2020 Aug 12
“මේ ඔෆිස් එකේ වැඩත් එක්ක මම හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ..”
“ගෙදර ප්‍රශ්නත් එක්ක වැඩක් කරගන්නත් බැහැ, හොඳටම ස්ට්‍රෙස්”
“මේ ළමයි කරන දේවල් නිසා මමයි ස්ට්‍රෙස් වෙන්නෙ”
වර්ථමානයේ අපට වැඩිපුරම අහන්න ලැබෙන කතා කිහිපයක් මේ. ආතතිය නැතිනම් Stress වීම මේ ඕනෑම හේතුවක් නිසා සිදුවෙන්න පුළුවන්. මෙහෙම Stress වීම හේතුවෙන් මානසික වගේම ශාරීරික සෞඛ්‍යයටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසාම මේ Stress කියන්නෙ මොකක්ද කියන එකත්, ස්ට්‍රෙස් නැතිනම් ආතතිය “ඇතිවීම” පාලනය කරගැනීම සහ ආතතිය ඇතිවුනාට පස්සේ, ඒක පාලනය කරගැනීම කොහොමද කරන්නේ කියන එකත් ඔබ දැනගෙන සිටිය යුතුමයි.
මොකක්ද මේ ස්ට්‍රෙස් නැතිනම් ආතතිය කියන්නෙ..?
සරළව කියනවා නම්, ආතතිය කියන්නෙ ඔබේ මනසේ සහ ඔබේ හැඟීම් වල ඇතිවන පීඩනයට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරයයි. මේ සමහර ආතති යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්තාවනුත් නැතුවම නොවෙයි. විශේෂයෙන් ඒ සමහර ආතතීන් කිසියම් කටයුත්තක් එක දිගට සිදුකිරීමට ශක්තියක් සපයනවා. දැඩි පීඩනය නිසාම සමහර ඉලක්ක හඹාගෙන ගිහින් ජයග්‍රහණය කළ අවස්ථා අපි හැමෝගෙම ජීවිත වල තියෙන්න පුළුවන්. නමුත් එහෙම “ආතතිය වාසිදායක වන අවස්ථා” එන්නේ කලාතුරකින් පමණයි. බොහෝ ආතති හේතුවෙන් ඔබ මානසික මෙන්ම ශාරීරිකවත් පීඩාවට පත් වනවා. ඒ නිසා ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද කියන කාරණය ඔබ දැන සිටිය යුතුම වනවා.
ආතතිය නැතිනම් ස්ට්‍රෙස් දීර්ඝ කාලීනව පැවතුනොත් ඔබ නිසැකවම ශාරීරිකව දුබලව රෝගියකු බවට පත්විය හැකියි. මෙහි ඇති භයානකම තත්වය වන්නේත් එයමයි. ඒ නිසා ඔබ නිසි පරිදි ආතතිය හඳුනා ගෙන එය කළමනාකරණය කරගත යුතුමයි. ආතතිය වැඩිවී දිගු කාලීනව පැවතීම හේතුවෙන් ඔබට හානි වන්නේ කොහොමද..? ඒ ගැන අවබෝධයෙන් සිටීමත් ඉතාම වැදගත්.
ප්‍රතිශක්තිකරණය හීනවීම
දිගු කලක් තිස්සේ ආතතියෙන් පෙලෙන පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණෙනවා. ප්‍රතිශක්තිකරණය අඩාලව යනවා. ඒ හේතුවෙන් ඔබට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි වෛරස් රෝග ලක්ෂණ නිතර නිතර හටගත හැකියි.
