පාලන වැඩසටහන් ක්‍රියාත්මක වීම දශක ගණනාවක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. වීදි සතුන් මෙන්ම ගෘහාශ්‍රිත සතුන්වද එන්නත්කරණයට ලක්කිරීම රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත වලට අනුව මෙම වැඩසටහන් සඳහා රජය විශාල මුදලක් වාර්ෂිකව වැයකරන බව සඳහන්. එමෙන්ම මහජන දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම මගින් රෝගය සහ රෝගය වලක්වා ගැනීම පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇතිකරවීම සිදුවනවා. 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 59,000ක් පමණ වනවා. ජලභීතිකා තත්වයට මුහුණදුන් ප්‍රමාණය මිලියන පහක් පමණ වන බවත් සඳහන්. කෙසේ නමුත් ලංකාවේ ජලභීතිකා මර්ධන ක්‍රියාවලියේ තත්වය පිළිබඳව සාපේක්ෂව සතුටු වියහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව පෙනී යනවා. මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසන අන්දමට 2019 වසරේ අගදී වාර්තා වී තිබූ ජලභීතිකා මරණ ගණන 30ක් පමණ වුනා. වසරකට සුනඛයින් මිලියන 1.5කට පමණ එන්නත්කරණය සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත තහවුරු කරනවා. 2020 වනවිට ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමට සැළසුම් කර තිබූ නමුත්, කොරෝනා වසංගතය සහ විවිධ සෞඛ්‍යමය හේතූන් නිසා එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙනවා. කෙසේ නමුත් 2025 වසර වනවිට ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටවල් අතරට එක්වීමට ශ්‍රී ලංකාවටද හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

 

එන්. වෙහෙරදූව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here