Uncategorized ඒලෙවල් ළඟ ළඟම එන නිසා ඔයත් ඉන්නේ බයෙන්ද? එහෙනම් මේ ටික කාලේ...

ඒලෙවල් ළඟ ළඟම එන නිසා ඔයත් ඉන්නේ බයෙන්ද? එහෙනම් මේ ටික කාලේ මෙහෙම ලෑස්ති වෙන්න

2019 Jul 4

අපොස උසස්පෙළ විභාගයට ඇත්තේ තව නොබෝ දිනයි. මේ වෙද්දි බොහෝ සිසුන් මානසිකව පීඩාවට පත්වෙලා බයවෙලා පාඩම් කරනවා ඇති. තවත් අය ඉස්සර හිටපු විනෝදයෙන්ම කල් ගෙවනවා ඇති. හැබැයි ලබන මාසයේ ඔබට ඇති මේ ඒලෙවල් කඩඉම තමයි අවුරුදු 13ක පාසල් ජීවිතේ හමුවෙන අවසාන කඩඉම. ඔබ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ හෝ රැකියාවක් සම්බන්ධයෙන් හිතන්නේ මින් පසුවයි. ඉතින් මේ වටින කාලය අපතේ යවන්න එපා. එහෙම කිව්වම ඔබ කලබල වෙන්නත් එපා. ඔබට තවමත් කාලය තියෙනවා ඔබ මෙතෙක් කල් පාඩම් කරපුවා නැවත මතක් කරගන්න. මේ ඔබට ගැස්මෙන් ඒ සඳහා උපදෙස් ටිකක්.

1) නිදාගන්න

මෙහෙම කිව්වම හැබැයි ඕනවාට වඩා නිදාගන්න හදන්නත් එපා. ඔබ මානසික ආතතියෙන් වෙහෙසට පත්වෙලා නම් නින්ද අනිවාර්යෙන්ම ලබාගන්න. මොකද නින්දෙන් පුළුවන් ඔබේ ආතතිය අඩු කරන්න සහ ශරීරයට විවේකයක් ගන්න. පැය 6 සිට පැය 8 දක්වා දක්වා නිදා ගන්න. හැබැයි ඊට වඩා නිදාගන්නත් එපා . ඇඳේ සුවපහසුව, කාලගුණය වගේ දේවල් නිසා ඔබට කම්මැලිකමක් දැනෙනත් පුළුවන් අවදි වෙන්න. හැබැයි හැමවෙලාවෙම ඔබට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය ගැන හිතන්න.

2) පාඩම් කරන්න සුදුසු ස්ථාන

ඔබ පාඩම් කරන ස්ථානය නම් ඉතා ප්‍රවේශමෙන් තෝරගන්න. මොකද ඒක ගොඩක් වැදගත්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා පුස්තකාලයේ ගිහින් පාඩම් කරන්න. හැබැයි ඉතින් පුස්තකාලයෙත් ඔබට නින්ද යන්න තියෙන අවස්ථා වැඩියි. ඒ වගේම සමහරු උණුසුම් පරිසරයක පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෙහෙම පාඩම් කරද්දිත් හිසරදය සහ ඉරුවාරදය වගේ ඒවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පාඩම් කරන ස්ථානය හරියට තෝරගන්න. සුවපහසුවම හොයන්න යන්නත් එපා. එ් වගේම කෙලින් වාඩි වෙලා පාඩම් කරන්නත් වග බලාගන්න. සෝෆා වල ඇඳවල් වල ඉඳගෙන පාඩම් කරන්න යන්න එපා. මොකද එහෙම වුණාම ඔබට තවත් නින්දක් නිදාගන්න හිතෙයි.

3) ක්ෂණික ආහාර

ඔබ පාඩම් කරන වෙලාවෙදි මොනවාහරි ක්ෂණික ආහාර වේලක් ගන්න තියෙනවානම් හොඳයි. චිප්ස්, චොකලට්, ටොෆි වගේ දේවල්.. මේ දේ සෞඛ්‍ය සම්පන්න නැති වුණත් විභාගයට තව තියෙන්නේ පොඩි කාලයක් නිසා කමක් නෑ. විභාගයට ආසන්න කාලයේ ඒකට කොයිතරම් පෙළඹවීමක් ඕනද කියලා හැමෝම දන්නවානේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දවල් කෑම බඩ පැලෙන්න කන්න යන්න හදන්න එපා. දවල්ට ඔබ එහෙම කෑවොත් ඔබට වෙන්නේ පාඩම් කරන එක පැත්තකින් තියලා ආයෙත් නිදාගන්න තමයි.

4) කාල කළමනාකරණය

ඔබ දිගු වේලාවක් පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තට කමක්නෑ. හැබැයි ඒ විවේකය හරි විදියට ගන්න. ෆිල්ම් බලන්න නිදාගන්න වගේ දේවල් වලට යොමුවෙන්න එපා. ඔබ මිනිත්තු 25ක් පාඩම් කර පොඩි විවේකයක් ගෙන නැවත පාඩම් කරනවානම් ඔබට කාලය ගතවෙන එක දැනෙන්නේ නැතිවෙයි. ඒ වගේම තමයි පාඩම් කරන කරුණු මතකයේ රඳවගන්න මේ ලබාගන්න කෙටි විවේකය ඉතා වැදගත්. ඒ නිසා හරියට කාලය කළමනාකරණය කරගෙන පාඩම් කටයුතුවල නිරත වෙන්න.

5) සමාජජාල මාධ්‍යන්

ඔබ පාඩම් කරන කාලයේ හෝ විභාග ආසන්න කාලයේ සමාජජාල මාධ්‍යයන්වලින් ටිකක් ඈත් වෙන්න පුළුවන්නම් හොඳයි. මොකද සමාජජාල මාධ්‍යයන් පරිහරණය කිරීමේදී කාලය ගතවීම ගැන දැනෙන්නේ නෑ. ඒ වගේම සමාජජාල මාධ්‍යයන් භාවිතා කරනකොට ඒවායේ තියෙන දේවල් දැකලා ඔබගේ හිත වෙන දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒක නිසා මේ ෆේස්බුක්, ඉස්ටග්‍රෑම් වැනි සමාජජාල මාධ්‍යයන් තුළින් මේ දිනවල ටිකක් ඈත් වෙන එක තමයි හොඳම දේ.

මේ තියෙන්නේ ඔයාට විභාගයට අවශ්‍ය උපදෙස් ටිකක්. මේවා හරියට පිළිපැද්දොත් ඔයාට පුළුවන් විභාගයට හොඳට මූණ දෙන්න. ඉතින් ළඟ ළඟම එන ඒලෙවල් විභාගයට ගැස්ම අපෙන් සුබ පැතුම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here