මාංශ පේශි පද්ධතිය
ඔබ ආතතියෙන් පෙලෙන විට ඊළඟට ශරීරයේ හානි පැමිණෙන්නේ ඔබේ මාංශ පේශි පද්ධතියට. ඔබේ මනස ආතතියෙන් පෙලෙයි නම් මාංශ පේශි නොසන්සුන් වීම සිදුවනවා. තුවාල වැනි දෙයින් ආරක්ෂා වීමට ශරීරයේ ස්වාභාවික සැකැස්ම තියෙන්නේ ඒ ආකාරයෙනුයි. මානසිකව ආතතියට පත්වන විට මනස විසින් ශරීරයට එවැනි සඥාවක් නිකුත් කොට මාංශ පේශි හිර කිරීම සිදුකරනවා.
ශ්වසන පද්ධතිය සහ රුධිර සංසරණය
ඔබේ මනස ආතතියෙන් යුතුවන විට ඊළඟට හානි පැමිණෙන්නේ ඔබේ ශ්වසන පද්ධතියටයි. වේගයෙන් හුස්ම ගැනීමත්, වේගයෙන් හදවත ස්පන්දනය වීමත් නිසා ශ්වසන සංකුලතා වගේම හෘදයාභාධ පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා.
ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය අක්‍රමික වීම හේතුවෙන් ශරීරයේ සමහර අවයව වෙත නිසි රුධිර සැපයුම නොලැබීම සිදුවෙන්නත් පුළුවන්. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ශරීර අවයව අකර්මණ්‍ය වීමක්.
ආතතිය මේ තරම් හානිදායක වන බව දන්නවා වුණත් බොහෝ දෙනෙක් ආතතියෙන් මිදෙන්න සෞඛ්‍යාරක්ෂිත නොවන ක්‍රම අනුගමනය කරනවා. ඔබ දැනගත යුතුම කාරණය නම්, එවැනි ක්‍රමයකින් ආතතියෙන් මිදෙනවා වෙනුවට ඔබ සෞඛ්‍යමය පරිහානියකට ලක්වන බව. ආතතිය දැනෙන විට මත්පැන් පානය කරන්න බොහෝ දෙනෙක් පුරුදු වී සිටිනවා. නමුත් කිසියම් නිශ්චිත කාලයකට අදාළ කරුණින් මගහැර යාමක් මිස එමගින් ආතතියෙන් මිදීමට හැකියාවක් නැහැ. ඒ වගේම තවත් සමහරු එක දිගට දුම්බීම වගේම වෙනත් අනන්තාරයකර මත්ද්‍රව්‍ය භාවිතයට එළඹෙනවා. මේ කිසිදු ක්‍රමයකින් ඔබට ආතතිය කළමනාකරණය කරගැනීමට නොහැකි බව ඔබ වටහාගත යුතුයි. එයින් ඔබ සෞඛ්‍ය වශයෙන් පරිහානියට පත්වීමක් පමණක් සිදුවනවා. තවත් සමහරු ආතතිය නිසා පමණට වඩා වෙගවත්වත් ප්‍රමාණයෙන් වැඩියෙනුත් ආහාර ගැනීම සිදුකරනවා. මේකත් ඉතාම අහිතකර විසඳුමක්. එයින් ස්ථුලතාව වගේම වෙනත් රෝගී තත්ත්වයනුත් හටගත හැකියි.
නමුත් ආතතිය නැතිනම් මේ එක්කම දිගු කාලීනව ජීවත් වීම අහිතකර තත්වයක්. ඒ නිසා ආතති කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගෙන සිටිය යුතුමයි. ජිවිතයේ කුමන හෝ අවස්ථාවක ඔබ ආතතියට පත්වන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී තමන්ට මානසික ආතතියක් තිබෙන බව අවබෝධ කරගැනීමට තරම් වැටහීමකුත්, ඒ ආතතිය කළමනාකරණය කරගන්නා නිවැරදි ක්‍රමවේද ගැන දැනුමකුත් ඔබට තිබිය යුතුයි. එදිනෙදා ජිවිතයේ ඇතිවන ආතති නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද..? ඒ සඳහා ඔබ කළ යුතු හොඳම දේ මොනවාද..? කියන කරුණු ගැන ඊළඟ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නම්.
-එන්. වෙහෙරදූව-