2023 Oct 8
සමාජයේ නිතර කතාබහට ලක්වන රෝග තත්ත්වයක් තමයි ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ මොහොතේ ලිපිය කියවන ඔබත් කවදාක හෝ ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ගෙන තිබෙන්න පුළුවන්. එහෙම නැති වුණත් ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවාද? ගැස්ට්‍රයිටීස් සුව කරගන්නේ කොහොමද? ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක්ට කන්න හොඳ කෑම වගේම කන්න හොඳ නැති කෑම ගැන ඔබ දැනුවත්ව තිබුණොත් එය රෝග පාලනයට වගේම ඇතිවන සංකූලතා වළක්වා ගන්නත් උපකාරී වනවා. මේ ලිපිය ඔබව ඒ පිළිබඳව දැනුවත් කිරීමටයි.
ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද?
අපගේ ආමාශය තුළට ස්‍රාවය වන අධික ආම්ලතාවයකින් යුත් HCL (හයිඩ්‍රොක්ලෝරික්) අම්ලය මගින් ආමාශයේ ඇතුළු ස්ථරයන් ආරක්ෂා කරගන්න භාෂ්මික ශ්ලේෂ්මල තරලයක් පිහිටා තිබෙනවා. විවිධ හේතු නිසා ආමාශය ආරක්ෂා කරන මේ භාෂ්මික ශ්ලේෂ්මල තරලයට හානි වෙන්න පුළුවන්. එවිට ආමාශ බිත්තිය ඉදිමීම, රතුවීම හා තුවාල වීම සිදු වෙනවා. මේ තත්ත්වය තමයි අපි ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන්නේ. එහිදී කෙටි කාලයක් තුළ පවතින Acute Gastritis සහ දීර්ඝ කාලයක් පවතින Chronic Gastritis යන තත්ත්ව හඳුනා ගන්න පුළුවන්.
රෝග ලක්ෂණ
බඩ පපුව දැවිල්ල (උදරයේ ඉහළ කොටසේ හා පපුවේ ඇතිවන දැවිල්ල)
උගුරේ දැවිල්ල
කෑමෙන් පසු බඩ පුරවා දැමීම
පපුවේ තද වේදනාවක් ඇති වීම
ඉහත රෝග ලක්ෂණ හා සමානවම හෘදයාබාධයකදී වුණත් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. එම නිසා රෝග ලක්ෂණ ගැන සුළුවෙන් නොතකා ඉක්මණින් පර්යේෂණ හා ප්‍රතිකාර වෙත යොමු වීම ඔබගේ ජීවිත අවදානම අවම කරනවා.
අවදානම් සාධක
Helicobacter pylori බැක්ටීරියා වර්ගය
දීර්ඝකාලීනව ලබා ගන්නා වේදනාශක වර්ග (කොන්දේ වේදනාව, හන්දිපත් අමාරු, ආතරයිටිස් වැනි රෝගවලට)
මත්පැන් සහ දුම්පානය
මානසික ආතතිය
ඒ වගේම සමාජයේ පවතින මතයක් තමයි, මිරිස් හා තෙල් බහුල ආහාර වර්ග ගැස්ට්‍රයිටිස් වලට හේතුවක් වන බව. නමුත් මෙම ආහාර මගින් සිදු වන්නේ ගැස්ට්‍රයිටිස් තිබෙන කෙනෙක්ගේ රෝග ලක්ෂණ වැඩි කිරීම බව සිහි තබා ගත යුතුයි.
ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා හිතකර වගේම අහිතකර ආහාර වර්ගත් තිබෙනවා. තන්තුමය ආහාර වර්ග, ධාන්‍යමය ආහාර වර්ග (රතු හාල් බත්, ඕට්ස්), එළවළු වර්ග, ආම්ලිකතාව අඩු පළතුරු වර්ග සහ යෝගට් ගැස්ට්‍රයිටීස් රෝගය පාලනය කරන්න සමත් වනවා වගේම අන්නාසි, ඇඹුල් අඹ, තක්කාලි වැනි ආම්ලික ආහාර වර්ග, තෙල් සහ මිරිස් බහුල ආහාර, තේ, කෝපි සහ චොක්ලට් රෝගී තත්ත්වය වැඩි කරනවා.
බොහෝ ගැස්ට්‍රයිටිස් රෝගීන් රෝග ලක්ෂණ උත්සන්න වූ අවස්ථා වලදී කිරි වීදුරුවක් පානය කරන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් නවතම පර්යේෂණ අනුව කිරි මගින් අපේ ආමාශයේ නිකුත් කරන අම්ල වැඩි කරන බවත් කිරි පානයෙන් රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් කිරීමක් පමණක් සිදු වන බවත් සොයාගෙන තිබෙනවා. එම නිසා නිතර නිතර කිරි පානය ගැස්ට්‍රයිටිස් සඳහා හිතකර නොවේ.
ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ලෙස ලබා දෙන ප්‍රතිජීවක මගින් සිදු කරනු ලබන්නේ, බැක්ටීරීයාව අඩපණ කිරීම, ආමාශයේ අම්ල ස්‍රාවය අඩු කිරීම හෝ රෝගියාගේ රෝග ලක්ෂණ යටපත් කිරීමයි. ප්‍රතිකාර ගැනීමේ අවධිය තෙක් නොසිට රෝගය වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සියලු දෙනාගේ යහපැවැත්ම සඳහා හේතුවනු නොඅනුමානයි. එම නිසා අධික තෙල්, ලුණු හා බැදුම් සහිත ආහාර රටාවෙන් මිදී නිවසේ පිළියෙළ කරගත් සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වෙමින් අවදානම් සාධක අවම කර ගැනීමට පුරුදු වන්න.